-රත්නශීලා පෙරේරා-
වර්ෂ 1911 දෙසැම්බර් 16 දින නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ ‘පණ්ඩුකාභය’ නාට්‍යයෙන් ටවර්හෝල් ස්වර්ණමය නාට්‍යය යුගය ආරම්භ විය. තවදුරටත් අප රට යටත් විජිතයක්ව පැවති සමයක, ජාත්‍යානුරාගය, දේශානුරාගය වැඩවීම අරමුණු කරගෙන, නිදහස් සටනේ පුරෝගාමීන් වූ අනගාරික ධර්මපාලතුමන් ඇතුළු ඉතිහාසගත ශ්‍රේෂ්ඨයින් බොහෝ දෙනෙකුගේ පූර්ණ සහයෝගය ඇතිව ඇරැඹුණු ටවර්හෝල් නාට්‍ය යුගය විවිධ කාලවලදී විවිධ කරදර බාධා හැල හැප්පීම්වලට ලක් විය. වරෙක දෙවන ලෝක සංග්‍රාමය නිසා විදුලිය කපා හැරීම්, ජීවන මිල ඉහළ යෑම්, ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකවීම් පමණක් නොව චිත්‍රපට ආගමනය නිසා ද විශාල අභියෝගයකට මුහුණ පාන්නට සිදු විය.
මේ සියළු බාධා හමුවේ නොසැලුණු ටවර් නාට්‍යකරුවන් නොනැවතීම නාට්‍යකරණයේ නියැලිණි. එලෙස විකාශනය වන මෙම යුගයේ 1941 මැයි 29 දින සිංහල නෘත්‍ය සමාගම විසින් සංවිධානය කරන ලද එවකට නව පාර්ලිමේන්තුවක් වෙනුවෙන් පැවති ඡන්ද ව්‍යාපාරය ගැන කියැවෙන ‘ඉලැක්ෂන් ඝෝෂා’ ටවර් රඟහලේ රඟ දක්වන ලද අවස්ථාවේ කමලා කාන්තා, විමලා කාන්තා, පර්ල් වාසුදේවි, සරලා බායි, ඩී. එල්. සිමියන් සිල්වා, සෙබස්තියන් පීරිස්, ඩී. සී. සේනානායක, ඇලන් රත්නායක, ජී. එච්. පොඩි අප්පුහාමි හා රොසලින් රණසිංහ ඇතුලු පිරිසක් රඟපෑහ. (25 වසරක සිංහල නාට්‍ය හා රංග කලාව 1932 – 1956 තිස්ස කාරියවසම්) අද අපේ කථා නායකයා වනුයේ ටවර්හෝල් නාට්‍ය විකාශනයේ පාත්‍ර වර්ගයා අතරේ සුවිශේෂී චරිතයක් වූ සරලා බායි නම් කීර්තිමත් සුරූපී අති දක්ෂ නළඟනය.
ටවර්හෝල් නාට්‍ය විකාශනයේ වැඩිම වාර ගණනක් සඳහන් වන්නේ ද ‘සරලා බායි’ නාමයයි. ‘විධුර ජාතකය’, ‘මාණාභරණ’, ‘දුෂ්ඨ නීතිඥයා’, ‘ උම්මග්ග ජාතකය’, ‘නාගානන්ද’, ‘පද්මාවතී’, ‘පණ්ඩුකාභය’, ‘රාමායනය’, ‘ සමුද්‍රදේවි’, ‘ඔතැලො’, ‘මායාදුන්නේ’, ‘පරංගි සංහාරය’, ‘ශ්‍රි වික්‍රම රාජසිංහ’, ‘සුවිනීත භාර්යාව’, ‘ධූරි දත්ත’, ‘වෙස්සන්තර’,’සිංහල කොඩිය’, ‘හිතුවක්කාරි’, ‘මතභේදය’, ‘රෝමියෝ ජුලියට්’, ‘උත්තර රාමායනය’, ‘ශ්‍රියාලතා’, ‘මඟුල් සක්වල’, ‘ධර්මාශෝක’, ‘ද්‍රෝහි සෙනෙවියා’, ‘මහ කළු සිංහලයා’, ‘සිංහල වීරයා’, ‘අවිවාහක පියා’, ‘රාජ ලේ’, ‘අන්දරේ,’ ,පූජා’, ‘ජයබිම’, ‘පුරන් අප්පු’, ‘ඇලඩින්’, ‘ අලිබබා සහ හොරු හතලිහ’, ‘දොන් ජුවන් ධර්මපාල’, ‘රම්බාගේ ආලය’, ‘බුද්ධගයා’, ‘නීතිපති’, ‘සිරිකත’, ‘රොඩි කෙල්ල’, ‘මගුල් කපුවා’, ‘සරදියෙල්’, ‘සූටි ගමරාල සහ රයිගම බණ්ඩා’, ‘සිවම්මා ධනපාල’ ආදී නාට්‍ය සිය ගණනක ‘නළඟන’ ලෙසත් ස්ත්‍රී භුමිකා රංගනයෙනුත් දායකත්වය දුන්නේය.
මොහු උපන්නේ 1924 අගෝස්තු 7 දා මීරිගම ලෝලුවාගොඩ දීය. තුවාන් හලාල්ඩීන් ෂෙරීෆ් හෙවත් ටී. එච්. ෂෙරීෆ් ඔහුගේ නීත්‍යානුකූල නාමයයි. නාසය මත කුඩා ලපයක් සහිත රන්වන් පැහැගත් ආකර්ෂණීය සිරුරකට හිමිකම් කී ඔහුගේ වත අති සුන්දර විය. මන්මත් කරන සිනහව ඔහු නර්තනයේ යෙදෙන සෑම විටකම මුවග රැදුණේය. කුඩා වියේදීම නර්ථන දස්කම් දක්වන්නට වූයෙන් බොම්බායේ සිට මෙහි පැමිණ සිටි නර්ථන ශිල්පින් ඇසුරේ නර්ථනය වැඩිදුරටත් ඉගෙන ගත්තේය. වර්ෂ 1936 දී පමණ ‘බොම්බායේ සිට පැමිණි ‘සරලා’ නම් නාට්‍යාංගනාවක් සෙක්කුවත්තේ නාඩගම් මඩුවේ රැඟුම් දක්වන බව පත්‍රිකා මඟින් ප්‍රචාරය කර තිබුණි. සෙක්කුවත්තේ තරගයට නාඩගම් රඟ දැක් වු ලක්ෂපතියාගේ නාඩගම් මඩුවට අභියෝගයක් ලෙසින් රොබෝ සිංඤෝ ප්‍රමුඛ තිදෙනාගේ නාඩගම් මඩුවට සරලා බායිගේ පැමිණීම ගැන රාවය ප්‍රචාරයවීමත් සමඟ නරඹන්නන් විශාල වශයෙන් එක් රොක් වන්නට විය.
‘රොඩී කෙල්ල’ නාට්‍යයේ ගීතයකට අනුව රැඟුම් පෑ පසු ප්‍රේක්ෂකයන්ගේ අති මහත් අත්පොලසන් නාදය හමුවේ වේදිකාවෙන් බැස යාමට යන සරලා බායිගේ අතේ ඇතැම්හු ලේන්සුවලින් මුදල් ගැට ගැසූහ. ඇතැම්හු වේදිකාවට නැග සරලාගේ ඇඳුම්වල ද මුදල් නෝට්ටු එල්ලූහ. ප්‍රිති ඝෝෂා පවත්වා සතුට පළ කලහ. එලෙස නැටුම් පවත්වා නිවසට ගිය විට තරුණයෙක් ඔහුගේ නිවස සොයා විත් දෙමව්පියන්ගෙන් ඔහුව (ඇයව) විවාහ කරගන්නට අවසර පැතුවේය. මොහු තරුණියක් නොව තරුණයෙක් බව කෙතෙක් වටහා දුන්නද, එය පිළි නොගත් තරුණයා ප්‍රචණ්ඩව සරලාව රැගෙන යාමට තැත් කරද්දී සරලාගෙ මව සරලාව ගෙන ගොස් මුලුතැන්ගෙයි දුමෙහි හැංගූ සිද්ධිය සරලා පසුකාලීනව සිනාසෙමින් සිහිපත් කළේය. ඔහුගේ අතපතා පැමිණි තරුණයින් විසින් එවන ලද පෙම්පත්වලින් නම් ඔහුට කිසිදු හිඟයක් නොවීය.
ටී. එච්. ෂෙරීෆ් (සරලා) නම තරුණයාගේ මනස්කාන්ත රැඟුම් ගැන ටවර් රඟහලට සැලවීමට වැඩි කලක් ගියේ නැත. ඒ අනුව ටවර්හෝල් නාට්‍යවල නිත්‍ය නාට්‍යාංගනාවක ලෙස කාර්ය බහුලවීම නිසා මරදානේ ඇති අභයසිංහාරාමයේ මාවතේ රඟහල පෙනෙන මානයක නිවසක පදිංචි වූයේ සිය සොහොයුරියන් දෙදෙනා ද කැටුවය. ටවර්හෝල් හී රංගනයට එක්වීමත් සමඟ ෂෙරීෆ් – සරලා බායි විය. එවක ටවර්හොල් හි ජනප්‍රිය නාට්‍යාංගනාවන් ලෙස වැජඹුණේ පර්සි පෙරේරා, ඩේවිඩ් පෙරේරා (ඩේසි පෙරේරා) ආදීන්ය. සරලා බායි ඒ අය අතරින් පෙරමුණේම විය.
ඔහු කරළියට එක් වන විට රඟපෑ ප්‍රවීණයින් වූයේ එන්. රොම්ලස් ද සිල්වා. ලක්ෂ්මී බායි, විමලා කාන්තා. සෝමා කාන්තා, ඇනී බොතේජු, ටී. විල්බට් පෙරේරා, ටී. වී. ඇඩ්වින් පෙරේරා, ටී. පී. අල්මේදා, ජී. එච්. පොඩි අප්පුහාමි වැන්නවුන්ය. සරලා බායි ගේ නම දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත විය. ටවර්හෝල් හි නාට්‍ය නරඹන්නට පැමිණෙන රසික පිරිස් සෑහෙන කලක් ගත වෙන තෙක් සරලා බායි පුරුෂයෙකු බව දැන නොසිටියේය. සෑම රසිකයෙක්ම සරලා බායිගේ නර්ථන දැකීමට බලවත් කැමැත්තක් දැක් වූහ. රන් පදක්කම්වලින් අනන්ත වාර ගණනක් පිදුම් ලැබුවේය. රට වටා පවත්වන්නට යෙදුණු සැණකෙළිවල සරලා බායිගේ රංගන තිබීම අනිවාර්ය විය. ගම් නියම් ගම්වල ප්‍රචාරණයේ යෙදුණු ප්‍රචාරක රථවල යකඩ කටවලින් එදින සැණකෙළියේ රැඟුම් සරලා බායිගෙන් බව පිට වූ සැණින් මහජනයා පොරකමින් සරලා බායිගේ නැටුම් බැලීමට සැනකෙළි වටා රොක් වූහ.
