වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද?

The spate of shootings is due to clashes between contract killings and organized gangs

-BBC –

දිනපතාම පාහේ රටේ කුමන හෝ ප්‍රදේශයකින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වන්නේ රට තුළ භිතියක් ජනිත කරමිනි. එහෙත් මේවන විට වෙඩි තැබීම් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ ඒ තරමටම වෙඩි තැබීම් සුලබ වීම නිසාවෙනි.

මේ කෲර සිදුවීම් කෙතරම් බිහිසුණු දැයි, වැටහෙන්නේ මේ සිද්ධිවලට අදාළ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදීයී.

රැයක් දවාලක් නොමැතිව යතුරු පැදිවලින් පැමිණෙන සාහසික තුවක්කුකරුවන් රිසි සේ තම ගොදුරු සොයා යන්නේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නොසිටිනා ගානටය.

ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටවල දසුන් මවමින් ගිනිඅවි අසුරුවන ඇතැම් වෙඩිකරුවන් ඊට කෙතරම් පළපුරුදු දැයි, කෙතරම් ප්‍රවීණදැයි සැකමතු වන්නේ යතුරු පැදිවල යන අතරවාරයේද ඇතැම් පුද්ගලයින්ට වෙඩි තබන ලද සිද්ධි වාර්තා වීම නිසාය.

පොලිස් නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේ අගෝස්තු 29 වැනිදා වන විට දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 69ක් වාර්තා වී ඇත.

ඉන් ඝාතනයට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41කි. වෙඩි තැබීම් වලින් තවත් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිල සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.

වෙඩි තැබීම් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතෙන් බව වෙඩි තැබීමේ සිද්ධි පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි.

The spate of shootings is due to clashes between contract killings and organized gangs

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම්

වෙඩි තැබීමේ සිද්ධිවලට ප්‍රධානම හේතුව ප්‍රතිවිරුද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන් ඔවුන් අතර පැරණි අමනාපකම් මුල්කර ගනිමින් මෙම වෙඩි තබා ගැනීම් සිදුකරන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පවුල් ආරවුල්, අමනාපකම් හා අනියම් සබඳතා හේතුවෙන් ද වෙඩි තැබීමේ සිද්ධි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

මෙම ඝාතන වැඩි සංඛ්‍යාවක් මෙරටින් පලා ගොස් ඩුබායි ඇතුලු රටවල වෙසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් විසින් මෙහෙයවන බව විමර්ශනවලදී හෙලි වී තිබේ.

මෙවැනි ඝාතන සඳහා යොදා ගන්නා නීති විරෝධී ගිනිඅවි කොපමණ සංඛ්‍යාවක් රට තුළ තිබේද? පොලිසිය පවසන්නේ මේ පිළිබඳ නිසි සංඛ්‍යා දත්ත නොමැති බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු ආරක්ෂක අංශ සාමාජිකයෝද වෙති.

46 කට රතු වරෙන්තු

පොලිසිය පවසන්නේ, මෙරටින් විදෙස් රටවලට පලා ගොස් සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගෙන ඇති බවය.

විදෙස් රටවල සිට මෙලෙස මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පසුගිය කාලසීමාව තුළ දී හැකිවිය.

එලෙස රතු වරෙන්තු නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අතුරින් දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සලිඳු’ යන සැකකරුවන් රැඳවුම් භාරයට පත් කර තිබේ.

පොලිසිය පවසන්නේ, ඩුබායි වැනි රටල සිටින තවත් අපරාධකරුවන් මෙරට තුළ ඝාතන මෙහෙය වන බවය.

කොන්ත්‍රාත් ඝාතන සද්ධි කිහිපයක් වාර්තා වී තිබුණද, වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඝාතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

සංවිධානත්මක අපරාධ කල්ලි මර්දනය කරන්නේ කෙසේද?

සංවිධානත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබිම්වල වර්ධනයක් දක්නට ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සිද්ධි මැඩ පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමර්ග ගැන ද සඳහන් කළේය.

“ගොඩක් සිද්ධිවල සැකකරුවෝ අපි අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ වගේම මේවා වැළැක්වීමට අපි මෙහෙයුම් වැඩි කරලා තියෙනවා, උදාහරණයකට ඔය දකුණු පළාතේ අපරාධවල වැඩි වීම නිසා අම්බලන්ගොඩ, අහුංගල්ල, කොස්ගොඩ, බටපොල, මීටියාගොඩ, ඇල්පිටිය, හික්කඩුව කියන පොලිස් වසම් ආවරණය වෙන පරිදි STF කණ්ඩායම් නතර කරලා තියෙනවා ඒ පොලිසිවල. මේ වගේ විශේෂ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

මීට අමතරව සෝදිසි මෙහෙයුම් මෙන්ම බුද්ධි අංශ නිලධාරින්ගේ මෙහෙයුම් වැඩි කර ඇති බවද ඔහු සඳහන් කළේය.

“ඒ වගේම මේ ඝාතනවල අපිට නිරික්ෂණය වෙනෙවා මේ වගේ හැම එකකම දේශියව ඉඳලා විදේශවලට ගිහිල්ලා ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධකම්. මේගොල්ලෝ සම්බන්ධවත් අපි මේ වෙනකොට විවිධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ අයට මොකක්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධව මුලික සාකච්ඡා පැවැත්වෙනවා.”

“අපි දකින දෙයක් තමයි ඔය වෙඩි තියෙන අය බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට එක පාරක් වෙඩි තියලා ඇතුලට ගිහිල්ලා ආපහු මාස හත අටකින් ඇවිල්ලා නැවත වෙඩි තැබීමක් කරනවා. එතකොට අපි ආපහු අල්ලනවා. සමහර පුද්ගලයෝ රට පනින අවස්ථාවලුත් තියෙනවා.” යැයි අපරාධ මැඬ පැවැත්වීමට ඇති දුෂ්කරතාවය ගැන විස්තර කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

මහජන ආරක්ෂක ඇමති මොකද කියන්නේ?

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (අගෝස්තු 28) වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණු බවය.

නමුත් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කිරීම තුළ එම පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

“රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.” ඔහු පැවසීය.

බලය අවභාවිතා වෙයි ද?

කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීමට මෙලෙස ආරක්ෂක අංශවලට මුළුමනින්ම බලය පැවරීම හමුවේ ආරක්ෂක අංශ විසින් එසේ ලැබෙන බලය අනීතික හෝ අවභාවිත කිරීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධව ද තක්සේරුවක් තිබිම අත්‍යවශ්‍ය බව මානව හිමිකම් නීතිඥ දුලාන් දසනායක බීබීසි සිංහල කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

“අපි දැකලා තියෙන දෙයක් තමයි අතීතයේ මෙවැනි තත්ත්වයක දී මොකක්ද වෙන්නේ කියන එක. හොඳම උදාහරණයක් තමයි මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය වගේ කියලා එවැනි අදහසකින් වැටලීම් ගණනාවක් සිද්ධ වුනා. මත්ද්‍රව්‍ය වැඩිවීමත් එක්ක සමාජයෙන් ලැබුන උත්තේජනයත්, ආණ්ඩුවෙන් ලැබුණ උත්තේජනයත් එක්ක ඒ අය යම් ආකාරයකට බලය අවභාවිතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා.”

“ඒ වගේම ඕන තරම් අපි දැකලා තියෙනවා පාතාලයට සම්බන්ධ අය, මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ අය කියලා මේ වෙඩි තැබිම්වලට සම්බන්ධ අයව අරන් ගිහිල්ලා ආයුධ පෙන්වන්න හරි වෙනත් කටයුත්තකට අරන් යනවයි කියලා වෙඩි තබන අවස්ථා.” යැයි මානව හිමිකම් නීතිඥවරයා පැවසීය.

මේ නිසා යුක්තිය පසඳලීමේ කාර්යයේදී නිරන්තරයෙන්ම සැකකරුවන් ආරක්ෂා කරගැනීම,අපරාධවල සුල මුල සොයා ගැනීමට අත්‍යවශ්‍යම සාධකයක් බවත්, පොදු සමාජය විසින් ඒ සඳහා වන උත්තේජනය සැපයිමට සහාය විය යුතු බවත් නීතිඥ දුලාන් දසනායක අවධාරණය කරයි.

-BBC –

Social Sharing
අවකාශය නවතම විශේෂාංග