කන්තලේ ජනතාවට ඉසුරු පහල කළ සුරපුරයක් බඳුවූ සීනි කම්හල අද ඉතාමත්ම ශෝචනීය තත්වයකට පත්ව ඇති බව දේශපාලන බලධාරීන්ට නැවත නැවත මතක්කර දීම අවශ්‍ය නැත. ඔවුන් මෙය හොඳාකාරවම දන්නා කරුණක් වුවද වරින් වර පත්වූ රජයන් මෙය භාවිතා කළේ ජන්ද ගුන්ඩුවක් ලෙසයි.
පෙරහැර එන්න කලින් කස කරුවන් පැමිණෙන බව දැන් ජනතාව හොඳින් දනී. පෙරහැර එන බවට සළකුනු තබමින් රාජ්‍ය ඇමති වරයෙකු වන දිලුම් අමුණුගම මහතා ආසන්නම දිනයක සීනි කම්හල නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.

මෙම චාරිකාවේ දී රාජ්‍ය නිළධාරින් කිසිවෙකුටත් දැනුම් නොදීම විශේෂත්වයක් වූ අතර ඔහු මෙහිදී කියා සිටියේ දැනට ඉන්දියානු සමාගමකට පවරා ඇති සීනි කම්හල් භූමිය නිදහස් කර දෙන ලෙස ජනාධිපති මුදල් අමාත්‍යාංශයට දන්වා ඇති බවයි. ජනාධිපති වරයා ඉක්මනින්ම ව්‍යවසායකයෙකුට මෙම සමාගම පවරන්නට සූදනම් බවත් දැනට හිඟුරාන ලංකා සීනි සමාගම මෙය භාර ගැණිමට කැමැත්ත පල කර ඇති බවත් වැඩිදුරටත් පැවසුවේ ය.
කෙසේ වෙතත් ගම් වාසීහු කියා සිටින්නේ හැම රජයක්ම කන්තලේ ජනතාවගේ ජන්දෙ ලබාගත්තේ ඔය කතාව කියලම තමයි කියලයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ, යහපාලන ආණ්ඩුව, ගෝඨාභය ඔය ඔක්කොම නොකෙරෙන දීගෙට පාර අහපු අය තමයි. මහින්ද මහත්තයා මුල් ගල තියලා නැවත විවෘත කිරීමකුත් කළා. ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ප්රකාශණයෙත් තිබුණා සීනි කම්හල නගා සිටුවීම ගැන. 2020.09.27 වෙනිදා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්තයා ආවා වහලා තියෙන කර්මාන්තශාලා අරිනවා කියාගෙන. ජේ.ආර් මහත්තයා ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ලාබ ලබන පාඩු ලබන ඔක්කොම කර්මාන්ත ශාලා වහල දැම්මා.ඔක්කොමලා සන්දර්ශණ තමා අපිට පෙන්නුවේ. අපි ඉතින් හැමදාමත් ඉටු නොවෙන හීන දකින එක තමා කළේ කියමින් සුසුම් හෙලූහ..

සීනි කම්හලේ මතක ආවර්ජනය කරමින් දිසානායක මහතා අප සමග මෙසේ කියා සිටියා.ය.” මම මේ කම්හලේ කාලයක්ම වැඩ කරපු කෙනෙක් .1960 ඔක්. 2 වෙනිදා තමයි මේක ආරම්භ කලේ. චෙකොස්ලොව්කියාවෙන් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියට ලැබුණ තෑග්ගක්. අක්කර 21,000 ක් තියෙනවා.එයින් 11500 ක් වගා කරලා තියෙනවා.සීනි නිෂ්පාදනයෙන් 8.5 ක් නිෂ්පාදනය කරන්න දායක වුන කර්මාන්ත ශාලාවක් මේක. 1987 වසරේ මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි අටක ණය මුදලක් දීල තියෙනවා. හිඟුරාන සීනී ආයතනයටත් මුදල් ආධාර ලබා දීල තියෙනව.සේවකයෝ 7000 ක් විතර හිටියා.නිළ නිවාස 1000 කට වැඩියි.නැති පහසුකමක් නැහැ.

මහජන බැංකුවක්, සුපිරි වෙළඳසැල් දෙකක්, සමාජ ශාලා දෙකක්, තැපැල් කාර්යාලයක්, අමතර බෝග අංශය ( එළුවො, බැටළුවො , බිත්තර,) පහසු මිළට ලබා දුන්නා. වටිනාම අඹ වර්ග වගාවක්, පාසලක්, පන්සලක් කුඩා වැව් විස්සක් විතර මෙකී නොකී තව පහසුකම් රැසකින් පිරුන සුරපුරයක් වගේ මේක තිබුණේ. නොනිදන නගරයක්. ඒකාලෙ මිනිස්සු කීවෙ පුංචි එංගලන්තෙ කියලා. හොඳට ඇඳ පැලඳලා පාරෙ නොහඳුනන කෙනෙක් යනව දැක්කොත් අහන්නෙ පැක්ටේරියේද වැඩ කරන්නෙ කියලා.”

මෙවන් සුපිරි සුරපුරයට අද අත්වී ඇති ඉරණම ගැන මෙහි සේවය කල ගුණසේන මහතා මෙසේ පැවසීය.” දැන් නම් මේ කරමාන්ත ශාලාව දකින කෙනෙක් අහයි මේක ගාසා තීරයේ කොටසක්ද කියලා. ඒ තරමටම නටබුන් වෙලා. බොයිලේරු, ටර්බයින් යන්ත්‍ර ස්කාගාරය ,කර්මාන්ත ශාලාවේ ඇණ මුරුච්චි දැතිරෝද ඇතුළු සියළුම යාන්ත්‍රික කොටස් නිපදවූ ලියවන පට්ටල් සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා.
උක් දඬු ප්‍රවාහනය කල ට්‍රැක්ටර් ,ටේලර්, බර වාහන, සේවකයින්ගේ ගමන් බිමන් වලට යොදාගත් බස්, රුසියාවෙන් ලැබුණ ඉඅහලම වර්ගයේ ජීප්, ලොරි කැලෑවෙන් යට වෙලා. නිළධාරි බංගලා, සේවක නිවාස, තැපැල් කාරයාල, සමාජ ශාලා, වෙළඳ සංකීර්ණය මේවා දැන් ගරා වැටිලා. ජනෙල් දොරවල් ගලවලා. වහලවල් ගැලවිලා නටබුන් ගොඩක්. ඉස්සර කොහොම තිබුණ තැනක් ද කියලා හිතෙන කොට පපුව කඩා වැටෙනවා. මේ කම්හල ට නැවත පණ දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම මෙහෙවර කියලා තමයි අපි කවුරුත් හිතන්නෙ.”
කොහොම වුනත් පැරණි සේවකයින් කියා සිටින්නේ හොදින්ම ලාබ ලැබූ මෙම ආයතනයේ පාලනය දේශපාලන හිතවතුන් අතට පත්වීමත් එක්කම කඩා වැටීම ඇරඹූ බවයි. මේ අතර ප්‍රේමදාස මහතාගේ රජය යටතේ රජයේ දේපල ජනතා කරණය පනතට අනුව 1993 මාර්තු මාසයේ මෙය සමාගමක් බවට නම් කර රංජිත් සුමනසේකර යන අයට විකුණා දමා ඇත.
සුමණසේකර නම් පුද්ගලයාගේ හිට්ලර් පාලනයට සේවකයින් දැඩි ලෙස විරෝධය පල කිරීමත් සමගම ඔහුට මෙම සමාගමෙන් ඉවත් වීමට සිදුවී ඇත. අර්ථසාධක සුභසාධක ඇතුළු සියළු වරප්‍රසාද ඔහු විසින් වංචාකර ඇතිබවට චෝදනා කරමින් ගොනු කල නඩුවෙන් සුමනසේකර පරාදවී ඇත.
මේ කාලය තුල උක් වගාව පිළිබඳව දැක්වූ සැලකිල්ල අඩුවීමත් එක්ක කිසිවක් කර කියාගත නොහැකිව 1994 වර්ශයේ එවකට ජනධිපතිව සිටි සී.බී.විජේතුඟ මහතා සේවකයින්ට වන්දි ගෙවා මෙය වසා දැමීමට දැනුම් දෙන ලදී.
එදා මෙදා තුර කාලයේ මෙම සමාගම නැවත යථා තත්වයට පත්කර ගැනීමට කිසිදු පාලකයෙකුට නොහැකිවී ඇත්තේ දේශපාලන අත පෙවීම් හා කොමිස් කුට්ටි බලාපොරොත්තුවීම මුල්වූ නිසා බව කාටත් නොරහසකි.
දැනට මෙම සමාගම බලා කියා ගැනීමට සේවකයින් 20 ක් පමණ සිටියද ලබාදෙන සුළු වැටුපද මාස කිහිපයකින් ලැබී නොමැති බව ඔවුන් පවසයි. නමුත් සමාගමට ඇති ලැදිකම නිසා රැඳී සිටින බවයි ඔවුන් පවසන්නෙ.
එදා මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් ගෙන් තමයි කන්තලේ නගරයම පෝෂණ වුණේ කියන මතය නගරයේ කාගේත් මුවෙන් පිටවෙන වදන ආයතනය වසා දමා වසර 25 ක් ගියද එසේම පවතියි.
සීනිකම්හලට අයත් පන්සල එදා 30,40 ක් පමණ ශිෂ්‍ය භික්ෂූන් අධ්‍යාපනය ලැබුවද දැන් එය වැසී යන තත්වයට පත්වී ඇති බව එහි නායක ස්වාමීන් වහන්සේ වන අති පූජ්‍ය කඳපොල රතනපාල හිමියන් අප හා පැවසුවේ මහත් කනස්සල්ලෙනි.

පන්සලට දානය පවා ලබා ගැනීමට තරම් ගම් වාසීන් පිරිසක් මෙහි වාසය නොකිරීමත් ඔවුන් ගේ ඇති ආර්ථික අපහසුතා නිසාත් එය මහත් ගැටළුවක් බවට පත්ව ඇති බවත් අවට ගම් වල ස්වාමීන් වහන්සේලාගේ උදව් ඇතිව දානපති උදවියට දන් සීට්ටු ලබා දීල තමයි දානය ගෙන්වා ගන්නෙ. ඒ උදවියත් දුර බැහැර ඉඳලා දානය රැගෙන ඒම මගේ හිතටත් හරි නැහැ. වෙන විකල්පයකුත් නැහැ. දැන් මේ පැත්ත පාළුවට ගිහින් තියෙන නිසා අපිට වන අලින් ගෙනුත් හරිම කරදරේ. කීප වතාවක්ම පන්සලට ඇවිත් බිත්ති කඩලා ගියා මේ කම්හලේ වටිනා දේපල මෙහෙම අතහැරලා දාල තියෙන එක නම් මහා අපරාධයක්. රටට හොඳ ආදායමක් ලබා ගන්න තිබුණ තැනක් නටබුන් බවට පත් වෙනකල්ම වගකියුතු ඇත්තන් ඇස් කන් පියාගෙන ඉන්න එකයි පුදුමෙ.” උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
එදා පාසල් අධ්‍යාපනය ලැබූ දරුවන්ව සිටි අද ජීවිතේ සැදෑ සමය ගෙවන කිහිප දෙනෙකු අතීතයට එබී බලමින් කියා සිටියේ ඒකාලේ ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් යනව කිව්වම අපි දෙමාපියන්ට කරදර කරුවෙ නැහැ සල්ලි ඉල්ලලා. ගුරුවරුයි ළමයිනුයි සේරම එකතුවෙලා යනවා දවස් දෙකක් තුනක් උක් කපන්න. ඒ සල්ලි අරගෙන තමා අපි චාරිකා ගියේ. ඒක හරිම විනෝදයක්. සුන්දර මතකයක්”
සුමිත්‍රා කුමාරිහාමි – කන්තලේ