මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

Sri Lanka Election Calendar

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති නොවේ. එහෙත් අපට ඇත්තේ, ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලට අදාළ දළ කාල සටහන් පමණි. එවැනි දළ වකවානු පමණක් තිබෙන විට, ඒවා ඉතා පහසුවෙන් නොයෙක් මාර්ගවලින් වෙනස් කරගැනීමේ හැකියාවකුත් ලැබේ.

කලකට ඉහතදී ජේ. ආර්. ජයවර්ධන එක් පාර්ලිමේන්තු මැතිවරණයක් නොතියාම සිටියේය. ඒ වෙනුවට එදා (1982) තිබුණේ ජනමත විචාරණයක් නමින් හැඳින්වුණු ‘කළගෙඩි’ සෙල්ලමකි. ඊටත් කලින්, 1970 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියට බලය ලැබුණු අවස්ථාවේ, අවුරුදු පහේ පාර්ලිමේන්තුව අවුරුදු හතක් දක්වා ඈ දිග් කරගත්තාය. ඇගේ සහ ජේ. ආර්. ජයවර්ධනගේ ක්‍රියාකලාපයන් දෙකම, ‘නීත්‍යානුකූල’ කිරීමේ විධිවිධානත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන්ව තිබුණු නිසා ඒවා ‘වැරදි’ නොවුණි.

ගණිකා වෘත්තිය වරදක් වෙතත්, ‘ස්පා’ නමැති වෙනත් ගෞරවාන්විත නාමයක් යටතේ එයම කරගෙන යාම වරදක් නොවේ. නියමිත කාලයට කලින් මැතිවරණ පැවැත්වීම හෝ නියමිත කාලයේදී මැතිවරණ නොපැවැත්වීම යුක්තිසහගත කෙරෙන්නෙත් එලෙසින්මයි.

අවසාන වරට තෝරා පත්කරගත් පළාත් සභා අවසන් වී දැන් බොහෝ කල් ය. එහෙත් ඒ කිසි පළාතකට අලුත් පළාත් සභා ඡන්ද මේ දක්වා පවත්වා නැත. එසේ තිබියදී, බලතල බෙදාහැරීමේ උත්තුංග යාන්ත්‍රණ ගැන ඉතා උජාරුවෙන් කතා කරනු ලැබේ. ඊළඟට පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ගිය වර අයවැයෙන් පවා මුදල් වෙන්කර තිබුණි. එහෙත් අද දක්වා ඒ මැතිවරණයත් පවත්වා නැත.

මැතිවරණ කාල සටහන්වල දළ වකවානු දක්වා, ඊට යම් ව්‍යතිරේක සාමාන්‍යයෙන් එක් කරනු ලබන්නේ, මහජනතාවගේ පරමාධිපත්‍යය සහ ඡන්ද අයිතිය, සුවිශේෂී තත්වයන් යටතේ යළි උරගාබැලීමේ අවස්ථාවක් එළැඹෙතොත් ඒ අවස්ථාව ජනතාවට ලබා දීමටයි. උදාහරණයක් වශයෙන්, පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු 5 ක් යැයි ව්‍යවස්ථාවේ සඳහන් වෙතත්, එම ව්‍යවස්ථාවේම තවත් තැනක, පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු දෙක හමාරක් වූ තැන් පටන් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අයිතිය දී ඇත්තේ, ජනාධිපතිවරයාගේ කපටි නූල් සූත්තර සඳහා නොව, යම් විශේෂිත අවස්ථාවක, කලින් දෙන ලද මහජන කැමැත්ත වෙනස් වී ඇතැයි හැඟෙන අවස්ථාවක, නියමිත කාලයට කලින් යළි මහජන කැමැත්ත උරගා බැලීමේ ව්‍යතිරේක අවස්ථාවක් ජනතාවට ලබාදීම සඳහා ය.

එහෙත්, ජනාධිපතිවරුන් මේ බලය පාවිච්චි කරන්නේ, මොන විදිහකින්වත් ජනතාව ගැන ඒ ආකාරයෙන් සිතාබලා නොව, තමන් සහ තමන්ගේ දේශපාලනික අවස්ථාවාදයන් ගැන සිතාබලා ය. ගෝඨාභය රාජපක්ෂව මහජන බලයෙන් පහකර හැරීමෙන් පසු ඊළඟට එළැඹෙන ඕනෑම ඡන්දයක අවස්ථාව වහාම මහජනතාවට දිය යුතුව තිබුණත්, වර්තමාන ජනාධිපතිවරයා කෙළේ එහි සම්පූර්ණ අනිත් පැත්තයි. එනම්, ඊළඟට එළැඹුණු පළාත් පාලන ඡන්දයත් නොපවත්වා සිටීමයි.

