– අජිත් රාජපක්ෂ –
පසුගිය දශකයේ දේශපාලන කතාබහවල නිතරම ටොයියන් සහ බයියන් ගැන කතාවුනි. සමාජ මාධ්‍ය වල මේ සමාජ කොටස් ගැන විවිධ අර්තකතනයන් ලබාදුනි.
බොහෝ අය ටොයියන් ලෙස හැදින්වූයේ බටහිර පන්නයට සිතන, නවීනත්වයට ලැදි, ජාතිකවාදී චින්තනයෙන් ඔබ්බට ගිය, ලෝකය ගැන සිතන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජන කොටසටයි. මේ කණ්ඩායමේ ධනවාදී චින්තනය අගයන ලිබරල්වාදීන් මෙන්ම සම්භාව්‍ය මාර්ක්ස්වාදී චින්තනය නියෝජනය කරන වාමාංශික පිරිස්ද නියෝජනය කලේය. මෑත කාලයේ මේ කියන ටොයියන් නියෝජනය කලේ 2015 දී බලයට පැමිනි යහපාලන ආණ්ඩුවයි.
බොහෝ දෙනා බයියන් ලෙස හැදුන්වනුයේ සම්ප්‍රදායික ලෙස සිතන, විවිධ දූශිත සහ රැවටිලිකාරී දේශපාලකයන්ට පහසුවෙන් රැවටෙන පිරිස් වලටයි. මොවුන් විවිධ වකවානුවල විවිධ දේශපාලකයන්ට සහ එවැනි රැලිවලට අසුවී මහත් බලාපොරොත්තු තියාගෙන සිටි එහෙත් හැමවිටම ඒ බලාපොරොත්තු කඩකරගත් පිරිස්ය. විශේෂයෙන් රාජපක්ෂලා රට බේරාගැනීමට සිටිනා විරුවන් ලෙස ඔවුන්ව වන්දනාමාන කලේ මේ පිරිස්ය.
රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත…
මොවුන්ගේ බහුතරය ජාතිකවාදීන් වන අතර විදේශීය කුමන්ත්‍රණ, විදේශීය ආයෝජන (උදා. MCC, IMF) , වෙළද ගිවිසුම් (ECTA), NGO යනාදිය ගැන ලොකු බියකින් පසුවෙති. රට විරුවන්, රණවිරුවන්, ජාතික චින්තනවාදීන් යන සියල්ල මේ බලවේගය නියෝජනය කරති. මොවුන් බොහෝවිට බටහිර විරෝධීය, ඇමරිකන් විරෝධීය, ඉංදියානු ව්‍යාප්තවාදය ගැන බියෙන් පසුවෙති. මිත්‍යා අදහස් වලට පහසුවෙන් ගොදුරුවෙති (වද පෙති, කැලනි ගගෙන් ආ ණයා, කෝවිඩ් පැනිය ආදිය). බොහෝ අය බයියන් ලෙස හදුන්වන මේ පිරිස් ගෝටා බලයටගෙන ඒමට දායක විය. ගෝටාගමනයෙන් සිදුවූ ආර්ථික පරිහානියෙන් මහත් පීඩනයකට පත්වී ඇති බහුතරයක් ඉන්නේ මේ ගොඩේය. දැන් දේශපාලකයන් කෙරෙහි වඩාත් කෝපයකින් සිටින්නේද මේ පිරිසයි. ඔවුන් තමන් කරගත් වින්නැහිය පිලිබඳව විශාල ලජ්ජාවකටද පත්ව සිටී.
රට ගොඩනැගීමට මැලිවීම හෙවත් සර්වපාක්ෂිකයට පිටුපෑම…
දැන් ටොයියන් බයියන්ගෙන් අහන්නේ උඹලා ගෝටා පස්සේ ගොස් කෙලවාගත්තා නොවේද යන්නයි. මේ නිසාම ඔවුන්ට වෙනත් විකල්පයක්, නව බලාපොරොත්තුවක් වහා අවශ්‍ය වී තිබේ. ගිලෙන්න යන එකාට එල්ලෙන්න දෙයක් අවශ්‍යවේ. ඒ සදහා බහුතරයක් තෝරාගෙන ඇත්තේ ජෙප්පන්ය. ඊට බොහෝ හේතූ කාරනා තිබේ. පලමුවැන්න ජෙප්පන්ද කාලයක් තිස්සේ ජාතිකවාදී චින්තනයෙන් ඔවුන්ව මුසපත් කල කණ්ඩායමක් වීමයි. ඒවාගේම ඔවුන් රාජපක්ෂලා බලයට ගෙන ඒමටත් ඔවුන්ගේ යුධවාදී වැඩපිලිවෙලට ලොකු දායකත්වයක් දුන් කණ්ඩායමකි.
