ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) 1948 දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ප්‍රකාශ කිරීමට ගරු කිරීම සඳහා දෙසැම්බර් 10 වැනි දින ලෝක මානව හිමිකම් දිනය වශයෙන් තෝරා ගන්නා ලදී. මානව හිමිකම් දිනය විධිමත් ලෙස ස්ථාපිත කිරීම සිදු වූයේ 1950 දෙසැම්බර් 4 වන දින මහා මණ්ඩලයේ 317 වැනි පූර්ණ රැස්වීමේදී, මහා මණ්ඩලය විසින් 423 (V) යෝජනාව ප්‍රකාශයට පත් කළ විට, සියලුම සාමාජික රටවලට සහ වෙනත් උනන්දුවක් දක්වන සංවිධානවලට තමන්ට අවශ්‍ය පරිදි දිනය සැමරීමට ආරාධනා කරමිනි.

මෙම දිනය සැමරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් විසින් ඉහළ මට්ටමේ දේශපාලන සම්මන්ත්‍රණ, රැස්වීම්, මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන සංස්කෘතික සිදුවීම් සහ ප්‍රදර්ශන යනාදිය සංවිධානය කරනු ලබයි. මීට අමතරව, මානව හිමිකම් ක්ෂේත්‍රයේ පස් වසරකට වරක් එක්සත් ජාතීන්ගේ ත්‍යාගය සහ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීම සම්ප්‍රදායිකව දෙසැම්බර් 10 දින සිදු කෙරේ. මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වන බොහෝ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ද බොහෝ සිවිල් සමාජ සංවිධානද මෙම දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

“අපේ අයිතිවාසිකම් – අපේ අනාගතය” (Our Rights, Our Future, Right Now) ලෝක මානව හිමිකම් දිනයේ මෙවර තේමාවයි. තිරසාර අනාගතයක් සඳහා අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය, කිසිවෙකු අත් නොහරින බව අවධාරනය කරමින් මානව වර්ගයාට විශ්වීය නීත්‍යානුකූල, සදාචාරාත්මක සහ ක්‍රියාකාරී පරිසරයක් සැකසීම ඒ හරහා සහතික වේ.

වර්තමාන ලෝකයේ, වෙන කවරදාකටත් වඩා යුධ ගැටුම්, මානුෂීය අර්බුද, දේශගුණික විපත්, දණ්ඩමුක්තිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනාදියට ජනතාව මුහුණ දී සිටී. එවැනි දෑ හරහා සිවිල් ජනතාවගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ ළමයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් බහුලව දැකිය හැකි වේ.

මානව හිමිකම් සුරකින සමාජයක් සඳහා අඛණ්ඩ කැපවීම, මානව හිමිකම්, සමානාත්මතාවය, වෙනස්කම් නොකිරීම, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍ය වේ. ගැටුම් හෝ අර්බුද වලදී ඇතුළුව සෑම තැනකම සහ සෑම අවස්ථාවකදීම මානව හිමිකම් අදාළ වන අතර අර්ථවත් සහ කල්පවත්නා වෙනසක් සාක්ෂාත් කර ගත හැක්කේ මානව හිමිකම් සඳහා වෙහෙස නොබලා කැපවීම, ගෝලීය ක්‍රියාකාරීන් අතර සහයෝගීතාවය, වෙනසේ නියෝජිතයන් ලෙස තරුණයින් සවිබල ගැන්වීම සහ එක් එක් පුද්ගලයාට ඔවුන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ප්‍රායෝගික සහයෝගයන් ලබාදීම යනාදී කටයුතු හරහාය.

ඒ සඳහා මානව හිමිකම් ආරක්ෂකයින්ට, සිවිල් සමාජයට, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට මෙන්ම සාමය, සත්‍යය, යුක්තිය සහ වගවීම ඉල්ලා සිටින සියල්ලන්ටම සිදු කළ හැකි සේවාව ඉතා වැදගත්ය.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු වශයෙන් වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ, මානව හිමිකම් දිනය යනු යුක්තිය, සමානාත්මතාවය සහ සියලු මිනිසුන් සඳහා ආරක්ෂාව වැනි ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමේ අවස්ථාවකි. රටේ බොහෝ කණ්ඩායම් සහ පාසල් තරුණයින්ට මානව හිමිකම් පිළිබඳව ඉගැන්වීමේ වැඩසටහන් පවත්වයි.

දෙසැම්බර් 10 වෙනිදා පමණක් නොව අවුරුද්දේ සෑම දිනකම අන් අයට ගරු කරමින්, නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිමින් අනෙකාගේ මානව හිමිකම් සහ මානව අයිතීන් රැක ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත් වේ.

සටහන – Srimal DC

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග