ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ ආරම්භ කළ රැජිනට ඇන්දා ප්‍රසංගය අතිශය කතාබහට ලක්වන ප්‍රසංගයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා අපේ කාලයේ දක්ෂ කලාකාරිනියක්. ඇය ඉදිරිපත් කරන ලද රැජිනට ඇන්දා ප්‍රසංගය අවස්ථා දෙකක දී අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියා. ඉතිං රැජිනට ඇන්දා ප්‍රසංගයේ සෙංකඩගල ආගමනය ගැන දිනපතා දිවයින සිනමාකලා වෙනුවෙන් අමන්ද්‍යා සමග පුංචි සංවාදයක නිරත වුණා.
‘රැජිනට ඇන්දා සෙංකඩගල ආගමනය’ සිදුවන්නේ කොහොමද?
රැජිනට ඇන්දා පළමු ප්‍රසංග සහ දෙවැනි ප්‍රසංගයේ සංවිධානය කටයුතු සිදුකළේ මමයි. තුන්වැනි ප්‍රසංගය දැන් නුවර වෙනත් සංවිධායකවරයකු විසින් සංවිධානය කරනවා. ඒක තමයි සතුටට තියෙන ලොකුම කාරණය. ඩී. ජේ. ජේ. සර්විසස් විසින් තමයි සංවිධාන කටයුතු සිදුකෙරෙන්නේ. ඔක්තෝබර් මාසයේ 19 වැනි සෙනසුරාදා තමයි රැජින සෙංකඩගලට එන්න හදන්නේ. රැජිනට ඇන්දා ප්‍රසංගය මුලින්ම සංවිධානය කරන කොට හිතේ තිබුණ දෙයක් තමයි ලංකාවේ ප්‍රධාන නගරවලවත් මේ ප්‍රසංගය පවත්වනන්න ඕනෑ කියන කාරණාව. ඉතින් නුවරින් ආරාධනාවක් ලැබුණ හින්දා ඉතාම කැමැත්තෙන් ඉන්නවා නුවර ඈයෝ බලන්න.
ජවය තියාගෙන ප්‍රේක්ෂකයන්ව පිනවන්න පුළුවන් වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමයි මම හිතන්නේ ඒකම තමයි මගේ තියෙන විශේෂත්වය සහ මේ ප්‍රසංගයේ තියෙන වෙනස. දැනට ලංකාවේ පවත්වන ප්‍රසංගවල වෙනස් වෙනස් ආරයන්වල ගීත තමයි බොහෝවිට තියෙන්නේ. රැජිනට ඇන්දා ප්‍රසංගය අමුතුම එකක්. මේකේ ජනකවි, නැටුම්, බෙරවාදන, හින්දි, ඉංග්‍රීසි, පැරණි චිත්‍රපට ගීත, නූර්ති ගීත, ග්‍රැමෆෝන් ගීත, නාට්‍ය ගීත ආදී ගීත රැසක් තියෙනවා. මේ ප්‍රසංගයේ යුග ගායනය සඳහා රොඩ්නි වර්ණකුල මාමායි, උදේශ් ඉන්දුල අයියයි සම්බන්ධ වෙනවා. පරම්පරා දෙකක ශිල්පීන් දෙදෙනෙක් ගීත ගායනා කරනවා.
අද වගේ කාලයක මෙවැනි ප්‍රසංගය සංවිධානය කිරීම ලොකු අභියෝගයක් නේද?
පළමු ප්‍රසංගය සංවිධානය කරනකොට මම හිතුවේ මේක කරගන්න බැරිවේවිද කියලයි. නමුත් මම ජීවිතයේ ඕනෑම අවස්ථාවක අභියෝගයක් භාර ගන්නේ ඒ අභියෝගය අනිවාර්යයෙන්ම ජය ගන්නවා කියලා හිතාගෙනමයි. ඉතින් ඒ විදිහට භාරගත්තු අභියෝගයට මම ඉතාම සාර්ථකව මුහුණ දුන්නා. ඒකට ඇත්තටම පුහුණුව තමයි වැදගත් වුණේ. මොකද රන්වල බළකායේ ප්‍රාසාංගික ශිල්පිනියක් විදිහට වසර ගණනාවක ඉඳලා කටයුතු කරලා තියෙනවා. ඒ ලබාගත්තු අත්දැකීම් බොහෝමයක් මට පිටිවහලක් වුණා, මේ ප්‍රසංගයක මේ විදිහට ඉදිරිපත් කරන්න.
අපේකම, අපේ දේට, ජන ගීයට, ජන කවියට පණ දෙන්න අපේ කෙල්ලෙක් ඇවිත් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් කියන්න පටන්ගත්තා. මොකද හිතෙන්නේ ඒ ආමන්ත්‍රණයට ?