ඒ වගේම කාලයක් තිස්සේ ඉන්දීය බෙදුම්වාදය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යන ආදිය ප්‍රචලිත කරමින් ඒවාට විරුද්ධව නායකත්වය දුන් දේශප්‍රේමීන්ය. එනිසා ඔවුන් සමග එක්වීම අමාරු නැත. ඒ වාගේම දුෂණ සහ වංචා හෙලිදරව් කිරීම, දූශිතයන්ට දඩුවම් දීමට සහ එම මුදල් නැවත ලබාගන්නා බවට දෙන පොරොන්දු මේ ජනකොටස්වලට ආකර්ෂණීයය. එනිසා බොහෝ බයියන් දැන් ජෙප්පන් බවට පත්වී ඇත. සියයට තුනේ ජෙප්පන් අද සියයට තිස් හතලිස් ගානක් වී ඇත්තේ එසේය.
ඒ වගේම රටේ තියෙන මජර දේශපාලනය පිලිබඳව කලකිරීමකින් සිටින විශාල අතරමැදි ජන කොටසක්ද ජෙප්පොන්ට චන්දය දීමට සිතා සිටී. ඒ මේ ක්‍රමවේදය කෙසේ හෝ වෙනස් කලයුතුයැයි මේ කොටස් සිතා සිටින බැවිනි. වෙනසක් ගැන වැඩි උනන්දුවක් දක්වන මේ කොටස් මජර පාලකයන් කෙසේ හෝ එලවා දැමිය යුතුයැයි සිතයි. ඔවුන් ණය අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද, වැටුප් වැඩි කරන්නේ, බදු අඩු කරන්නේ, සහනාධාර ලබාදෙන්නේ කෙසේද යනාදී ප්‍රශ්න ගැන ගැඹුරෙන් නොසිතයි. ඔවුන්ට ඇත්තේ බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් පමනි. දැන් එය රටේ විශාල රැල්ලක් බවට පත්වී තිබේ.
සජිත් ප්‍රේමදාස ; පොඩි එකාගේ දේශපාලනය
බයියන් පිනවන තවත් නායකයෙක් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. ඔහු රාජපක්ෂලාට සමාන ක්‍රියාකාරකම් කරමින් පොහොට්ටුවට ආකර්ෂණය වී සිටි සමාජ කොටස් තමන් වෙත දිනාගැනීමට උත්සාහ කරයි. ජෙප්පන් තරම් ආකර්ෂණයක් නැතත් ඔහු දැන්ට රේස් එකේ දෙවැන්නාය. විකල්ප වැඩපිලිවෙලක් නැතත් පියානන්ගේ දේශපාලනය ඔහුට ග්‍රාමීය කොටස් සහ දුගියන් දිනාගැනීමට උපකාරී වී ඇත. නමුත් වඩාත් තීරනාත්මක වන ප්‍රභූ පැලැන්තියත් දේශීය සහ විදේශීය ප්‍රාග්ධන හිමියන්ට අවශ්‍ය වන්නේ බයියන් පිනවන නායකයෙකුට වඩා දැඩි මතධාරී ලිබරල් නායකයෙකි. එනිසා ඔහු ඉදිරියේදී චෙක්මේට් වීමට තිබෙන ඉඩකඩ වැඩිය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මගින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරගනිමින් ධනවාදය ඉදිරියට ගෙන යායුතුයැයි සිතන ටොයියන් පිරිසක්ද සිටී. එසේ නොකලොත් ආර්ථිකය නැවත කඩාවැටී බංකොලොත් විය හැකියැයි මේ අයගේ තර්කයකි. ඔවුන්ට අනුව රනිල් දක්ශයෙකි. ඔහු ඉතා කෙටිකාලයකින් බංකොලොත් වූ රට හරි මගට ගෙන ඇත. ජාත්‍යන්තර සබදතා ගොඩ නගා ගෙන ඇත. දැන් කලයුතු වන්නේ සියල්ලන්ම එක්ව ඔහුට උදව් කිරීමයි. මේ කොටසේද ලිබරල්වාදීන් මෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදීන් පිරිසක්ද සිටී.
රට ඉදිරියට ගෙන යාමට නම් විශාල වෙනස්කම් රැසක් වියයුතු බවට මේ සියල්ලෝම වාගෙ පිලිගනිති. දැන් ප්‍රස්නය වන්නේ මේ සියලු කොටස් බලාපොරොත්තුවන ඒ වෙනස සිදුකරන්නේ කව්ද සහ කෙසේද යන්න පිලිබඳවයි. මේ උභතෝකෝටිකයට දැන් ජාතික ජන බලවේගයද මුහුනදී සිටී. ඔවුන්ට ඇති පලමුවන අභියෝගය තමන් තෝරගන්නේ ධනවාදයද සමාජවාදයද යන්නයි. දෙවැන්න ගෝලීය දේශපාලනය තුල චීන පිලද ඇමරිකන් පිලද ඉන්දියන් පිලද නැත්නම් මධ්‍යස්ථ පිලිවෙතක් ගත හැකිද යන්නයි.
සමාජවාදය සහ ධනවාදය:
ධනවාදය හරහා ආසියාවේ බොහෝ රටවල් විශාල ආර්ථික සංවර්ධනයක් ලබාගැනීමට හැකිවී ඇතිබව නොරහසකි. සිංගප්පූරුව, මැලේසියාව, දකුනු කොරියාව, ඉංදුනීසියාව මේ අතර මුල්තැනක් ගනී. චීනය සහ වියට්නාමය ධනවාදී ආර්ථික ක්‍රමයට සම්බන්ධවී අති විශාල සංවර්ධනයක් ලගාකර ගෙන ඇතත් මේ රටවල් දෙකේම ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස හෝ පුද්ගල නිදහස නැත. විරුද්ධ මතවාද දැඩි මර්දනයකට ලක් කර ඇත. ඊලගට අපේ අසල්වැසි ඉංදියාවද විශාල ආර්ථික දියුනුවක් ලගාකරගනිමින් සිටින අතර ඉදිරි දශක දෙකේදී විශාල දියුනුවක් ලබාගැනීමටද ලෝකයේ ප්‍රබලම රාජ්‍යක් බවට පරිවර්තනය වීමටද නියමිතය.
ඒ නිසා ශ්‍රී ලංකාවටද ඉංදියානු සංවර්ධන ක්‍රියාවලිය සමග ඒකාබද්ධ වීමෙන් විශාල සංවර්ධනයක්, ප්‍රගතියක් ලගාකර ගත හැක. ඒ වගේම කලාපීය සහ ගෝලීය යතාර්ථය තුල ධනවාදය හැර වෙනත් විකල්ප ආර්ථික ක්‍රමයක් කිසිවෙකුටත් නොමැත. පසුගිය දශක කිහිපයේ සමාජවාදී ආර්ථික ආකෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් දකුනු ඇමරිකානු රටවල්ද විශාල අර්බුදයන්ට මුහුන දෙමින් සිටී. ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ සෙවනේ සිටින ඔවුන්ට එම බලපෑම්වලින් මිදීමට ඉඩක් නැතුවාසේම ශක්තිමත් ඉංදියානු ධනවාදය යටතේ ශ්‍රී ලාංකාවටද වෙනත් ගමනක් ගැන සිතීම සියදිවි නසාගැනීමක් වැනිය. තනි රටක හෝ රටවල් අතලොස්සක සමාජවාදය ක්‍රියාත්මක නොකල හැකි බව මාක්ස්වාදී චින්තකයෝ විශ්වාස කලෝය. ධනවාදය ගෝලීය වෙලදපොල ජාලයක්සේ සම්බන්ධ කරගැනීමෙන් ශක්තිමත් වනවාසේම සමාජවාදයටද පැවතිය හැක්කේ එවැනි සමාජවාදී ලෝකයක් තුල පමනක් බව ඔවුන් විශ්වාස කලෝය.
1917 විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ මූලිකත්වයෙන්, විශේෂයෙන් නැගෙනහිර යුරෝපයේ මෙවැනි සමාජවාදී ජාලයක් ක්‍රියාත්මක විය. එය යම් සාර්ථකත්වයක් ලබාගත් නමුත් එහි කඩාවැටීම නොවැලැක්විය හැකි කාරනයක් බවට පත්ව තිබුනි. ලෝක යුද්ධයෙන් පසු ස්ටාලින් විසින් තනි රටක සමාජවාදය පවත්වාගෙන යෑමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග ගිවිසුම් ඇති කර ගන්නා ලදී. ඔහුගේ යටතේ පැවතියේ උග්‍ර ඒකාධිපති ක්‍රමයකි. ස්ටාලින්ගේ කෲර පාලනයට එරෙහිවූ ඔක්තෝබර් විප්ලවයේ නායකයන් සියල්ල ඔහු විසින් ඝාතනය කරන ලද අතර ඔහුගේ පාලන සමයේ වද බන්දන වලට ලක්ව ඝාතනය වූ සංඛ්‍යාව මිලියන් 6 කට අධිකය.
ලෝකයේ ප්‍රතම වරට සෝවියට් දේශයේ අත්හදාබැලූ සමාජවාදී ආකෘතිය පිලිබඳව මාක්ස්වාදී බුද්දිමතුන් අදටත් වාද විවාද කරති. අද කොමියුනිස්ට් ක්‍රමය කෙරෙහිද ඇත්තේ එවනිම විවේචනයකි. විශේෂයෙන් කම්කරුවන්ගේ ආදීපත්‍යක් (worker’s dictatorship) ඇතිකිරීම යන්න, සියල්ල මධ්‍යගත රාජ්‍ය පාලනයකින් සිදුකිරීම (centralised economy), පෞද්ගලික නිදහස සම්පූර්ණයෙන්ම නොතකා හැරීම ආදිය අද නවීන ලෝකය පිලිනොගන්නා තත්වයන්ය.
1917 රුසියානු විප්ලවයෙන් පසුව ඇතිවූ විශාල ආර්ථික අර්බුදය හමුවේ පසුගාමී වැඩවසම් ආර්ථික ක්‍රමයක් තිබූ රුසියාවේ ආර්ථිකය ඉතාම නරක තත්වයකට ඇද වැටුනි. ආහාර බෙදීම සලාක කිරීමට සිදුවූ අතර පාක්ශිකයන් නොවූ සාමාන්‍ය ජනයාට ආහාර ලබාදුන්නේ කොමියුනිස්ට් පක්ශයේ සාමාජිකයින්ට ආහාර බෙදාදී ඉතුරුවූවානම් පමනි. මේ තත්වය යටතේ සමාජවාදී ආර්ථික ක්‍රමය වෙනුවට ප්‍රථමයෙන් ධනවාදී ආර්තික මොඩලය ක්‍රියාත්මක කොට සංවර්ධනයක් ලබාගත යුතු බවට ලෙනින් තර්ක කලේය. එහෙත් දේශපාලන මණ්ඩලයේ අනිත් සාමාජිකයන්ගේ විරෝධය මත එය ක්‍රියාත්මක නොවුනත් අදටත් ධනවාදී සංවර්ධනය මගහැර සමාජවාදී ආර්ථික ආකෘතියක් ක්‍රියාත්මක කිරීම විශාල අභියෝගයකි.
ලංකාවේ පැරනි වාමාංශික පක්ශද ඇත්තටම ලංකාවේ සමාජවාදය පිහිටුවීමට වඩා උත්සාහ කලේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කාර්‍යභාරයන් ඉෂ්ඨ කර ගැනීමටය. ලාංකීය මාක්ස්වාදී බුද්දිමතුන් වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැන්නන් පවා පැවසුවේ ලාංකීය සමාජවාදය යතාර්තයක් විය හැක්කේ අඩු තරමේ ඉංදියානු උප මහද්වීපය තුල වෙන එවැනි පෙරලියක් හරහා බවයි. එ නිසාම වාමාංශික නායකයින් වරින් වර ධනපති නායකයන් ඉදිරිපත් කල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදි වැඩ සටහන්වලට සහය දැක්වීය. කුලවාදය සහ වර්ගවාදයට විරුද්ධවූ වාමාංශිකයින් උතුරේ දෙමල මිනිසුන්ගේ මෙන්ම වතුකරයේ දෙමල ජනතාවගේ අයිතීන් වෙනුවෙන් එකවර පෙනී සිටියේය.
මලෛයහ තමිල් පා ගමනට යුද පීඩිත දෙමළ සහෝදරත්වය පල වෙයි
ඒ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ ඉංදියානු ව්‍යාප්තවාදයක් ගැන ජනතාව නොමග හරිමින් වතුකරයේ දෙමල ජනතාවට විරුද්ධවත් උතුරු නැගෙනහිර ජනතාවට බලය විමධ්‍යගත කිරීමටත් දැඩිසේ විරුද්ධ වූවේය. ඔවුන් ජාතිකවාදී ස්ථාවරයක් ගත් අතර නිර්මාක්ස්වාදී චින්තනයක් ප්‍රවර්ධනය කලේය. එහි ප්‍රතිපලයක් ලෙස අවසානයේ අමු ජාතිවාදීන් සමග එක්වෙමින් රටේ විශාල භීෂණයකට පාර කැපුවේය. අවසානයේ පක්ෂයත් නායකයනුත් ජීවිත වලින් ඊට වන්දි ගෙවීය. ඉන් පසු නැවත දේශපාලන කරලියට පැමිනි ජවිපෙ විවිධ වකවානුවල විවිධ චින්තනයන් ඉදිරිපත් කරමින් ධනවාදයට මුක්කු ගැසුවේය. ඔවුන් තමන්ට ගැලපෙන ලෙස මාක්ස්වාදය විකෘති කලේය. ලාංකීය ධනපති පංතියට ජාතික ගැටලුව විසදාගත නොහැකිව අර්බුදයට ගොස් සිටි මොහොතේ දෙමල ත්‍රස්තවාදය පරාජය කිරීම සදහායැයි පවසමින් ජාතිකවාදීන්ට මුක්කු ගැසුවේය. ඔවුන්ගේ ආණ්ඩුවලට සම්බන්ධ වෙමින් ජාතිවාදී යුද්ධයට පන පෙවීය. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර නීතිවලට අනුව බර ආයුධ පාවිච්චි කිරීමට යම් මැලිකමක් දක්වද්දී බර ආයුධ පාවිච්චි කොට උතුරේ කැරැල්ල විනාශ කරන ලෙස බල කලේ ජවිපෙ නායකයන්ය. වට ගනනාවකින් මර්දනය වෙමින් සහ නැවත පනදෙමින්, විවිධ වකවානුවල විවිධ අදහස් ඉදිරිපත් කල ජවිපෙ අද ජාජබය හරහා යම් නම්‍යශීලී බවක් පෙන්වා ඇත.
සීනුවෙන් මාලිමාවට මාරු වූ ජවිපෙ දේශපාලනය
තමන්ගේ කේඩරය රදවාගැනීමට තවමත් රතු කොඩි, කාල්මාක්ස්, එංගල්ස් සහ ලෙනින් ගේ පිංතූර රැගෙන යන නමුත් ජාජබය හරහා ලිබරල්වාදී අදහස්ද සමාජ ගතකරමින් සිටී. ඔවුන් ජාජබය ඉතා උපක්‍රමිකව යොදාගෙන ඇති අතර එමගින් විශාල වර්ධනයක් ලබාගැනීමට සමත්වී ඇත. එහෙත් ඔවුන් ඇත්තටම පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්න තවමත් පැහැදිලි නොමැත. ඔවුන් ධනවාදය ප්‍රතික්ෂේප නොකරනවාසේම සමාජවාදයද ප්‍රතික්ෂේප නොකරති. ඒ වගේම සමූපකාර ක්‍රම, රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම යන්නෙන් රජය පුලුල් කරන බවට ඉඟිකරන අතර පෞද්ගලික ව්‍යාපාර දියුනු කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි. ඒ වගේම මධ්‍යස්ත විදේශීය ප්‍රතිපත්තියක් ගෙන යන බවද පවසයි.
ජාතික ජන බලවේගය පිටුපස සිටින ශක්තිමත් ජවිපෙ හස්තය නිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීන් ජවිපෙ කෝනයෙන් බැලීම නොවැලැක්විය හැකිය. විශේෂයෙන් මෑතකදී ජාතික ජන බලවේගයට එක්වූ ජවිපෙ නොවන අය අදවනවිට තමන්ගේ මතවාදවලට යට කරගැනීමට ජවිපෙ සමත්වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ අතීත හැසිරීම් නිසා ඔවුන් යන්නේ කුමන මාර්ගයේද යන්න තවමත් ප්‍රහෙලිකාවකි. ඔවුන් පවසන්නේ අපිව විශ්වාස කරන ලෙසටයි. විශේෂයෙන් ඔවුන්ගේ පසුගිය ඉන්දියානු සංචාරයෙන් පසු මේ ප්‍රශ්නය තවත් කරලියට පැමින ඇත. ඉදිරියේදී ලාංකීය වෙළදපොල තුල වන ඉංදියානු මැදිහත්වීම් වලට ජාජබය ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න වැදගත්ය. ඔවුන් වෙළඳපොල තුල ඉංදියානු ආදිපත්‍යය පිලිගන්නවාද නැත්නම් ඊට විරුද්ධ වනවාද යන්න මත ඉදිරිය තීරනය වනු ඇත. ඒ වාගේම ඉංදියානු හිතවාදි නොවී මධ්‍යස්ථ විදේශීය ප්‍රතිපත්තියක් ගත හැකිද යන්නත් ඔවුන්ට තිබෙන විශාල අභියෝගයකි. අද ඒ යතාර්ථය මගහැර යා නොහැකි තැනට ඔවුන් පත්ව ඇත. ජාතික ගැටලුව සම්බන්ධයෙන්ද ඉදිරියේදී ඉංදියාව මැදිහත් වනු ඇති අතර බලය බෙදීමේ වැඩපිලිවෙලකට එකග වීම අනිවාර්ය කොන්දේසියක් වනු ඇත. බංකොලොත් වී සිටින රටක ලිබරල් ධනවාදය වෙනුවට සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තීන් අත්හදා බැලීමට උත්සාහ කිරීම විනාශකාරී විය හැකියි.
එනිසා වේදිකාවල විවිධ කතා කියමින් ජනයා කුල්මත් කලත් රාජ්‍ය බලය ගැනීමට නම් යතාර්ථවාදී වීමට ඔවුන්ට සිදුවේ. ජවිපෙ ඒ ලෝක යතාර්ථයට අද මුහුන දෙමින් සිටී.
ලිබරල්වාදීන්ගේ විකල්පය ?
බොහෝ ලිබරල්වාදීන් සිතන්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ රනිල් වික්‍රමසිංහට බවයි. ඔවුන්ට අනුව ගෝලීය ධනපතියන් සමග කේවල් කිරීමටත් විසදුම් ක්‍රියාත්මක කිරීමටත් ජාත්‍යන්තර පිලිගැනීම සහ ශක්තිය තියෙන්නේ රනිල්ටය. කෙසේවුවත් බංකොලොත් වූ රටක ජනතාවට තිත්ත කසාය පෙවීමේ රාජකාරිය බාරගත්තේ රනිල් බව ඇත්තකි. අනිත් අය එය මග හැරියේය. හේතුව ඒ මරාලයට කර ගැසීම ජනතා අප්‍රසාදයට ලක්වන හේතුවක් වන බව ඔවුන් හොදින් දන්නා නිසාය. ඔවුන් බලා සිටින්නේ අමාරුම සහ ජනතා අප්‍රසාදයට පත්වන කාරනාටික රනිල් ලවා ඉටුකරගෙන ඉන් පසු තමන්ට බලය ලබාගැනීමටය. බංකොලොත් වූ රටකට කරන්නට සිදුවන සියලු කප්පාදුන් (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා) රනිල් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව ඩොලර් පාවිච්චිය අඩුකරගෙන ඇති අතර රුපියල ශක්තිමත් වී ඇත. බැංකු පොලී අනුපාතයද අඩුවෙමින් පවතී. මෙය රනිල්ගේ විශේෂ දක්ශතාවයක් යැයි සමහර රනිල් වාදීන් සිතයි. ඇත්තටම ඔය කප්පාදුව ඕනම කෙනෙකුට කල හැකි දෙයකි. ඒ සැලැස්මද ඉදිරිපත් කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි. කෙසේවෙතත් පරිපාලන ක්ෂේත්‍රයත්, ආරක්ශක අංශත් පාලනය කිරීමට රනිල්ට ඇති ශක්තිය සහ පලපුරුද්ද අපි පිලිගත යුතුයි. එය තමන් නියෝජනය කරන ප්‍රභූ පැලැන්තියෙන් ඔහුට ලැබුනු හයියකි. එනිසා මේ අර්බුදය වෙනත් කෙනෙකුට වඩා දරදඩු ලෙස ක්‍රියාත්මක කිරීමට රනිල්ට හැකිවී ඇත. විශේෂයෙන් ප්‍රභූ පැලැන්තියේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ සහය ඔහුට ඇත. නමුත් ජනතා අප්‍රසාදය ඔහු වටා කේන්ද්‍රවීම වැලක්විය නොහැකිය.
