දවස් පතා භෝජනය

our daily bread sri lanka

– උදන් ප්‍රනාන්දු –

ක්‍රිස්තියානි කුටුම්භයක හැදුණු වැඩුණු මටත් මගේ සොයුරියටත් අපගේ දෙමව්පියන් ඕනෑවට වඩා ආගමික වතාවත් පිළිපදින ලෙස බල නොකළ බව මතක ය. නින්දට යන්නට පෙර අපගෙන් බලාපොරොත්තු වූයේ ඇඳ ළඟ දණ ගසා, වැලමිට ඇඳට බර කොට, දෑත් එක්කොට හිස නවා කෙටි යාඥාවක් කරන ලෙස යි. එය වට්ටෝරුවකට අනුව කිරීම වෙනුවට අපට කැමති යාඥාවක් අපේ සිතෙන් ම කරන ආකාරයේ නිදහසක් අපට දෙමාපියන් දී තිබිණ. ඇඟ පත සෝදා ගෙන පුයර හාත් පස ම උලාගෙන පිජාමා සූට් එකෙන් මේ කරන දේ ගැන එකල අපට තිබුණේ භක්තියකට වඩා විනෝදයකි. කියවන්නට හැකිවෙත් ම, මේ චාරිත්‍රය වෙනුවට අපට පැවරුණේ උදෑසන අවදි වූ විට, ඇඳේ සිට ම, කුඩා පොතක දිනකට එක බැගින් වෙන්කර තිබුණු කෙටි සටහනක් කියවන ලෙස යි. මේ එක් පොතක නම වූයේ ‘අවර් ඩේලි බ්‍රෙඩ්’ ය. අනෙක් පොතේ නම ‘ද අපර් රූම්’ ය. පළමුවැනි පොතේ සිංහල පරිවර්තනයේ නම මට දැන් අමතක ය. එහි තේරුම අපගේ දවස් පතා භෝජනය ය (“අපගේ දවස් පතා භෝජනය අපට දුන මැනව”, යනු ක්‍රිස්තියානි ප්‍රධාන යාඥාවක කොටසකි). ඒත් දෙවැන්නට කීවේ උඩුමහල් මැදුර කියා ය. යේසුස් කුරුසිපත් වීමට පෙර තම ගෝලයන් තම අවසාන රාත්‍රී භෝජනයට වෙන් කර ගත්තේ උඩුමහල් මැදුරක් හෙවත් ලොෆ්ටයක් හෙවත් පොඩි සෝල්දරයකි. මේ පොත් දෙකේ ම, ටෙම්ප්ලේටය එකක් ම ය. කෙටි බයිබල් පදයක් මුලින් දැක් වේ. ඉන් අනතුරු ව එදිනෙදා ජීවිතයට අදාළ බොහෝ දුරට සමකාලීන කතාවක් හෝ අත්දැකීමක් කෙටියෙන් දැක්වේ. අවසාන ඡේදයේ ඒ අත්දැකීම බයිබල් පදය සමඟ ආවර්ජනාත්මක ව සාකච්ඡා කෙරේ. බොහෝ විට ඒ අනුව එදිනට අවශ්‍ය දෛනික ආත්මික අනුප්‍රාණයක් සැපයේ. මේ සියල්ල සරල වචන හාර සීය පනහකින් පමණක් කිරීම අපූරු ලියැවිලි ව්‍යායාමයක් බව මට දැන් පසක් වේ.

මීට සති කිහිපයකට පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ‘හිත් මං කඩ’ නමින් පොතක් (2023, සරසවි ප්‍රකාශන) එළිදැක්වී ය. සමාජයේ තීරු ගණනාවක් නියෝජනය කෙරෙන සභාවක් එදින කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ශාලාවක රැස් වූ අතර එම පොත ගැන විවිධ අදහස් ඉදිරිපත් කෙරිණ. පොත අතට පත් පාඨකයන් එය එක හුස්මට කියවන්නට උත්සාහ ගත්තේ, නව සමාජ මාධ්‍ය සම්ප්‍රදායක් වන, හැරෙන තැපෑලෙන් විචාර ලිවීම කරනු පිණිස ය. එහෙත් එම සභාවේ හෝ ඉන් පසු ව, ධම්ම දිසානායක අවධාරණය කර සිටියේ, පොත එක දිගට ම නොකියවා, කතාවෙන් කතාව, අතරතුර විවේකයක් සහිත ව නිවාඩුවේ පාඩුවේ කියවන ලෙසයි. ඒ අවස්ථාවේ ධම්ම එසේ කියන්නේ මන්ද කියා මා තරමක් කුතුහලයෙන් කල්පනා කළ නමුත්, මීට දින කිහිපයකට පෙර එම පොත මා අතට පත් වී, කතාවක් දෙකක් කියවන විට, මාගේ කුතුහලය පහ විය.

නැවතත් මගේ ළමා කාලයෙන් ගැටවර හා ඉන් පසු කාලයට. විවිධ හේතූන් හා දෙමාපියන්ගෙන් ලද අසීමිත නිදහසත් නිසා, මා වැඩිහිටි වියේදී ආගමික වතාවත්වලින් දැඩි ලෙස බැහැර වීමි. මුලින් එකියුමෙනිකල් (සර්ව ආගමීක) පදනමක, සිටි මම වැඩිකල් නොගොසින් ඇග්නොස්ටික් (හරි හමන් පරිවර්තනයක් නොදනිමි) තත්ත්වයකට පැමිණියෙමි. එහෙත් පරණ පුරුදු අතහැරීම ලෙහෙසි පහසු නොවී ය. “දවස් පතා භෝජනය” උදෙන් ම නොගෙන සිටියොත්, මනසට ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් ඇති වේ දෝ යි බියක් මා තුළ විය. ඒ නිසා මා ඩේලි බ්‍රෙඩ් හා අපර් රූම් වෙනුවට කියවන්නට යොමු වුණේ, මාග්‍රට් මීඩ්ගේ දිනකට එක සටහනක් බැගින් කියවිය හැකි පොතකි.

මාග්‍රට් මීඩ් (1901-1978) යනු සුප්‍රසිද්ධ ඇමරිකානු කල්චරල් ඇන්ත්‍රොපොලොජිස්ට් වරියකි. මීඩ්ගේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය පැසිෆික් කලාපයේ ඇති ඕෂනියා රටවල ආදිවාසීන් ය. එවැනි රටක් වන සමෝවන් දූපත් වැසියන් ගැන මාග්‍රට් මීඩ් කර ඇති පර්යේෂණ හා ප්‍රකාශන සම්භාව්‍ය පථිත ලෙස සැළකේ. කමින් ඔෆ් ඒජ් ඉන් සමෝවා (1928), නිදසුනකි. ශාස්ත්‍රීය තලයේ මාග්‍රට් මීඩ් නිසි ලෙස ස්ථාපිත ව සිටියත්, ඇය ජනප්‍රිය තලයට ද පිවිසියේ ඕ දක්ෂ සන්නිවේදිකාවක වූ නිසා ය. ඇයගේ ලියැවිලි මිනිසුන්ගේ ගැහැණුන්ගේ එදිනෙදා ජීවිතයේ යථාර්ථය, ඒ සමග පොරබැදීම හා අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීම ගැන නිර්මාණශීලී හා සාධනීය ලෙස සාකච්ඡා කළේ කියවන්නාට යම් අනුප්‍රාණයක් (මට හුරු පුරුදු ‘දවස් පතා භෝජනයක්) ද ලබා ගත හැකි අයුරෙණි. මීඩ්ගේ මේ කෙටි ආවර්ජනාත්මක රචනා අතර දිවෙන පොදු හුය වන්නේ ගැහැණුන්ට මිනිසුන්ට එකතු වී තමන්ගේ මට්ටමෙන් කළ හැකි විපර්ය කාරක කටයුතු ය. ඊට අවශ්‍ය සංකල්පීය පදනම්, ප්‍රායෝගික ප්‍රවේශ හා සාමූහික ව්‍යායාම සඳහා අවැසි මනස මීඩ් තම රචනා තුළින් කදිම ලෙස කෙනෙකුගේ සිතට කාවද්දයි.