කෙසේ වෙතත්, මේ සියලු මැතිවරණ අතරින් වඩාත් නිශ්චිත දිනයක් පිළිබඳ ආසන්නතම යම් අදහසක් හෝ ඇති කරගත හැකි ඡන්දය වන්නේ ජනාධිපතිවරණයයි. බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහක් වන බවත්, ඒ අවුරුදු පහ අවසන් වීමට මාසයකට නොඅඩු කාලයක් සහ මාස දෙකකට නොවැඩි කාලයක් අතරතුර දවසක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. ඒ අනුව, ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ මේ වසරේ සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර දවසක ය. කාල සටහන්වල දැක්වෙන පරිදි ඊළඟ මහ මැතිවරණය පැවැත්විය යුත්තේ, 2024 දී නොව, 2025 දී ය. එහෙත්, ඉහත කී පරිදි, තත්කාලීන පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු දෙකහමාර ගත වූ පසු ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලයක්, මේ සමස්ත කාලය තිස්සේම තිබුණි.

මේ ආයතන දෙකෙන්, එනම් පාර්ලිමේන්තුව සහ ජනාධිපති යන ආයතන දෙකෙන් මුලින් අවලංගු වුණේ කුමක්ද? ඒ, ජනාධිපති පදවියයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුර අතහැර යද්දී පාර්ලිමේන්තුවේ කිසිවෙකු තමන්ගේ තනතුරු අතහැරගියේ නැත. ඒ නිසා, මුලින්ම අවලංගු වුණේ ජනාධිපති පදවිය යැයි සාධාරණ පදනමකින් අපට තර්ක කළ හැකි අතර, ඒ නිසාම, මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය යැයි කෙනෙකුට කිව හැකිය. තවද, ‘අරගලයේ’ සුවිශේෂී ස්වභාවය සහ ඒ මගින් රටේ සමස්ත දේශපාලන සංස්කෘතිය තුළ ඇති කළ විපර්යාසය කෙතෙක් තීව්‍ර වීද යත්, ජනාධිපතිවරයා රට හැර පලා යාම නිසාම, එදා පාර්ලිමේන්තුවේ වලංගු භාවයත් අහෝසි විණැයි එවැනිම සාධාරණ පදනමක පිහිටා අපට තර්ක කළ හැකිය. ඉහතින් කී ව්‍යතිරේක, එනම් නියමිත කාලයට කලින් ඡන්දයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට ඇති බලය අභ්‍යාස කළ යුතුව තිබුණේ එම තතු යටතේ ය. ඒ අනුව, මේ ආයතන දෙක සඳහාම හැකි ඉකමනින් ඡන්ද පැවැත්විය යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදු වුණේ නැත.

පුංචි ඉතිහාස කතාවක්

අතුරු කතාවක් කීමට තිබේ. ඉහත කියා ඇති පරිදි, පාර්ලිමේන්තුවක් නියමිත කාලයට කලින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබා දී තිබීම, මහජනතාවගේ සුභසිද්ධිය සඳහා නොව, ජනාධිපතිවරයාගේ අධිකාරයට පාර්ලිමේන්තුව යටත් කිරීම සඳහා යොදාගෙන ඇති ආකාරය හරි අපූරු ය. ජේ. ආර්. ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථා සංශෝධනයෙන් පැනවුණේ, පාර්ලිමේන්තුවක් පත්කරගෙන අවුරුද්දක් ගිය පසු ජනාධිපතිවරයාට එම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වන පරිදි ය. මහජනතාව පත්කරගන්නා මහජන නියෝජිතයන් 225 දෙනෙකු, එම ජනතාවම පත්කරගන්නා තනි පුද්ගලයෙකුට, අවුරුද්දක් වැනි කෙටි කාලයකින් පසුව පන්නා දැමීමට බලය පැවරීම, මොන තරම් ඒකාධිපති මනසකින් යුතුව කරන්නට ඇති සංශෝධනයක්දැයි තේරුම්ගැනීම අපහසු නැත.

ඇත්තෙන්ම ජේ. ආර්. ජයවර්ධනගේ අරමුණ වුණේම, පාර්ලිමේන්තුව නමැති සාමූහිකය වෙනුවට, ජනාධිපතිවරයා නමැති තනි පුද්ගලයා රජ කෙනෙකු බවට පත්කිරීමයි. මේ අමනෝඥ විකෘතිය, යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යස්ථා සංශෝධනය මගින් වෙනස් කරන ලදි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු හතරහමාරක් ගතවනතෙක් ජනාධිපතිවරයාට එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය නොදුනි.

එසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ බලයට ආ සැණින් කෙළේ කුමක්ද? මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ආපස්සට හැරවීමයි. ඒ අනුව, යළිත් වරක්, අවුරුද්දක් ඇවෑමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පවරාගැනුණි. එය නැවතත් වෙනස් කෙරුණේ, ගෝඨාභය රාජපක්ෂ පලායාමෙන් පසුව, වර්තමාන ආණ්ඩුවෙන් ගෙනා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. ඊට අනුව, අද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු දෙකහමාරක් ගත වූ පසුව පමණි.

ඒ අනුව, තවමත් අපි සිටින්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරගත් ප්‍රගතියට බොහෝ පසුපසින් බව එයින් පෙනේ.

රාජපක්ෂ පවුල, සේනානායක සහ බණ්ඩාරනායක වැනි හුදු කායික පවුල් ගසක් නොව, පවුලක නායකත්වයෙන් ගොඩනැඟුනු දේශපාලන සංස්කෘතියකි. ඒ නිසාම, එය මැඩලීම පහසු නොවේ. ඔවුන් ඇතිදැඩි කළ රාජපක්ෂවාදී සංස්කෘතිය තවමත් විරාජමාන වන්නේ එබැවිනි. එහි කුලදෙටුවා වන මහින්ද රාජපක්ෂව 2015 දී පරාජය කෙරුණි. ඊට වසර හතරකින් පසු පැමිණි ගෝඨාභය රාජපක්ෂව බෙල්ලෙන් අල්ලා පන්නා දැමුණි. ඊළඟට කුරුමානම් අල්ලන නාමල් රාජපක්ෂගේ කලවයස එනතෙක් පවුල් සංස්කෘතිය ගෙනයාම භාරගෙන ඇත්තේ, බැසිල් රාපක්ෂ නමැති, මහජන නියෝජිතයෙකු නොවන, අරික්කාලක් ශ්‍රී ලාංකික වන අතරේ තුන් කාලකටත් වැඩියෙන් ඇමරිකානුවෙකු වන පුද්ගලයෙකි.

මැතිවරණ නක්ෂත්‍රකරුවා

ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි කියන්නේ මොහු ය. දැන් මුළු රටම ඒ ගැන තර්ක විතර්ක කරති. පසුගිය දා ඇමරිකාවේ සිට ඔහු ලංකාවට පැමිණීම, බොහෝ දෙනාට ‘මංගල’ කාරණයක් වූ බවක් පෙනුණි. දැන් ඉතිං අපේ සියලු ප්‍රශ්න ඔහු විසින් ‘විසඳා දෙනු ඇතැ’ යි ඇඟවෙන ගතියක් ඇති වුණි. මෙවැනිම ගතියක්, ‘අරගලයට’ කලින් ඔහුට මුදල් ඇමති ධුරය පිරිනැමූ අවස්ථාවේත් ඇති වුණු බව අපට මතකයි. ආචාර්ය එන්. එම්. පෙරේරාට පසුව, පළමු වතාවට මහා ‘මොළයක්’ ලංකාවේ ආර්ථිකය හැසිරවීම භාර ගැනීමට යන්නේය වැනි අදහසක් එදා තිබුණි. ඉන් පසු පෙළගැසුණු අපකීර්තිමත් ඉතිහාසය, යළි මතක් කරදීමට අවශ්‍ය නොවෙන තරමට කුප්‍රකටයි.

