විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තීරණාත්මක තීන්දුව ගනිමු ද ?

executive presidency in sri lanka

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විද්වත් මතය යළි අවදි කරයි

  • විධායක ජනාධිපති පදවිය තියා ගන්නවාද නැද්ද ? දේශාපලන පක්ෂ තම මතය වහාම රටට කිව යුතුයි – කරු ජයසූරිය
  • විධායක ජනාධිපති පදවිය හරියට දූරියන් ගෙඩියක් වාගේ – වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුගුණවටවන සිද්ධත්ත හිමි
  • විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම විෂ සහිතයි – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
  • විධායක ඒකාධිපති ජනාධිපති ක්‍රමය ජිවිත සිය දහස් ගණනක් බිලිගෙන තිබෙනවා – ආචාර්ය නිහාල් ජයවික්‍රම
  • 2024 ජනාධිපතිවරණයේදී හෝ විධායකය අහෝසි කළ යුතුයි – රෝහණ හෙට්ටිආරච්චි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් 87%ක් සිය කැමැත්ත පළ කර ඇති අතර දේශපාලන පක්ෂ බහුතරයක මතය වන්නේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී යළිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වඩාත් තීරණාත්මක මැතිවරණ පොරොන්දුව වීමට නියමිත බවක් දැකගත හැකිය. මේ අනුව ‌අති බහුතරයක් පොදුජනතාව සහ දේශපාලන පක්ෂ බහුතරයක අපේක්ෂාව වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළට දීර්ඝ කාලයක් පුරා නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 18 වැනිදා කොළඹ දී පවත්වන ලද “ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ විද්වත් කතිකාව” සම්මන්ත්‍රණයේදී ආගමික නායකයින්, දේශපාලනඥයින්, සිවිල් සමාජ නායකයින් විසින් ද අවධාරණය කළේ  විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතු බවය.

විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට පක්ෂව අති බහුතර ජන මතයක් ඇති බවත්, මේ සම්බන්ධයෙන් වන තම දේශපාලන මතය පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, දේශබන්දු කරු ජයසූරිය මහතා මෙම සම්මන්ත්‍රණයේදී අවධාරණය කළේය. මෙහිදී කරු ජයසූරිය මහතා කියා සිටියේ විධායක ජනාධිපති පදවිය සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ දරන මතය දැන ගැනීම ඡන්ද දායකයින්ට ද අතිෂය වැදගත් බවයි.

මෙහිදී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති පදවිය සම්බන්ධ කරුණ මේ රටට, ජනතාවට, මෙන්ම නූපන් පරපුරට බලපාන ඉතාම වැදගත් කරුණක් බවයි. එනිසා විධායක ජනාධිපති පදචිය තව දුරටත් තබා ගත යුතුද ? නැද්ද ? යන කරුණ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල මතය දැන ගැනීමට සහ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමතයක් ඇති කිරීමට මෙම විශේෂ සම්මන්ත්‍රණය පත්වන බව ද ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති පදවිය ඇති කිරීමට පෙර හා පසු දේශපාලන, ආර්ථික හා සමාජයීය පසුබිම ගැන කතා කළ කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, විධායක ජනාධිපති පදවිය හඳුන්වා දීමට පෙර පැවති තත්ත්වය හා සැසදීමේදී විධායක ජනාධිපති පදවියේ හොඳ පැත්තක් සේම එහි බරපතළ අඩු පාඩු රැසක් තිබෙන බවයි.

විධායක ජනාධිපති පදවියේ අන්ත දූෂිත බව සහ බල අපයෝජනය මනාව පැහැදිලි වූ අවස්ථාව 1998 වයඹ පළාත් සභා මැතිවරණය බව කී කරු ජයසූරිය මහතා මේ සමඟ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහා ආගමික නායකයින්ගේ ආශිර්වාදයෙන් සහ සිවිල් සමාජයේ මූලිකත්වයෙන් වැඩපිළිවෙළක් ආරම්භ වූ බව ද සිහිපත් කළේය.

විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සහ එහි බලතල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක් 17 වැනි සංශෝධනය හරහා උදා වූ බව කරු ජයසූරිය මහතා මෙහිදී සිහිපත් කළේය.

“17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ විවිධ වෙනස්කම් ඇති වුණා. රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමට හැකි වුණා. ඒ හරහා සමාජය තුළ ධනාත්මක පරිවර්තනයක් සිදු වුණා” යැයි ද ජයසූරිය මහතා කීවේය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැර වූ බවත්, රාජ්‍ය සේවය ඇතුළු සමස්ත දේශපාලන හා සමාජයීය ක්‍රියාවලියම පිරිහීමට ලක්වූ බවත් කී කරු ජයසූරිය මහතා මේ අවස්ථාවේ  විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ තිරසර සහ පැහැදිලි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මාදුළුවාවේ සෝහිත හිමියන් නායකත්වය ගත් බව පෙන්වා දුන්නේය.

“ඊට පස්සේ 18 වැනි සංශෝධනය ආවා. මේ සමඟ රාජ්‍ය සේවය ඇතුළු සමස්ත සමාජයම බරපතළ ලෙස විනාශ වුණා. රාජ්‍ය සේවයට දැඩි හානියක් සිදු වුණා. මේ විනාශය දැක්ක නිසා තමයි ගෞරවණීය මාදුළුවාවේ සෝහිත ස්වාමීන් වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යායාමය වෙනුවෙන් කැප වුණේ. ඒ උන්වහන්සේගේ 70 වැනි ඡන්ම දිනයේදී. එදා උන්වහන්සේ ප්‍රකාශ කළා, උන්වහන්සේගේ ජීවිතයේ ඉතිරි කාලය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙනවා කියලා. උන්වහන්සේගේ වචනය එදා සමාජය පිළිගත්තා” ජයසූරිය මහතා කීවේය.

2015 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම තීරණාත්මක යෝජනාවක් වූ නමුත් එය ඉටුකර ගැනීමට යම් යම් හේතු නිසා නොහැකි වුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අවස්ථාව උදා වූ බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය කාලය පුරා පවත්වන ලද ජනමත සමීක්ෂණ මගින් 87%ක පමණ පිරිසක් විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව හෙළි වී ඇතැයි කී කරු ජයසූරිය මහතා, ‘විධායක ජනාධිපති පදවිය තව දුරටත් තබාගත යුතු යැයි’ කියන කිසිවෙකු තමාට හමුවී නැතැයි ද කීවේය.

දේශපාලන පක්ෂ අතරින් පවා මේ දක්වා විධායක ජනාධිපති පදවිය තව දුරටත් තබා ගත යුතු බවට හඬක් ඉදිරිපත්ව නැතැයි කී ජයසූරිය මහතා  මාදුළුවාවේ සෝහිත හිමියන්ගේ මතය අනුව යමින්, විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතුය යන මතයේ සාධාරණය සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය තව දුරටත් සිටින බව ද අවධාරණය කළේය.

විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම ගැන රට තුළ මහජන මතයක් ඇතිවිය යුතු බව අවධාරණය කළ ජයසූරිය මහතා දේශපාලන පක්ෂ විසින් ද මේ සම්බන්ධ සිය පැහැදිලි ස්ථාවරය හෙළිකළ යුතු බව සඳහන් කළේය.

executive presidency in sri lanka

  • විධායක ජනාධිපති පදවිය හරියට දූරියන් ගෙඩියක් වාගේ – වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුගුණවටවන සිද්ධත්ත හිමි

මෙම සමුළුවේදී අදහස් දක්වමින් වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුගුණවටවන සිද්ධත්ත හිමියෝ සඳහන් කළේ, විධායක ජනාධිපති පදවියට එරෙහිව මාදුළුවාවේ සෝහිත හිමියන් ආරම්භ කළ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එදා සිටම පාලකයින් විවිධාකාර පියවර ගත් බවයි. මෙහි දී සෝහිත හිමියන්ගේ ජීවිතයට පවා බරපතළ තර්ජන එල්ල වූ බව කී මුගුණවටවන නාහිමියෝ ඒ සියලු අභියෝග හමුවේ සෝහිත හිමියෝ තමන් ගත් තීන්දුව වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි බව කීහ.

යහපාලන ආණ්ඩු පාලන සමයේ විධායක ජනාධිපති පදවිය අහෝසි කර ගැනීමට නොහැකි වීම ගැන සෝහිත හිමියන් දැඩිව කළකිරීමට පත්ව සිටි බවකී මුගුණවටවන හිමියෝ සෝහිත හිමියන්ගේ ප්‍රකට කියමනක් උපුටා දක්වමින් ‘රොටිය කර වෙනවා නෙමෙයි හාමුදුරුවනේ ඒක ඇට්ටකුණා වෙනවා’ යැයි සෝහිත හිමියන් අනාවැකි පළ කළ බව ද කීහ.

මුගුණවටවන හිමියෝ සභාවේ සිනා මැද මෙසේ ද කීහ. ‘විධායක ජනාධිපති පදවිය අහෝසි කරන එක ලේසියි කියලා මම හිතන්නේ නැහැ. ඒක හරියට දූරියන් ගෙඩියක් වාගේ. අල්ලන්න අමාරුයි, කටු පිරිලා, දුර්ගන්ධය ඉතිරෙනවා. කටුව ඝනයි. ඒත් බොහොම අමාරුවෙන් හරි ලෙල්ල ඇර ගත්තොත් රස මිහිරියි, හරිම ප්‍රනීතයි, අහක දාන්න හිතෙන්නෙම නැහැ. ඒ නිසා මේ විධායකයේ රස එක මොහොතක් හරි වින්ඳ කෙනෙක් ඒක අත අරින්න කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා මාස හයක් නෙමෙයි, එක විනාඩි හයක් වත් දෙන්න හොඳ නැහැ. විධායක බලේ රස එක මොහොතකට හරි දැනුනොත් ඒක අහෝසි කරන කතා බොරු. ඒ නිසා අපිට පුළුවන් විය යුතුයි මේක කෙසේ හෝ ඉවර කරලා දාන්න… තල්ලු කරලා දාන්න ” යැයි ද කීහ.

executive presidency in sri lanka

  • විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම විෂ සහිතයි – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම විෂ සහිත බවත් එය කෑදරකමින් සහ තෘෂ්ණාවෙන් පිරුණු දෙයක් බවයි.

