මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය.

Central Bank of Sri Lanka Salaries

පෙර ලිපියෙහි සඳහන් කළ “වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව” ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. “එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි” කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද?

මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් “ශ්‍රී ලංකා මහ බැංකුව” කියා දැන් තිබෙන ආකාරයේ ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ “සංස්ථාවක්” පිහිටවනු ලබන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන යටතේයි.

මහ බැංකු පණතේ 4 වන වගන්තිය අනුව, එහි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් දරනු ලැබිය යුතුයි. එමෙන්ම, ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන ලද අරමුදල් වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වරින් වර වැඩි කළ හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් මෙම ආයතනය සියයට සියයක් ජනතා බදු මුදල් යොදවා පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථාවක්.

විවිධ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන මෙවැනි රාජ්‍ය සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තිබෙන වෙනස කුමක්ද?

පණතේ 5 වගන්තිය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනමය හා මූල්‍ය ස්වාධීනත්වයක් ඇති ආයතනයක්. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ පාලක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින්. පණතේ 21 වගන්තිය අනුව, මෙම පාලක මණ්ඩල සාමාජිකයින්ට ගෙවිය යුතු වැටුප්, දීමනා ආදිය ඔවුන්ව පත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තීරණය කරනවා. ඉන් පසුව එම වැටුප්, දීමනා ආදිය අඩු කළ නොහැකියි. එමෙන්ම, පණතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය (පාරිශ්‍රමික) මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතුයි.

ඉහත කොන්දේසිය පණතටම ඇතුළු කර තිබෙන්නේ ඇයි කියන කරුණ අපගේ පෙර ලිපිය කියවා අවබෝධ කරගත හැකි විය යුතුයි. මහ බැංකුවේ ආදායම් වලින් හෝ ලාබ වලින් එම ආයතනයේ පාලක මණ්ඩලයේ හෝ සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හෝ ඵලදායීත්වය පිළිබිඹු කරන්නේ නැහැ. මෙම වෙනස නිසා මහ බැංකුවක් එහි ව්‍යාපාරික ස්වභාවයෙන් වෙනත් ඕනෑම ව්‍යවසායකට වඩා වෙනස් ආයතනයක්. ඒ වගේම, මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින් නොවේ කියන එක තේරුමක් නැති තර්කයක් කියන එකද මෙයින් තහවුරු වෙනවා.

මහ බැංකුවේ සේවා නියුක්තයින් පත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව නෛතික තත්ත්වය පණතේ 23 වගන්තිය විස්තර කරනවා. එම වගන්තිය අනුව, මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කරන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්. එම වැටුප් හා දීමනා මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතු බව නැවතත් විශේෂයෙන් සඳහන් වෙනවා.

නැවතත් පනතේ 5 වගන්තිය වෙත ගියොත්, පණතෙන් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කිසිවෙකුට මහ බැංකුවේ අධිපතිවරයාට හෝ එහි පාලක මණ්ඩලයට බලපෑම් කළ නොහැකියි. පණතේ 23 වගන්තිය අනුව සේවකයින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කිරීම එසේ පනත මගින් එහි පාලක මණ්ඩලයට ලබා දී තිබෙන බලතලයක්. ඒ නිසා, වෙනත් කිසිවෙකුට ඒ සම්බන්ධව පාලක මණ්ඩලයට බලපෑම් කිරීමේ අයිතියක් නැහැ.

අලුත් මහ බැංකු පණත සම්මත වීමට පෙර මහ බැංකුවට මේ මට්ටමේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඊට පෙරද මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවුවේ මහ බැංකුවේ අරමුදල් වලින්ම තමයි. ඒ වගේම, මීට පෙරද මහ බැංකු සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි කළ අවස්ථා තිබෙනවා. අප මෙහි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මෙය වෙනම කාරණාවක්.

දැනටත් රාජ්‍ය සංස්ථා වල සේවකයින්ට වැටුප් ගෙවන්නේ එම ආයතන වල අරමුදල් වලින් මිසක් ඒකාබද්ධ අරමුදලින් නෙමෙයි. නමුත් මෙම රාජ්‍ය සංස්ථා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්. මුදල් අමාත්‍යාංශ අනුමැතියක් නැත්නම් එම ආයතන වලට අලුත් බඳවා ගැනීම් කිරීමට හෝ වැටුප් වැඩි කිරීමට නොහැකියි. සාමූහික ගිවිසුම් වලට එළැඹිය නොහැකියි. නමුත් මහ බැංකුව දැන් මෙම සීමාවන්ගෙන් නිදහස්.