හරිම ආසා හිතෙනවා වගේම හරි ආදරණීයයි. මම කැමැති නැහැ මාව ජන ගී ගායිකාවක් විදිහට වර්ගීකරණය කරනවාට. ඇත්තටම මම කැමැතියි විවිධ ශානරවල ගීත ගායනා කරන්න. නමුත් ප්‍රේක්ෂකයෝ බොහෝමයක් කැමැති මම වැඩිපුර ජන ගී ගායනශිල්පිනියක් විදිහට ප්‍රාසාංගිකව ඉදිරිපත් කරනවාට. ඉතින් මේ රැජිනට ඇන්දා ප්‍රසංගයට ජන ගී ඇතුළත් කරගැනීමට ප්‍රධාන හේතුව වුණෙත් ප්‍රේක්ෂකයන්ගේ තියෙන ඉල්ලුමට. රැජිනට ඇන්දා ගීතය නිර්මාණය කරලා මුදාහැරියාට පස්සෙත් මම බලාගෙන හිටියේ මේ ගීතයට කොයිවිදිහේ ප්‍රතිචාර ලැබේවිද කියලයි. මම නොහිතපු විදිහේ ආදරයක් තවමත් ඒ ගීතයට ලැබෙනවා.
ප්‍රසංගය ආරම්භ කරනකොට හිතුවාද මේ තරම් දුරක් යන්න පුළුවන් වේවි කියලා?
කීයටවත් හිතුවේ නැහැ. මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න පුළුවන් වේවි කියලවත් කවදාවත් හිතුවෙ නැහැ. ඒක මගේ වාසනාවට ලැබුණු දෙයක් විදිහට තමයි මම සලකන්නේ.
රැජිනට ඇන්දා ප්‍රසංගය ඔබේ ජීවිතයේ ලොකු පෙරළියක් ඇතිකළා කියලා හිතනවාද?
මම ඇත්තටම සංගීත ජීවිතයේ නිර්මාණ කරන්නේ කිසිම පෙරළියක් ඇතිකරන්න බලාගෙන නෙමෙයි. මොකද මම දැඩි ලෙස විශ්වාස කරනවා, සෞන්දර්ය ඇතුළේ තරගකාරීත්වයක් නැහැ කියලා. අපි කාත් එක්ක හරි තරග කරන්න නම් දිනන්න නම් මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ඕනෑ. සෞන්දර්ය කියන විෂයය ඇතුළේ තරගයක් නැහැ. ඒ නිසා මම නිර්මාණ කරන කොට එහෙම හිතාගෙන නෙමෙයි නිර්මාණයක් කරන්නේ. මට විඳින්න පුළුවන් විදිහේ නිර්මාණයක් කරන්න තමයි මට තියෙන ලොකුම වුවමනාව. මම මුලින්ම කැමැති වෙලා ඉන්න ඕනෑ මම කරන වැඩේට. එහෙම කරපු වැඩක් තමයි රැජිනට ඇන්දා. නමුත් මම හිතුවේ නැහැ ප්‍රේක්ෂකයෝ මෙච්චර මේ වැඩේට කැමැති වෙයි කියලා. මම ආසා කරන ශෛලියට අනෙක් අයත් ආසා කරාවිද යන විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් හිතපු නැති විදිහට ඒක පෙරළිකාර ගීතයක් වුණා.
පසුගිය කාලයේ ඔබ ගායනා කළ රූප සුන්දරී ගීතයත් හරි ජනප්‍රිය වුණා ?
එතැනත් සිද්ධ වුණේ පුදුමාකාර විදිහේ පෙරළියක්. රූප සුන්දරීත් වෙනස්ම ආරක ගීතයක්. මෙහි සංගීතය සහන් රන්වලයන්ගෙන්. පද රචනය මගේ තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය සහ ගීත් තරංග අයියාගේ. අපිට අලුතෙන් ගීතයක් හදන්න ඕනෑ කියලා අදහසක් තිබුණාට මොන ආරක ගීතයක් ද යන්න අදහසක් තිබුණේ නැහැ. ඉතින් තාත්තා විවිධ අදහස් එන විදිහට වචන ලියලා ලියලා එව්වම මගේ අදහසකුත් එකතුවෙලා තමයි මේ විදිහේ ප්‍රස්තූතයන් තෝරාගෙන ගීතයක් කරමු කියන අදහසට මම එන්නේ. ඒකත් එක්ක රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙලා ගායනා කළාම හිතුවේ නැති විදිහට මිනිස්සු ආදරයෙන් වැළඳගත්තා. මම හිතනනේ ඒකටත් හේතුව මේ මාතෘකාව පොදුවේ හැමෝටම අත්දකින්න වෙන කාරණාවක්නේ. ඒ හින්දා මම හිතනවා ඒකට මිනිස්සු ගොඩක් ළංවෙන්න ඇති කියලා.
දිනේෂ් විතාන – දිවයින
https://www.youtube.com/watch?v=tC8WDLKLsXQ