ඔහු මෙසේද ප්‍රකාශ කළේය, “මේ වෙනකොට විධායක ජානාධිපති ක්‍රමය බලාත්මක වී වසර 46කට ආසන්න කාලයක් ගත වී ඇති අතරම ඒ  හා සමාන කාලයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් පොරොන්දුවලටද තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමට හේතුව ලෙස දැක්වුයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් සහ ජාතික ඒකාග්‍රතාවය සඳහා මධ්‍යගත බලය සහිත පාලනයක් අවශ්‍ය බවයි. ඒත් අපි රටක් විදියට ඒ කියපු හේතු සාක්ෂාත් කරගැනීමට හැකි වී ඇත්දැයි බැලිය යුතුයි. ඉදිරියේදී තිබෙන මැතිවරණ වසරේදී සාධාරඛ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇතුළු කණ්ඩායමට සිදු කළ හැකි දෙයක් ලෙස මම යෝජනා කරන්නේ මැතිවරණ සඳහා ඉදිරිපත් වන ප්‍රධාන සහ කුඩා සියලු දේශපාලන පක්ෂවලින්ම ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥාවක් අත්සන් කර ගැනීමයි. මම දන්නවා එය මීට පෙරත් සිදු වී ඇති බව. එසේම එම ප්‍රතිඥාවන් ක්‍රියාත්මක වී නොමැති බව සැබෑවක්. නමුත් මේ හරහා සමාජය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සමාජ බලපෑමක් ඇති කළ හැකියි.  මම හිතනවා මේ අවස්ථාවේ අපට අලුතින් සමාජ සම්මුතියක් ඇති කරගැනීමට, අලුතින් මේ දේශපාලන ක්‍රමය සැලසුම් කිරීමට අවස්ථාවක් ලැබී ඇතැයි කියා”

executive presidency in sri lanka

  • විධායක ඒකාධිපති ජනාධිපති ක්‍රමය ජිවිත සිය දහස් ගණනක් බිලිගෙන තිබෙනවා – ආචාර්ය නිහාල් ජයවික්‍රම

1978 බලාත්මක වූ විධායක ඒකාධිපති ජනාධිපති ක්‍රමය ගෙවුණු වසර 46ක කාලය තුළ ජිවිත සිය දහස් ගණනක් බිලිගෙන තිබෙන බවත් එය විශාල වංචා දුෂණ ඇති කිරීමටත් හේතු වී තිබෙන බවත් ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජයවික්‍රම මහතා මෙසේද සඳහන් කළේය. “මම කියන්නේ නෑ නැවත 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යලි හඳුන්වා දීම කළ යුතුයයි කියා. නමුත් මම කියා සිටින්නේ ජාන්ධිපතිවරයා බලයට පත් විය යුත්තේ පාර්ලිමේන්තුව වෙතින් බවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමේදී ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දී තිබුනේ ජාතික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමයි. නමුත් ලෝකයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා පාර්ලිමේන්තු ක්‍රමය සහ ඒ ඔස්සේ ජාතික ඒකාග්‍රතාවය මැනවින් ක්‍රියාත්මක වන සාර්ථක රටවල් පිළිබඳව. මම යෝජනා කරනවා එවැනි උදාහරණ ඔස්සේ වඩා හොඳ ආණ්ඩුක්‍රමයක් වෙත සහ විධායකයක් වෙත යා යුතුයි කියා”

executive presidency in sri lanka

  • 2024 ජනාධිපතිවරණයේදී හෝ විධායකය අහෝසි කළ යුතුයි – රෝහණ හෙට්ටිආරච්චි

මෙහිදී අදහස් දැක්වූ පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදී වසර 15ක් පමණ ගතවන විට මෙරට බහුතරයක් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයට පැමිණ සිටි බවයි. 1995 සිට සෑම මැතිවරණයකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන සටන් පාඨයක් වූ බව කී හෙට්ටිආරච්චි මහතා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම මේ ස්ථාවරය දැරූ බව ද සිහිපත් කළේය.

රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ වසර තිහක් පුරා අඛණ්ඩ අරගලයකින් පසුව පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට නොහැකි වූ බවත් එ නිසා 2024 ජනාධිපතිවරණයේදීත් තීරණාත්මක ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා තවත් උදාහරණ අනවශ්‍ය බව කී හෙට්ටිආරච්චි මහතා පසුගිය දා අධිකරණය විසින් ලබා දුන් (රට බංකලොත් කිරීම) තීන්දු දෙක පමණක් ඒ සඳහා ප්‍රමාණවත් බව පෙන්වා දුන්නේය.

සටහන  – තුෂාල් විතානගේ

ගයාත්‍රි නවරත්න

 

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග