වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.

current political situation in sri lanka

පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන ගණනාවක් සිද්ධ වෙන්න නියමිතයි කියලා.ඒ වගේ තත්වයක් යටතේ හදිස්සියට හදන සන්ධාන අසාර්ථකයි. කලින් අර්බුදය කියවගෙන සැලැසූම් සහගත සන්ධාන ක්‍රියාවලියට යන්න පුළුවන් නං ඒක තමයි රටට හොඳ.

නැත්තං හදිස්සියට හදන්න වෙන්නේ කවුරු හරි දිනවන්න, එහෙමත් නැත්තං කවුරු හරි පරද්දන්න හදන පැරණි පන්නයේ ඇහින්දාස් සන්ධානයක්. එහෙම සන්ධානයකින් මේ රට ඇවිත් තියන මේ කාලකණ්ණි ගමන වෙනස් කරන්න බෑ.ඇත්තටම ඕනි නිවැරදි පස් අවුරුදු සැලැස්මක් එක්ක සාමූහික නායකත්ව මණ්ඩලයක මෙහෙයවීමෙන් ඉදිරියට යන ආණ්ඩුවක්.ඒ වෙනුවෙන් හදන සන්ධානයක්.

ඔයාලට මතක ඇති රටේ රාළ මීට කලින් කිව්වා මේ පාර ජනාධිපතිවරණ සටන තියෙන්නේ දැන් තියන පක්ෂ විපක්ෂ කදවුරු දෙක අතර නෙවෙයි සටන තියෙන්නේ වම සහ දකුණ අතර කියලා.ඒවාට වම සහ දකුණ කියලා නම දැම්මේ රටේ රාළ නං නෙවෙයි. එයාලා දාගෙන තියන නම් රටේ රාළත් ඒ විදිහටම පාව්චිචි කරා. එහෙම නැත්තං ඔය දකුණ කියන්නේ ඇත්ත දකුණ නෙවෙයි, වම කියන්නේ ඇත්ත වම නෙවෙයි. පස්සේ දවසක ඒ ගැන න්‍යායාත්මක කතා කරගමු.

හැබැයි දැන් මේ කදවුරු දෙකෙන් වමේ කදවුර කදවුරක් විදිහට ස්ථාපිත වෙලා තියනවා.ඒ තමයි මාලිමාව.තව ඕනි නං මාලිමාවට පුද්ගල කණ්‌ඩායම් ටිකක් එකතු වෙයි.මොකද එයාලා මේ තියන දේශපාලන පක්ෂත් එක්ක සන්ධාන ගතවෙන තැනක නෑ.එයාලට අනුව අනිත් අය ඔක්කොම හොරු එයාලා විතරක් ශුද්ධවන්තයෝ.දැන් එයාලාගේ කදවුරත් ඒ කදවුරේ අපේක්ෂකයත් බොහෝ දුරට නිශ්චිත වෙමින් තියනවා.

තවදුරටත් ඒ කදවුරේ වෙනස්කම් වෙන එකක් නෑ කියලා රටේ කියන්නේ නෑ.වෙනස්කම් වෙන්න නං ඊට ප්‍රතිවිරුද්ධ කදවුර හැදෙන්න ඕනි.ඒක දිහා බලලා තමයි මාලිමාවේ උපක්‍රම වෙනස් කරන්න ඕනි වෙන්නේ.ඒක දිහා බලලා තමයි අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියන එක පවා තීරණය වෙන්නේ.දැන් මාලිමාවට උනත් නිශ්චිත හතුරෙක් නෑ. හැමදාම ප්‍රතිවිරෝධී කදවුර සහ ඒ කදවුරේ අපේක්ෂකයා එලියට එනකං ජවිපෙ ඉන්නේ දිනලා.

මැතිවරණයකට මුහුණදීමේ සුදානම අතින් මාලිමාව අනිත් කණ්ඩායම්වලට වඩා ඉදිරියෙන් ඉන්නවා.අනිත් (දකුණේ) කදවුර තවම තියෙන්නේ විසිරිලා.තවම එක කදවුරක් නිර්මාණය වෙලා නෑ. දැනට දකුණට ඉන්නේ කණ්ඩායම් ගොඩක් සහ අපේක්ෂකයෝ ගොඩක් විතරයි.ඒක එක කදවුරක් බවට පත් කිරීමට සංවිධානාත්මක වැඩ පිලිවෙලක් නෑ.ඒ වගේම ඒක කරන්න අභියෝග ගොඩකුත් තියනවා.

දැනට රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්නවා.සජිතුත් එහෙමයි.තව ගොඩක් හිටියත් මූලික දෙන්නා මේ දෙන්නා.දිලිත් සහ ධම්මික සැලකිය යුතු චරිත දෙකක් කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.අනිත් ගොඩක් අපේක්ෂකයොත් ජනවාරියේ සිද්ධ වෙන දේශපාලන උණුසුමත් එක්ක තමන්ගේ අපේක්ෂකත්වයන් විඩ්රෝ කරගෙන කොතන හරි තැනක ස්ථානගත වෙන්න තියන ඉඩ වැඩියි.

දැනටත් සජිත් වෙනම කණ්‌ඩායමක් විදිහට වැඩ කරනවා.රාජපක්ෂලාට මහඡන බලයක් නැති උනත් පොහොට්ටුවේ නිල බලය තියනවා. ඒකත් එක්ක එයාලා වැඩ කරනවා. අනුර යාපා – ලන්සා කණ්ඩායම වෙනම වැඩ කරනවා වගේම එයාලා ශ්‍රිලනිපයත්  එක්ක කිට්ටු දේශපාලන සම්බන්ධයක් පවත්වන බවත් පේනවා.රනිල්  වෙනමම වැඩ කරගෙන යනවා.යූඑන්පී එක තවම Operational type එකක නෑ. සමහරවිට අයවැයෙන් පස්සේ එලියට බහී.රනිල් සහ සජිත් දෙන්නටම පොදු අපේක්ෂකයා වෙන්න උවමනාව තියනවා.

එතන තරඟයක් තියනවා. රාජපක්ෂලා තවමත් රනිල් අවනත කර ගැනීමේ හෝ යටත් කරගැනීමේ මෙහෙයුම අත්හැරලා නෑ.ඒක එයාලා කරන්න හදන්නේ අනුර යාපා –  ලන්සා – ඩලස් ඇතුළු කණ්ඩායම් බිලාස්ට් කරලා.ඒ ගැටුමත් ඇතුළේ තියනවා.ඊට අමතරව සන්ධානයක් ගොඩ නගන්න දෙපැත්තම උත්සහ කරනවා.මේ ප්‍රති විරෝධතා නිසා වෙන්නේ මේක එක කදවුරක් බවට පත්වීම දවසින් දවස කල් යන එකයි.

අනික තමයි දැන් මේ කදවුර එකක් බවට පත් කරන්න නං දියුණු දේශපාලන මැදිහත්වීමක් ඕනි.මේ කදවුර දෙකට කැඩිලා කදවුරු දෙකක් උනොත් ජනාධිපතිවරණ සටන තුන් කොන් එකක් වෙනවා. ඒක මේ දෙපැත්තම කරගන්න ලොකු දේශපාලන වරදක්.දැන් ඇත්තටම මංගල කෙනෙක්ගේ සහය මේ කදවුරට ඕනි වෙලාවක්. ඒත් ඒකට මංගල කෙනෙක් නෑ. ඇත්තටම එහෙම අභියෝගයක් තියනවා.

ඊළගට මෙතන එකතුවක් හැදෙන්ඩ තියන තවත් එක බාධාවක් තමයි රාජපක්ෂ සාධකය.මේ කණ්ඩායම්වලින් අති බහුතරය රාජපක්ෂ විරෝධීන්.දැනට රාජපක්ෂලා එක්ක ගනුදෙනු කරන්නේ රනිල් විතරයි.සමහරවිට එජාපයේ සමහරු ගනුදෙනු කරනවා ඇති.ශ්‍රිලනිපය,ලන්සා, ඩලස්,චම්පික වගේ අය රාජපක්ෂ විරෝධී ස්ථාවර නියෝජනය කරනවා.විමල්ලා පවා රාජපක්ෂලාට හොඳටම සමීප නෑ.

ශ්‍රිලනිපයේ ඉදිරි දේශපාලන කටයුතුවලට චන්ද්‍රිකා එන බවටත් රාවයකුත් පැතිරෙනවා.චන්ද්‍රිකා කියන්නේ සන්ධාන ක්‍රියාවලියක් handle කරන්න පුළුවන් චරිතයක්. හැබැයි චන්ද්‍රිකා පෞද්ගලිකව දැඩි රාජපක්ෂ විරෝධයක් නියෝජනය කරන කෙනෙක්.ඒක නිසා ඇත්තටම දකුණේ කදවුර ඇතුලේ සංකීර්ණතා ගොඩක් තියනවා. දකුණේ කදවුර එකක් කරන එක දැවැන්ත අභියෝගයක්.

අඩුම ගානේ එහෙම හිතන්නවත් අකමැති කණ්‌ඩායම් ගොඩක් තමයි එතන ඉන්නේ.කොහොම උනත් දකුණේ කදවුරට වෙන්වීම උත්තරයක් නෙවෙයි වගේම වෙන්වීම විසින් දෙගොල්ලන්ගේම පරාජය උරුම වෙනවා.දැන් තියන ප්‍රශ්නය මේක සමනය කරගන්නේ කොහොමද කියන එකයි.ඒක ලේසි වැඩක් නූනත් කරන්න පුළුවන් වැඩක්.ඒකට ඉස්සෙල්ලාම වෙන්න ඕනි මේ සියලු කණ්ඩායම්වල අනන්‍යතාව පිලිගන්න එකයි.

සියල්ල මේ සන්ධානයේ වෙන වෙනත් සේනාංක බවට පත් වෙන්න ඕනි.දැන් මේ සේනාංක අතර සාකච්ඡාවක් පටන් ගත්තට අවුලක් නෑ.දැනට මෙතන ඒ හැකියාව තියන කණ්ඩායම විදිහට ඉන්නේ අනුර යාපා – ලන්සා කණ්ඩායම සහ ශ්‍රිලනිපයයි.ඩලස්ලට තිබුණ ඒ හැකියාව දැන් ඒ විදිහටම නෑ. චන්ද්‍රිකාත් ශ්‍රිලනිපයට එකතු වෙනවා නං ශ්‍රිලනිපයට අමතර ශක්තියක් ලැබෙනවා.ඇත්තටම අනුර යාපා – ලන්සා කණ්ඩායමට රාජපක්ෂලා එක්ක හැර අනිත් සේරමත් එක්ක කතා කරන්න පුළුවන්.

ශ්‍රිලනිපයටත් එහෙම විලංගුවක් නෑ.එයාලට සජබය එක්ක උනත් කතා කරන්න පුළුවන්.එහෙම කතා කිරීම වැ‍රැද්දක් නෙවෙයි.අඩුම ගානෙ අපේක්ෂකයා පස්සේ තීරණය කරන්න ඉඩ තියාගෙන පොදු එකඟතාවලට එන්න පුළුවන් නම් හොඳයි.එතකොට සජිත්ට හිතෙයි මම තමයි පොදු අපේක්ෂකයා කියලා,රනිල්ටත් එහෙම හිතෙයි, පාඨළීට, ෆොන්සේකටත් එහෙම හිතෙයි. රටේ රාළ නං කියන්නේ මිනිස්සුන්ගේ සිතිවිලිවලට බය වෙන්න එපා කියලයි.

මතුවෙන තත්වයන් විසින් කවුද අපේක්ෂකයා කියලා තීරණය කරයි.ඒ වගේම රාජපක්ෂලා සම්බන්ධව ගන්න ඕනි තීරණයත් තත්වයන් විසින් පෙන්නුම් කරයි. රටේ රාළ කියන්නේ වමේ සහ දකුණේ කදවුරු දෙකටම රට ඉස්සරහා දැවැන්ත අභියෝගයක් තියනවා.ඒ තමයි මේ පාර ජනාධිපතිවරණය ලඝු කරන්න වෙන්නේ වැඩපිලිවෙලට.පුද්ගල ජයග්‍රහණකට නෙවෙයි.

ඒ වෙනුවෙන් හදන සාමූහික නායකත්වයක් සහිත සන්ධානයකට.මෙච්චර කල් සන්ධාන ඇතුලේ තිබුණ යටත් වීමේ සංස්කෘතිකට වැට බදින අනිකාට ගරු කිරීමේ සංස්කෘතිකයක් සහිත සන්ධානයකට.රටේ කරන ආර්ථික, දේශපාලන සහ සමාජීය ප්‍රතිසංස්කරණ හරියට පෙල ගස්සලා හදපු නිවැරදි පස් අවුරුදු සැලැස්මක් සහිත සන්ධානයකට.

ඇත්තටම දැනට නං වමටවත් දකුණටවත් එහෙම වැඩපිලිවෙලක් නෑ.වෙන්ඩ ජනාධිපතිලා ටිකක් විතරක් දැනට තමන්ට බලය ලබා ගැනීම වෙනුවෙන් එක එක ආකෘති හදාගෙන රට වටේ යනවා.එච්චරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග