පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල සිසුන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් මාස දෙකකින් පමණ සිදුකර නොමැති බැවින් එම වැඩසටහන නතර වීමේ අවදානමක් මතු වී තිබේ.
මේ වන විට එවැනි සැපයුම්කරුවන් වෙළඳුන්ට දැඩි ලෙස ණය වී සිටින බැවින් ඔවුන්ට තවදුරටත් ගෙවීම් නොමැතිව ආහාර සැපයීම කරගත නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව විදුහල්පතිවරු සහ සැපයුම්කරුවෝ පෙන්වා දෙති. තමන්ට හිමි හිඟ මුදල් වහාම ලබා දෙන ලෙසත්, පාසල් පෝෂණ වැඩසටහන සඳහා මුදල් ක්‍රමානුකූලව ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා මේ වන විට සපයනු ලබන ආහාර වේල්වල ගුණාත්මකභාවය පිළිබඳ ද ගැටලු ඇති වී තිබෙන බව මව්පියෝ පවසති.
පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැඟීම යන සිව් අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම අරමුණු කර ගනිමින් 2024 මාර්තු සිට සියලු පාසල්වල ප්‍රාථමික සිසුන්ට මෙම ආහාර වේල සපයනු ලැබේ.
ජාතික, පළාත් හා කලාප මට්ටමින් පාසල් සිසුන්ට සමබල ආහාර වේලක් සැපයීම ක්‍රියාත්මක කර නියාමනය කිරීමේ වගකීම පැවරෙන්නේ පාසල් සංවර්ධන කමිටුවට වන අතර, එය විදුහල්පතිගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී හා පාසල් සංවර්ධන සමිති නියෝජිතයකු ද ඇතුළත් වන පරිදි පාසල් මට්ටමින් පිහිටුවා ඇත. එම කමිටුව විසින් ආහාර සකස් කර ලබාගැනීම පාසල් සංවර්ධන සමිති හරහා සිදු කරයි. තවද ආහාර සැපයුම්කරුවන්ගේ දායකත්වය ද ලබාගනී.
එක් සිසුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් රජය රු. 110ක් සපයනු ලබන අතර මේ පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග සපයන ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් දහඅටදහසක් (18,000) පමණ සිටිති.
මෙම වැඩසටහනට ලෝක ආහාර වැඩසටහනෙහි සහාය ලැබෙන අතර මේ වන විට ප්‍රගති වාර්තා සපයා 2025 වසරට අදාළ ගිවිසුම් අලුත් කර නොමැති බැවින් මෙම වැඩසටහන සම්බන්ධ අවදානම දැඩි වී තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පෙන්වා දෙයි.