කුමන දේශපාලකයා කලත් කප්පාදු වැඩපිලිවෙල (austerity measures) ජනතා විරෝධයට ලක්වීම නොවැලැක්විය හැකිය. ඒ වාගේම ජනතාව විශාල පීඩනයකට ලක්ව සිටින මොහොතේත් රටේ විශාල වශයෙන් වංචා දුෂණ සිදුවීමත් ඒවා නැවත්වීමට නොහැකිවීමත් ජනතා වෛරය තවත් වර්ධනය වීමට හේතුවක් වී ඇත. ජනාධිපතිවරයා පොහොට්ටු කාරයන්ගේ ආරක්ෂකයා බවට ඇති ජන මතය වෙනස්කිරීමට ඔහු අසමත් වී ඇත. ඒ වාගේම ජනතාවගේ වේදනාව ගැන යම් හෝ සහකම්පනයක් පෙන්වීමට රනිල් අපොහොසත් වී ඇත. ඒ ඔහුගේ පෞරුෂයේ (personality) තිබෙන දුර්වලතා නිසාය. ඒ වගේම ඔහු නියෝජනය කරන පංතියට ඒවා දැනෙන්නේ නැත. එදා සිට රනිල් ඡන්ද දායකයා තමන් වෙත ආකර්ෂණය කරගන්නට අපොහොසත් වූ නායකයකි. තුන්වන ලෝකයේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට එය අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් රනිල්ට එය බැරිය. එනිසාම රනිල්ට ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම විශාල අභියෝගයකි. එහෙත් ව්‍යාපාරිකයන්ට, ධනවතුන්ට සහ ලිබරල් මතදාරීන්ට වෙනත් විකල්පයක් නොමැතිකම නිසාම ඒ සියලු බලවේග වල අපේක්ෂකයා වීමට රනිල්ට තිබෙන ඉඩකඩ වැඩිය.
චම්පික
මේ අතර ටොයියන් බයියන් සහ ජෙප්පන්ට අමතරව තමා වැනි වැඩ්ඩන් සිටින බව චම්පික රණවක පවසයි. ජාතික චින්තන බෝඩ් ලෑල්ල ඉස්සරහට දමාගෙන බයියන්ගේ කරපිටින් පාර්ලිමේන්තුවට පිවිසි මේ වැඩ්ඩා දැන් ටොයියන් සහ බයියන්ගේ උදව්වෙන් පොදු අපේක්ෂකයා වීමට උත්සාහ කරයි. ලිබරල් රනිල් මාකට්කල නොහැකියැයි සිතා සිටින පිරිස් මේ වැඩ්ඩා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සලකා බලමින් සිටී. ජෙප්පන් මෙන්ම මේ වැඩ්ඩාද ආරම්භයේදී දැඩි ඉංදියානු විරෝධියෙකි. පලාත්සබා වලට සහ බලය විමධ්‍යගත කිරීමටද දැඩි ලෙස විරුද්ධ විය. කෙසේවෙතත් ජෙප්පන්ට අංශක 180 ක් ආපස්සට හැරෙන්නට පුලුවන් නම් මේ වැඩ්ඩාටද එසේ කිරීමට බැරි කමක් නැත. නමුත් තමන්ට අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා කරගන්නා මේ දේශපාලකයන් ගැන ජනතාව අවදානමෙන් සිටිය යුතුය.
මේ ව්‍යාකූල තත්වයන් යටතේ ඉදිරි මැතිවරණය ලංකාවේ ඉදිරිගමනට ඉතා තීරනාත්මක වන අතර ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ සාධනීය වෙනසක් නොවුවහොත් නැවත වටයකින් රට අර්බුදයට යෑම වැලක්විය නොහැකිය.
Ajith Rajapaksha(අජිත් රාජපක්ෂ)
theleader.lk