ඔහුගේ නැටුම්වලටත් වඩා ඔහු ඇඳුම් අඳින පළඳින අයුරු නරඹන්නට විශාල කුතුහලයක් පැවතිණි. සරලා බායි සිය වෘත්තීය තුළ ඉතාමත් විනයගරුක විය. කිසිවකුට ඔහු ඇඳුම් අඳින පළඳින අයුරු දැකගත නොහැකි විය. සැණකළිවලදීත් ටවර්හෝල්හිදීත් වෙනත් රඟහල්වලදීත් ඔහුට විශේෂ කුටියක් වෙන් විය. ඊට ඇතුල් විය හැක්කේ ඔහුගේ සහායකට පමණි. නාට්‍ය අධ්‍යක්ෂක පවා ඔහුට කථා කළ යුතු වූ විට පළමුව අවසර ලබා ගත යුතු විය. අනවශ්‍ය ලෙස කතාවේ යෙදුනේ ද නැත. ඔහුගේ ඇඳුම් නිර්මාණය කර ගන්නේ ඔහු විසින්මය. ඔහු නර්ථනයට මෙන්ම ඇඳුම් මැසීමේ විෂයෙහි ද දක්ෂ වූයේය. ඔහු නර්ථනයට ගැලපෙන පරිදි නවීන සහ සම්ප්‍රදායික ඇඳුම් සපයා ගත්තේය. ඒවා අතිශයින් නිර්මාණාත්මකය. එමෙන්ම ඔහුගේ කොණ්ඩා විලාසිතාවන් එකිනෙකට වෙනස් විය. ඔහුගේ නර්තනයන් ද එකින් එකට වෙනස් සුවිශේෂී අංගවලින් යුක්ත විය.
වරෙක සාරියකින් සැරසී වේදිකාවට එන සරලාබායි මුලින්ම නර්තනයේ යෙදෙමින්ම සාරිය ගලවා දමයි. ඊට යටින් ඇත්තේ අති විසිතුරු දිග ගවුමකි. මොහොතකින් වේදිකාව වටේ රවුමක් කැරකෙන අතරතුර එම ගවුම ගැල වී ඊටත් යටින් තවත් අලංකාර දිග ගවුමක් දිස් වෙ. මෙලෙස එක් නර්ථනයක් අවසන් වන විට ගවුම් දහතුනක් මාරු කර අවසන්ය. කෙටි සායක් සහ හැට්ටයක් පමණක් ඉතිරි වූ පසු නර්ථනයේ යෙදෙමින්ම නැවත සාරිය ඇඳ ගනී. මේ අපූරු මැජික් නර්ථනය දෙස ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ දෙනෙත් දල්වා මුව විවර කරගෙනය.
තවත් විටෙක විශාල වලලු දහයක් පමණ අත් දෙක දෙපැත්තේ එකක් ඇතුළින් තවත් එකක් පටලවා ගනිමින් අත් දෙක දෙපසට වළලු දහයම යා කොට නර්තනය අවසානයේ එක් රවුමක් කොට ප්‍රේක්ෂකාගාරය වෙත දක්වා සිටී.
ගෙජ්ජි හඬ නඟන රබානක් අතැතිව ද තවත් විශේෂ නර්තනයක් ඇත. ඔහුගේ නර්තනයට ආවේණික සංගීතය සැපයීමේදී සංගීතවේදීන්ද ඉතා අවධානයෙන් සිටිය යුතුය. නර්තනය අවසානයේ ඔහු තබන පාදවලට තබ්ලාව අකුරටම වාදනය කළ යුතුය. තබ්ලා පද සරලා බායි මුවින් මතුරයි. කිසි විටෙක වරද්දන්නට ඉඩ තිබ්බේ නැත. ඔහු අති භක්තියෙන් වැඳ නමස්කාර කොට අතට ගන්නා මිණි කිංකිණි හඬ නඟන ගෙජ්ජි වැල දෙපයේ බැඳගත් පසු වේදිකාවේ නරථනයේ යෙදෙන්නේ නියම ශාස්ත්‍රයට අනුව තබ්ලාවෙන් වැයෙන පද ගෙජ්ජිවලින් ද හඬ නංවමිනි.
1945 ජනවාරි මස 03 දින ටවර්හෝල් හි ශ්‍රී ලංකා නාට්‍ය මණ්ඩලයේ ඩිව්ලින් සිල්වාගේ ‘නංගි’ නාට්‍යය දින තුනක් පැවැත්වීය.. එහි රඟපෑ සරලා බායිට දෙවන දර්ශනය අවසානයේ ප්‍රීතිමත් පුවතක් සැළ විය. ඒ සිය නැඟනිය වූ නෝනා කිච්චි සිය පළමු දරුවා බිහි කළ පුවතයි. දෙවන දර්ශනය අවසන් වු සැණින් එම ඇඳුම සහ ගෙජ්ජි සමඟම සරලා බායි නැඟනිය වෙත දිව විත් අලුත උපන් දරුවා දෝතින් තුරුල් කර ගත්තේය. සදාකාලිකවම තනිව දිවි ගෙවන්නට සපත කර සිටි සරලාට සොයුරියගේ දරුවන් තමන්ගේම දරුවන් විය. එදා ඉපදුණු පුතු තුවාන් පුත්‍රයා සිය මාමා වූ සරලා බායි සිහිපත් කළේ අප්‍රමාණ ස්නේහයකිනි.
සරලා බායි රුවින් රුක්මණී දේවියට බෙහෙවින් සමානය. එකල බොහෝ පිරිස් සරලා බායිට රුක්මණී දේවිය යයි රැවටුනු වාර අනන්තය. පුවත්පත්වල පවා මේ දෙදෙනාගේ ඡායාරූප පළ කොට හැකි නම් දෙදෙනා හඳුනා ගන්නා ලෙස තරඟ පවත්වා ඇත. සැබෑ ජීවිතයේදී ද මේ දෙදෙනා දැඩි හිතවත්කමක් පැවැත්වූහ. සරලා බායිගේ අසලින්ම සිට ඔහුගේ සහායක ලෙස කටයුතු කළේ ගෆූර් මහතාය.
1957 වසරේ එක්තරා දිනෙක ටවර්හෝල් හි රඟදැක් වූ නාට්‍යයක් රඟ දැක්වෙද්දී ප්‍රේක්ෂකාගාරයේ මුල් පෙලේ ප්‍රභූන් වෙනුවෙන් වෙන් වූ අසුනෙක වාඩි වී සිටියේ එක්තරා දෙපාර්තමේන්තුවක දෙමළ ජාතික උසස් නිලධාරියෙකි. වේදිකාවේ රඟන නළඟනගේ නර්ථනයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම කුල්මත්ව සිටිද්දී පෙර කී දෙමළ නිලධාරියා තමා ළඟ සිටි නාට්‍ය සංවිධායක මහතකු අමතා ‘ෂහ්’ හරි ලස්සන නැටුම. කවුද ඒ කෙල්ල? විමසීය. ‘නැටුම නම් ලස්සන තමයි හැබැයි ඒ ගැහැනියක් නෙවෙයි පිරිමියෙක්’ යනුවෙන් සංවිධායක පිළිතුරු දිණි. එම පිළිතුරෙන් කිසිසේත්ම සෑහීමකට නොපත් එම නිලධාරියා දර්ශනය අවසානයේ වේදිකාව පිටුපසට ගොස් සියැසින්ම සරලා බායිව හමු වී කතා කොට තමාට වූ අත් වැරැද්ද ගැන ඉතා ලැජ්ජාවට පත්ව ගිය ද පසුදා සරලා බායිට රන් පවුමක් සහ ගෝල්ඩ් ලේබල් විස්කි බෝතලයක් ද එවීය. මෙනයින් ටවර්හෝල් යුගය පමණටම සරලා බායි ද මතක සිටින අපූර්ව චරිතයක් වූයේය.