‘හිත් මං කඩ’ කියැවීමේදී, මාගේ මතකය දෙමාපියන් සෙවනේ ගත කළ මාගේ ළමා කාලයටත් ඉන්පසුව ඔවුන්ගෙන් ඈත් වී ස්වාධීනව ගතකළ සමයටත් ගෙන ගියේ මාගේ ‘දවස් පතා භෝජනය’ ගැන සිහි වීමෙනි. කරුමයකට දෝ දැන් අප උදෑසන ම දවස්පතා භෝජනය ලෙස කිසිදු වග විභාගයකින් තොර ව ගිල දමන්නේ බාගෙට පිළුණු වූ සමාජ මාධ්‍ය කොත්තු ය. හිත නිවනවාට වඩා ඉන් සිදුවන්නේ කළඹවාලීම ය. මා දරන මතයට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරන්නාට දෙන්නම් බැටේ කියා හරි බරි ගැහෙන්නේ ශරීර කෘත්‍යය කරන්නටත් පෙර ය.

ධම්ම චරිතයක ලෙස මුලින් කැපී පෙනුනේ ඔහු දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍යයෙකු ව සිටි කාලයේ ම සිට ය. වෙනස් ආකාරයක දේශපාලන භාවිතාවකට පදනමක් දමන්නට තැත් කළ ප්‍රවාහයක ධම්ම ද එක්තරා කාලයක කොටසක් විය. ඔහුගේ සංනිවේදනයේ මූලික ගිනි පුලිඟු දැල්වුණේ ඒ කාලයේ ය. පසුව එම දේශපාලන විද්‍යා අංශයේ ම ආචාර්යවරයෙක් වී සිටි කාලයේ ද ධම්ම වඩාත් කළේ සන්නිවේදන භූමිකාව බව මගේ නිරීක්ෂණය යි. ජනසන්නිවේදන උපාධියක් ඩිප්ලෝමාවක් කළ පමණින් කෙනෙක් සන්නිවේදයෙක් නොවේ. ඇකඩමිකයෙක් වූ පමණින් ද කෙනෙක් සන්නිවේදකයෙක් නොවේ. සන්නිවේදකයා යනු ජනප්‍රිය දේශකයෙක් වීම ද නොවේ (අත්තනායක ඇම් සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන්නේ මෙය ය).

මීඩ්මයාකාරයේ ආවර්ජනාත්මක රචනාවකට අවැසි සංකල්පීය කල්පනාවන් සිංහල පාඨකයා වෙත ගෙනෙන තවත් දක්ෂ ලේඛකයන් දෙදෙනෙකු වන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා විජයානන්ද ජයවීර ය. ඒත් ඔවුන්ගේ රචනා, බොහෝවිට සම්භාව්‍ය හා ශාස්ත්‍රීය ආරකින් ලියැවෙන නිසා අවසානයේ ‘දවස් පතා භෝජනයක්’ ලෙස මනසේ මේසයට නොයැවේ. එහෙත් අවැසි කෙනෙකුට එම සංකල්ප දවස් පතා භෝජනයක් ලෙස උයා පිහා ගත නොහැක්කේ ද නොවේ. ‘හිත් මං කඩ’ අනුගමනය කර ඇති ප්‍රවේශය ලෙස මට පෙනෙන්නේ, සංකීර්ණ න්‍යායික හා සංකල්පීය බිල්ලෙක් ලවා පාඨකයා බිය පත් නොකොට, පාඨකයාට අත්දැකීමෙන් සම්බන්ධ විය හැකි ආකාරයට තම ජීවිතයට අදාල දර්ශනයක් හා අනුප්‍රාණයකට අවශ්‍ය පදනම ඉදිරිපත් කිරීම යි. එම ව්‍යායාමයේදී කර්තෘගේ බරසාර දැනුම් සම්භාරය මෙතෙකැයි කියා ඔප්පු කිරීමට උත්සාහ කිරීමක් නොකෙරේ. මනසට වරකට බුදිනට හැකි සිතිවිලි වේලක් පමණක් සැපයේ.

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග