මාස දෙකකින් ගෙවීම් නැහැ; පාසල් පෝෂණ වැඩසටහන් නවතින අවදානමක්

 

පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල සිසුන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් මාස දෙකකින් පමණ සිදුකර නොමැති බැවින් එම වැඩසටහන නතර වීමේ අවදානමක් මතු වී තිබේ.

මේ වන විට එවැනි සැපයුම්කරුවන් වෙළඳුන්ට දැඩි ලෙස ණය වී සිටින බැවින් ඔවුන්ට තවදුරටත් ගෙවීම් නොමැතිව ආහාර සැපයීම කරගත නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව විදුහල්පතිවරු සහ සැපයුම්කරුවෝ පෙන්වා දෙති. තමන්ට හිමි හිඟ මුදල් වහාම ලබා දෙන ලෙසත්, පාසල් පෝෂණ වැඩසටහන සඳහා මුදල් ක්‍රමානුකූලව ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා මේ වන විට සපයනු ලබන ආහාර වේල්වල ගුණාත්මකභාවය පිළිබඳ ද ගැටලු ඇති වී තිබෙන බව මව්පියෝ පවසති.

පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, දෛනික පාසල් පැමි­ණීම වර්ධ­නය කිරීම, යහ­පත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධ­නය කිරීම, අධ්‍යා­පන සාධන මට්ටම් වර්ධ­නය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘ­තිය ගොඩ­නැ­ඟීම යන සිව් අභි­ම­තාර්ථ මුදුන් පමු­ණුවා ගැනීම අරමුණු කර ගනිමින් 2024 මාර්තු සිට සියලු පාසල්වල ප්‍රාථමික සිසුන්ට මෙම ආහාර වේල සපයනු ලැබේ.

ජාතික, පළාත් හා කලාප මට්ට­මින් පාසල් සිසුන්ට සම­බල ආහාර වේලක් සැප­යීම ක්‍රියා­ත්මක කර නියා­ම­නය කිරීමේ වග­කීම පැව­රෙන්නේ පාසල් සංව­ර්ධන කමි­ටු­වට වන අතර, එය විදු­හ­ල්ප­තිගේ ප්‍රධා­න­ත්ව­යෙන් ප්‍රාදේ­ශීය මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක, ප්‍රාදේ­ශීය වෛද්‍ය නිල­ධාරී හා පාසල් සංව­ර්ධන සමිති නියෝ­ජි­ත­යකු ද ඇතු­ළත් වන පරිදි පාසල් මට්ට­මින් පිහි­ටුවා ඇත. එම කමි­ටුව විසින් ආහාර සකස් කර ලබා­ගැ­නීම පාසල් සංව­ර්ධන සමිති හරහා සිදු කරයි. තවද ආහාර සැප­යු­ම්ක­රු­වන්ගේ දාය­ක­ත්වය ද ලබා­ගනී.

එක් සිසුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් රජය රු. 110ක් සපයනු ලබන අතර මේ පෝෂණ වැඩ­ස­ට­හ­නට අවශ්‍ය ආහාර වර්ග සප­යන ප්‍රධාන දේශීය සැප­යු­ම්ක­රු­වන් දහ­අ­ට­ද­හ­සක් (18,000) පමණ සිටිති.

මෙම වැඩසටහනට ලෝක ආහාර වැඩසටහනෙහි සහාය ලැබෙන අතර මේ වන විට ප්‍රගති වාර්තා සපයා 2025 වසරට අදාළ ගිවිසුම් අලුත් කර නොමැති බැවින් මෙම වැඩසටහන සම්බන්ධ අවදානම දැඩි වී තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පෙන්වා දෙයි.

Social Sharing

ආර්ථික නවතම පුවත්