ජනතාවගේ ඡන්දය දූෂිත පෙළැන්තියකට වාසිදායී ආකාරයෙන් භාවිත කළ හැකි අනුපිළිවෙල සහ සුබ මොහොත කුමක්ද යන්න කියාදීමට ‘මොළයක්’ ඇතැයි කියන්නේ මොහුට ය. ඔහු පිළිබඳව ගෙතී ඇති වෙනත් සුරුවිරුකම් වාගේම මේ කතාවත් අමු ප්‍රබන්ධයකි. ඓතිහාසික සාක්ෂි ඉදිරියේ ඉතා පහසුවෙන් නිෂ්ප්‍රභ වන්නකි. 2015 ජනවාරියේ තමාගේ ලොකු අයියා අත්විඳීමට නියමිතව සිටි ජනාධිපතිවරණ පරාජය ඔහුගේ ‘මොළයට’ හසු වුණේ නැත. නියමිත කාලයටත් කලින්, එනම් 2015 ජනවාරි 8 වැනිදා, එම මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ලොකු අයියාට උපදෙස් දී තිබුණේද මොහු ය. ඊළඟට, ගෝඨාභය අයියාව පන්නා දැමීම පමණක් නොව, තමා ඇතුළු තමාගේ මුළු පවුලමත් ජීවිතාරක්ෂාව පතා යම් කාලයකට වනගත වීමට නියමිතව තිබූ බව මේ ‘මොළයට’ වැටහුණේ නැත. ඒ සමස්ත නස්පැත්තියෙන් තාවකාලිකව හෝ ගොඩඒමට හැකි වනු ඇත්තේ අවසානයේ රනිල් වික්‍රමසිංහගේ මොළයෙන් බව මොහුගේ ‘මොළයට’ කලින් වැටහී තිබුණේද නැත.

දැන්, ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තැබිය යුතු යැයි මොහු යෝජනා කරන්නේ ඇයි? හතුරු ජනාධිපතිවරයෙකු යටතේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා, තමාගේ අත්අඩංගුවේ පසුවන මිතුරු ජනාධිපතිවරයෙකු යටතේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම කොයි අතිනුත් ඇඟට ගුණදායක විය හැකි නිසා ය. එවැනි ජනාධිපතිවරයෙකුගේ රැකවරණය තමාගේ කඳවුරට ලැබෙන අවසාන අවස්ථාව මෙය වන බවට ඔහු තුළ බරපතල සැකයක් පවතින නිසා ය.

ඒ සරල අවබෝධය, කෙසේ වෙතත්, දේශපාලනයේ නූතන මොහොත තුළ වලංගු නොවන බවක් පෙනේ. ඒ, යම් විශේෂිත ගතිකත්වයක් හේතුවෙනි. එනම්, පරණ යාන්ත්‍රන මාදිලිය, එකී යාන්ත්‍රණයේ වයස්ගත වීම (හැත්තෑපස් වසර) නිසාම නොව, (දුම් බිව්වොත් පිළිකාව වැලඳෙතියි කියන්නා සේ) එක්තරා තාර්කිකත්වයක්ද සහිතව මුත්, තවත් අනපේක්ෂිත අමතර සාධක ගණනාවක් විසින් හදිසි ආබාදයකට ගොදුරු කර ඇති බැවිනි. මේ ආබාදය හැඳින්විය හැක්කේ, “සකල සිද්ධස්ථාන කිල්ලට හසුවන නපුරු යෝගයක්” වශයෙනි.

එහි නවතම නිරූපණය සැපයෙන්නේ, රත්තරන් නමින් කුප්‍රකට පුද්ගලයෙකු, ‘කෝප්’ කමිටුව වැනි, විසම්මුතියට සාධාරණ අවකාශයක් සපයන සහ සැඟවීම වෙනුවට හෙළිදරව්වට මුල් තැන දෙන ආයතනයක සභාපතිත්වයට පත්කිරීමට තරම් වර්තමාන පාලකයන් දුරදිග යාමෙනි. ඊටත් කලින්, තවත් සම්භාවනීය ආයතනයක් වන ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපතිවරයා විසින්, එනම් වත්මන් කතානායකවරයා විසින් අපූරු අංකගණිතමය ආකාරයක් අනුගමනය කරමින් වර්තමාන පොලිස්පතිවරයා එම තනතුරට නිර්දේශ කිරීමත්, ‘පැසුණු‘ දේශපාලනඥයෙකු යැයි සැලකෙන ජනාධිපතිවරයා විසින් එම නිර්දේශය අනුමත කිරීමත් ය.

රාජපක්ෂලා විසින් සොරකම් කරන ලද බව නිතර කියති. ඒ, මිල මුදලින් මිණිය හැකි ධන සම්පත් ය. ඒවා ගැන සොයා බැලීම සඳහා නීතිය සහ අධිකරණය තිබේ. එහෙත් රාජපක්ෂලා සොරකම් කළ තවත් වැදගත් ධනයක් තිබේ. ඒ වනාහී, ශිෂ්ටත්වයයි. එය, නීතියකින් හෝ අධිකරණයකින් පමණක් මෙල්ල කළ හැකි දෙයක් නොවේ. එය මැඩලීමට නම් නව දේශපාලන සංස්කෘතියකුත් අවශ්‍ය කෙරේ.

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද?

 – ගාමිණී වියන්ගොඩ (සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක)

theleader.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග