ශිෂ්‍යත්ව විභාගයේ නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්

2024 වසරේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද විද්වත් කමිටුව විසින් ලබාදුන් වඩාත් සුදුසු නිර්දේශවලින් එකක් ඉදිරියට ගෙනයන ලෙස අධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කර ඇත.

මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනාගෙන් රුපියල් මිලියන පහක් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවට ද නියෝග කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න සමඟ ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් හුවමාරු වීම නිසා මෙම ගැටළුව ඇති වී තිබේ.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ තිබූ සමහර ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විසින් විභාගයට පෙර බෙදාහැර ඇති අතර එම අවස්ථාවේදී විවිධ පාර්ශව විසින් කරන ලද පැමිණිලි අනුව විභාග දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර එහි ප්‍රතිපලයක් වශයෙන් මෙම සැකකරුවන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

Social Sharing
නවතම පුවත්