1980 දශකය දක්වාම ඔහු ඉතා සෞඛ්‍ය සම්පන්නව නර්ථනයේ යෙදුණේය. නූර්ති නාට්‍යයක් ඉඳහිට හෝ රඟ දැක්වූවොත් සරලා බායිගේ නර්ථනයක් නොවරදාවාම ඇතුළත් විය. ටවර් රඟහල රජය සතු කිරීමේලා ආර්ය සිංහල නාට්‍ය සභාව ගෙන ගිය සටනේ සරලා බායි ද ප්‍රමුඛයෙකු වූයේය. 1978 රණසිංහ ප්‍රේමදාස සංකල්පය යටතේ නවිකරණය වූ ටවර්හෝල් රඟහල් පදනමේ විශ්‍රාම වැටුප්ලාභියෙකු වූ අතර සරලා බායිටත් නැඟනියටත් මාලිගාවත්ත මහල් නිවාස ලැබිණි. එසේම ගම් උදාව වේදිකාවේ රඟන්නට ද වරම් ලැබිණි. 1995 කලා භූෂන සම්මානයෙන් ද පුදනු ලැබීය. ‘මාලිකුල් මස්රහි’ නම් මුස්ලිම් ජාතික සංස්කෘතික සම්මානය ද ඇතුළු සම්මාන ගණනාවකින් ද පිදුම් ලැබීය. අනන්ත අප්‍රමාණ පිරිස් හා ජීවිතය පුරා කටයුතු කළ ද, හුදකලාව ජිවත් වූ සරලා තවත් අසරණ වූ හුරුබුහුටි දැරියක් සිය දූ තනතුරේලා හදා වඩා ගත්තේය. සිය සම්පූර්ණ කාලය හා මුදල් ශක්තිය යොදා මෙම දියණියගේ දියුණුව පතා කටයුතු කළ ද සරලා බායිගේ ජීවිතයේ සැඳෑ සමයේ ශක්තිය හීන වන විට කරුණාව ලබන්නට වාසනාවන්ත නොවීය. නැඟනියට හා නැඟනියගේ දරුවන්ට ඔහුට සමීපවීමට අවස්ථාවක් නොලැබුණි. සරලා බායි ලියුකේමියා රෝගයට ගොදුරුව දැඩි ලෙස රෝගාතුර වු පසු නැඟනියගේ භාරයට පත් වුව ද ඒ වන විට ආර්ථික දුෂ්කරතාවලින් සහ සෞඛ්‍යමය වශයෙන් පිරිහී සිටියේය.
1996 ඔහු රෝහලේ සිටියදී ඔහු වෙනුවෙන් පුවත්පත් කිහිපයකම ලිපි පළ විය. ඒවායේ ඔහුගේ අසරණකම ගැන දිගින් දිගටම සඳහන් කරන අතර එවක රජය මඟින් හෝ වෙනත් ආයතන කිසිවකින් ඔහුට පිහිටක් නොවූ බව ද සඳහන් කරයි. එදා ඔහුගේ රුව දැක ගන්නට පොර කෑ විශාල පිරිස අතරින් කිසිවකු ඔහුගේ අභාග්‍යයේදී අසළට ආවේ නැත. ආවේ එකළ එක්ව රඟපෑ නළු නිළියන් කිහිප දෙනෙකු පමණි. තවත් ටවර්හෝල් නාට්‍ය ශිල්පිණියක වූ ෆ්ලෝරා දේවි ඔහුව රෝහලේදී දැක බලා ඉතා කණගාටු වූ බව පුවත්පත් වාර්තාවල සඳහන් විය. මීරිගම ගම්මානයේ මුස්ලිම් ජාතිකයෙකුව ඉපිද ටවර්හෝල් යුගයේ සිය ගණනක් වූ නාට්‍යවලට නර්ථන දායකත්වය දෙමින් රට පුරා සංදර්ශනවලදී ජනී ජනයා ප්‍රමෝදයට පත් කරමින් රටම වශී කළ ඒ අපූරු රූමත් නළගන සරලා බායි 1996 වසරේ එක්තරා දිනයක ජීවන රඟමඬලෙන් බැස ගොස් සදටම සමාදානයේ සැතපුණාය.
උපුටාගැනීම – සරසවිය