ජනාධිපතිවරණෙට කලින් පැන්නු මැණික් මල්ල

නිසි පරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණ නියෝගයක් මත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කළ කෝටි 25ක වටිනාකමකින් යුත් මැණික් මල්ලක් අවසරයකින් තොරව මුදාහැර ඇති බව කෝප් කමිටුවේදී හෙළි වුණා.

පසුගිය දා රැස්වූ කෝප් කමිටු රැස්වීමේදී කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන් වන අසිත නිරෝෂන, ධර්මප්‍රිය විජේසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මන්ත්‍රිවරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ව දැඩිව ප්‍රශ්න කර සිටියා.

එවකට ආදාළ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන චාමර සම්පත් දසනායක මහතා පත්කළ සභාපතිවරයෙකු මෙම මැණික් තොගය නිදහස් කර ඇති බව කෝප් කමිටුවේදී හෙළිවුණා.

කෝප් කමිටුවේදී කරුණු අනාවරණය වුණේ මෙම මැණික් තොගය පසුගිය ජනාධිපතිවරණයට පෙර දින නිදහස් කර ඇති බවත් එවකට විෂය භාර කැබිනට් ඇමැති ලෙස රමේෂ් පතිරණ මහතා කටයුතු කර ඇති බවත් ය.

මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසුවා ද යන්න පිළිබඳ මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලබන අතර අදාළ මැණික් මල්ල මුදාහැරීමෙන් පසු නීතිපතිවරයා දැනුවත් කළ බව එහිදී නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව, 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පනත පරිදි කටයුතු කිරීම පිළිබඳ දැඩි ගැටලුවක් ඇති වන බව මෙහිදී කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන් ප්‍රශ්න කළා.

Social Sharing
අවකාශය නවතම පුවත්