ජර්මනියේ නත්තල් වෙළඳපොළට ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට

 

ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ කාර්යබහුල නත්තල් පොළක් තුළට මෝටර් රථයක් පදවාගෙන ගොස් එහි සිටි පුද්ගලයින්ට මරණිය තුවාල සිදුකළ 50 හැවිරිදි පුද්ගලයෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු (වයස අවුරුදු 45, 52, 67 සහ 75) සහ නව හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගියහ. තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

Taleb al-Abdulmohsen ලෙස මාධ්‍ය මගින් නම් කර ඇති මෙම පුද්ගලයා සෞදි අරාබියේ සිට 2006 වසරේදී ජර්මනියට පැමිණ තිබු අතර ඔහු වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇත. මෙම ප්‍රහාරය සඳහා ඔහු තනිවම ක්‍රියා කර ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

Taleb විසින් පසුගිය සිකුරාදා සවස කළු පැහැති BMW මෝටර් රථය නත්තල් පොළේ සිටි සෙනඟ අතරට පැදවීමෙන් මෙම ප්‍රහාරය සිදු විය. ඇසින් දුටුවන් පැවසුවේ මෝටර් රථය මඟ හැරීමට ඔවුන්ට මාර්ගයෙන් පැනීමට සිදු වූ බවයි. පොළේ සිටි කාන්තාවක් පැවසුවේ අනතුරින් සිය පෙම්වතාව බේරා ගැනීම සඳහා තමන් විසින් සිය පෙම්වතාට පහර දී තමාගේ පැත්තෙන් ඔහුව ඉවතට ඇද දැමූ බවයි.

සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන් සහ ගිනි නිවන භටයන් 100ක් සමඟ හදිසි සේවා එම ස්ථානයට වේගයෙන් පැමිණ තුවාලකරුවන්ට උපකාර කළහ. විපතට පත් වූවන් සඳහා අනුස්මරණ උත්සවයක් සෙනසුරාදා මැග්ඩෙබර්ග් ආසන දෙව්මැදුරේදී පැවැත්විණි. ජර්මානු චාන්සලර් ඔලෆ් ෂෝල්ස් මෙම ප්‍රහාරය හැඳින්වූයේ “භයානක ඛේදවාචකයක්” ලෙසය.

ප්‍රහාරයට හේතුව තවමත් පැහැදිලි නැත. ඇතැමුන් සිතන්නේ සෞදි සරණාගතයින්ට ජර්මනියේදී සලකන ආකාරය ගැන ප්‍රහාරකයා නොසතුටට පත් වූ බවයි. කෙසේ වෙතත්, ඔහු අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් ලැබී නොමැත. පොලීසිය පැවසුවේ, ඔහු හදිසි රථ වාහන සඳහා වෙන්කරන ලද මාර්ගයක් ඔස්සේ නත්තල් වෙළඳපොළට ඇතුළු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, සිද්ධියේ ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කරන ලෙස පොලිසිය සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

සටහන
Srimal DC

Social Sharing
පුවත් විදෙස්