මහ බැංකුවට මේ බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. නමුත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට බලය ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තුවට එම බලය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම වැළැක්විය හැක්කේ නීතිය වෙනස් කර දුන් බලය ආපසු ලබා ගැනීමෙන් පමණයි. වත්මන් මහ බැංකු පණත බලාත්මකව තිබෙන තුරු මහ බැංකුවේ පාලක මණ්ඩලයට අභිමතය පරිදි සේවක වැටුප් වැඩි කළ හැකියි. (සාමූහික ගිවිසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ගැන පසුව වෙනම කතා කරමු.)

අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයක් සැලකුවහොත්, මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය පැත්තකින් තිබ්බත්, සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව අදාළ ආයතනයේ ආදායම් හා ලාබ හරහා නියාමනය වෙනවා. එසේ නැත්නම් වෙළඳපොළ විසින් නියාමනය කරනවා. අදාළ ආයතනය ඒකාධිකාරයක් වූ විට සහ නිපදවන භාණ්ඩය හෝ සේවාව අත්‍යාවශ්‍ය එකක් වීම මත මෙවැනි ආයතනයකට රිසි සේ ලාබ වැඩි කර ගැනීම සඳහා සැලකිය යුතු අවකාශයක් ලැබිය හැකි වුවත්, මහ බැංකුවට මෙන් “අසීමිත” අවකාශයක් ලැබෙන්නේ නැහැ.

මහ බැංකුව සතු නෛසර්ගික මූල්‍ය ස්වාධීනත්වය සම කළ හැක්කේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වාධීනත්වයට පමණයි. ව්‍යවස්ථාදායකයට තමන්ට “රිසි සේ” බදු වැඩි කර ආදායම් වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුවට තමන්ට “රිසි සේ” සල්ලි අච්චු ගසා ආදායම් වැඩි කරගන්න පුළුවන්. වෙනත් කිසිම ආයතනයකට එවැන්නක් කළ නොහැකියි. තෙල්, විදුලි ගාස්තු වැඩි වෙද්දී එය කොපමණ පීඩනයක් වුවත්, එක්තරා අයෙක් පසුගිය දිනෙක කියා ඇති පරිදි, “කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න” පුළුවන්. බර කරත්ත වලින් ගමන් යන්න පුළුවන්. නමුත් බදු, විශේෂයෙන්ම වක්‍ර බදු, නොගෙවා ඉන්න බැහැ. උද්ධමනයෙන් බේරෙන්න කොහොමටවත් බැහැ.

ව්‍යවස්ථාදායකය විසින් තමන්ට “රිසි සේ” බදු වැඩි කර ආදායම් වැඩි කර ගැනීම සහ මහ බැංකුව විසින් තමන්ට “රිසි සේ” සල්ලි අච්චු ගසා ආදායම් වැඩිගැනීම නියාමනය විය හැකි එකම ආකාරය සෘජු ජනතා මැදිහත් වීම් පමණයි. ජනතා විරෝධය ප්‍රශ්නයක් වන තුරු ඔය දෙකම වෙන්න පුළුවන්. ජනතාවට ව්‍යවස්ථාදායකය පිළිබඳව ප්‍රශ්න ඇති විට එහි නියෝජිතයින් වෙනස් කළ හැකියි. එය වරින් වර සිදු වෙනවා. එහෙත්, මහ බැංකුව හා අදාළව ජනතාවට මේ විකල්පය හෝ නැහැ.

ඉහත හේතුව නිසා සෘජුව ජනතාවට වගවීමට පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තිබෙන වගකීමටද වඩා වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නෛතික අයිතිය අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද අවශ්‍ය පමණ වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් කිසිවකුගෙන් අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ. අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුවටද එවැනිම, පාර්ලිමේන්තුවට සම, නෛතික අයිතියක් ලැබී තිබෙනවා. ඇතැම් විට එම අයිතියේ බර දරා ගැනීමට මහ බැංකුවට තවමත් හැකියාවක් නැතුවා විය හැකියි.

මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද 100%කින් වැඩි කරගත්තොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔවුන්ට එසේ කර ගැනීමට පූර්ණ නෛතික හැකියාවක් තිබෙනවා. නමුත්, ඔවුන් එසේ නොකරන්නේ ඒ සමඟ ඇති වන මහජන ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා. අලුත් පණත සම්මත වීමෙන් පසුව මහ බැංකු සේවකයින් සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඳගෙන සිටින ආකාරයේම උණුසුම් පුටු වලයි.

කෙසේ වුවත්, මේ ලිපිය අනාගතවාදීව ලියන්නක් මිසක් සිදුව ඇති වැටුප් වැඩිවීම පමණක් ඉලක්ක කරගෙන ලියන්නක් නෙමෙයි. ඒ වගේම, මහ බැංකුවට සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන කරුණ ඇතුළු කතා නොකළ කරුණු පසුව කතා කරමු.

#ඉකොනොමැට්ටා

Social Sharing
අවකාශය නවතම විශේෂාංග