ලෝකයේ වැඩියෙන්ම සංචාරකයො ඇදෙන රටවල් දහය ගත්තොත් තායිලන්තය මේ දහයට නිතරම ඇතුලත් වෙනවා. ජේම්ස් බොන්ඩ් දූපතේ ඉඳල, පුකට් සුදු වැලි මුහුදු තීරය, පතායා විනෝද නගරය, කෝ පිපි පාරාදීසය, චියැන්ග්මයි කඳුකරය, දිය ඇලි, වනාන්තර, ව්‍යාඝ්‍රයො, තායි කෑම බීම, තායි මසාජ් මේ හැම දෙයක්ම හොයාගෙන ලෝකය වටෙන්ම සංචාරකයො තායිලන්තයට ඇදෙනවා.
තාවකාලිකව පැවිදි වෙන්න ඕනෙද? සම්ප්‍රදායික ටැටූ එකකට කැමතිද? චියෑන්ග් රායි කඳුකරයෙන් එන ස්කොට් ගර්ල් කෙනෙක් එක්ක සංචාරය කරන්න ඕනෙද? පතායා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක නිවාඩුවක් ඕනෙද? පුකට් වෙරළේ නිරුවත් කාන්තාවන් හතර දෙනෙකුගෙන් බොඩි මසාජ් එකක් ඕනෙද? එන්න තායිලන්තයට. ඒ අය කියනවා.
පැය විසි හතරෙම විවෘත්ත තායි සමාජ ශාලා හෝ ඩිස්කෝ රැඟුම් හල් ද ලොව පුරා ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානද, සංස්කෘතික නැටුම් ශාලාද, චිත්‍ර ශිල්පය උගන්වන පන්තිද, මොන පන්තියට අයිති වුනත් තායිලන්තය මේ හැම එකටම විවෘත්තයි. තායි සිල්ක්, තායි චිත්‍ර හෝ පිලිම සමරු විදිහට තමන්ගෙ රටට අරගෙන යන්න ඕනෙද.? තායිලන්තයේ දොර විවෘත්තයි.
කැනබීස් හෙවත් ගංජා සුරුට්ටුවක් උරමින් කෝ සමුයි වෙරළේ ඉර බහිනව බලන්න ඕනෙද? ලෝකෙ ලස්සනම ලේඩි බෝයි කෙනෙක් එක්ක මේකොන්ග් නදියේ බෝට්ටු සවාරියක් ඕනෙද? තායිලන්තය ඒ හැමදේම සංචාරකයන්ට ලබාදෙනවා.
තායි සංස්කෘතිය වෙනම කතා කල යුතු පොතක්. ඒ ඉතිහාස සංස්කෘතික පොතක්.
ඒ අයගෙ ඉතිහාසය අපූරුයි. ඉංග්‍රීසී… ලන්දේසි.. පෘතුගීසි… ප්‍රංශ … ජපන් වගේ හැම අධිරාජ්‍යයවාදී ජාතියක්ම කරක් ගැහුවත් තායිලන්තය කවදාවත් කිසිම රටක යටත් විජිතයක් වෙන්නෙ නෑ. ජපන් අධිරාජයා එක්ක ගිවිසුමක් තිබුනු බව කීවත් තායි මිනිස්සු කාටවත් යටත් වුනේ නෑ. අද වෙනකල්. කුමණ්ත්‍රණ, පාවාදීම්, සුදු ජාතික ආධිපත්‍ය, බටහිර හෝ නැගෙනහිර සංස්කෘතිය මේ කිසි දෙයක් තායිලන්තයට අදාළ නෑ.
පායි හෝ නාන් උතුරු වනාන්තර ප්‍රදේශවලින් එන තරුණියකට පතායා හෝ බැංකොක් ගණිකාවක් වෙලා අවුරුදු පහක් ඇතුලත ජීවිතයටම සරිලන මුදලක් හොයාගෙන ආපහු උපන්බිමට යන්න පුළුවන්. ඒ ගිහින් කසාදයක් බැඳගෙන දරු මල්ලො හදාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. කවුරුත් කතා හදන්නෙ නෑ, හැදුවත් කවුරුත් ගණන් ගන්නෙත් නෑ.
සංචාරකයන් වී වගාව සහ රබර් වගාවෙන් තායිලන්තය අභිබවන්න පුළුවන් රටක් ආසියාවෙ නෑ. ඉන්දු චීන අර්ධද්වීපයේ, බුරුමය, ලාඕසය, කාම්භෝජය සහ මැලේසියාව එක්ක දේශ සීමාවන් බෙදාගන්න තායිලන්තය හඳුන්වන්නෙ ආසියාවේ ව්‍යාඝ්‍රයා විදිහට. 1800 වගේ වර්ෂයේ ඉඳල තුන්වන හතරවන හා පස්වන රාමා රජවරුන් බටහිරට විරුද්ධව සටන් කරනව ස්වාධීන රාජ්‍යයක් විදිහට පවතින්න.
ඒ අය සාර්ථක වෙන්නෙ තායි ජනතාව නොබියව සටන් කරන නිසයි. බටහිරින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත්, නැගෙනහිරින් ප්‍රංශ ඉන්දු චීන රාජ්‍යයත් වර්ධනය වුනාට මේ දෙකටම හැකියාවක් නෑ සියම් දේශය යටත් කරගන්න.
1932 දී සාමකාමී විප්ලවයකින් සියම් ව්‍යවස්ථාව නිර්මාණය වෙනවා. ඒ හරහා 1939 දී සියම කියන නම වෙනුවට තායිලන්තය ආදේශ වෙනවා. 1937, 1939, 1948, 1949, 1951, 1957, 1958, 1971 1976, 1977, 1981, 1985, 1991, 2006, 2014 යන පහලොස් වතාවක්ම හමුදා බලය හා තායි රජයේ බලය දෝලනය වෙනවා. නමුත් වැදගත්ම දේ මේ හැම රාජ්‍ය බලය විතැන්වීමකින්වත් තායි ක්‍රමය හෝ එක දිශාවකට ගමන් කිරීම වෙනස් නොවීමයි. මොන දේශපාලන උප්පරවැට්ටි ආවත් ඒ අයගෙ ආකල්ප වෙනස් වෙන්නෙ නැහැ කියල තව විදිහකට කියන්න පුළුවන්. රජු හෙවත් රාජ්‍ය පාලනයට තායිලන්තය ගරු කරත් ඒ අය හැම තිස්සෙම ප්‍රජාතන්ත්‍රවාදය හොයනවා. එතකොට හමුදාව ඊට මැදිහත් වෙනවා. නමුත් හමුදාව කොයිම විටකවත් මෝඩ වෙන්නෙ නෑ පොදු තායි මතය මර්ධනය කරන්න.
නව වන රාමා රජු ( Bhumibol Adulyadej) බොහොම ගෞරවයට පාත්‍රවෙන චරිතයක්.1946 ඉඳල 2016 වෙනතෙක් අවුරුදු හැත්තෑවක් මේ රජතුමා තායිලන්තයේ කිරීටයට හිමිකම් කියනවා. ආණ්ඩුව පෙරළිලා හමුදාව ආවත්, හමුදාවෙන් පාලනයෙන් පස්සෙ රජයක් පත් වුණත් භූමිබෝල් දැහැමින් සෙමින් රජකම් කරනවා. නමුත් එයාගෙ පුත්‍රයා හෙවත් දසවන රාමා සෙල්ලක්කාර චරිතයක්.
ඇයි තායිලන්තය ගැන අද කතා කරන්නෙ..? හමුදාවයි රජතුමායි එකතුවෙලා නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යන්න අදහස් කිරීම නිසා තමයි අද තායිලන්තය ගැන කතා කරන්න හිතුවෙ. පහුගිය සති අන්තෙ තායි මැතිවරණය පැවැත්වූවා. තායිලන්තයේ තරුණ පිරිස තරුණ නායකයෙක් ගැන සිහින දකින බවට පැහැදිලි සාක්ශි ලැබෙන්නෙ මේ මැතිවරණ ප්‍රථිඵලත් එක්කයි.
මේ තරුණයාගේ නම පිටා ලිම්ජාරඔන්‍රාට් ( Pita Limjaroenrat). වයස අවුරුදු හතලිස් දෙකයි. පෙරට යමු (Move Forward Party) පක්ෂය නියෝජනය කරමින් 38.5% ක ඡන්ද ප්‍රථිශතයක් ලබාගන්න මේ තරුණයා සමත් වෙන්නෙ තායි තරුණ ප්‍රජාවගේ සහය එක්කයි.
මේ ඡන්දයේ දෙවනි තැනට අහන්න ලැබෙන්නෙත් තරුණියකගෙ නමක්. පයිතොන්හ්තාර්න්ට වයස අවුරුදු තිස් හයයි. (Paethongtarn Shinawatra). එයා දිනාගන්න ඡන්ද ප්‍රථිශතය 29.3%. කලින් හිටපු අගමැති තක්ශින් ශිනවාත්‍රාගේ දියණිය වෙන මේ තරුණිය තමන්ගෙ පියා වගේම ආන්දෝලනාත්මක චරිතයක් වෙයිද කියන සැකයයි ලොව පුරා මාධ්‍යවේදීන් මතු කරන්නෙ.
තායි හමුදාවේ විශ්‍රාමික නිළධාරියෙක් වන ප්‍රායුට් චාන් ඕ චා (Prayut Chan-o-cha) මේ ඡන්දයේ තුන්වෙනි තැන දිනාගන්නෙ 12.7% ක ඡන්ද ප්‍රථිශතයක් එක්ක.
ඒ මහත්තයාගෙ වයස අවුරුදු 69යි.
කවුරු අගමැති වෙයිද කියන එක නෙවෙයි ප්‍රශ්ණය, තායි සංස්කෘතිය වැළඳ ගත යුතුද යන්න නෙවෙයි ගැටලුව. පළමු හා දෙවන තැන් ගන්න ඡන්ද අපේක්ශකයන්ට වයස කීයද කියන එකයි ලංකාවෙ පොදු ජනතාව අහන්න ඕනෙ ප්‍රශ්ණය.
අවුරුදු හැට හැත්තෑව පැනපු වයසක සීයලාට තවමත් වැඳ වැටෙන ලාංකික මිනිස්සු ලැජ්ජ වෙන්නෙ ඕනෙ නැද්ද? හෙට දවස අයිති අලුත් පරපුරට. අත්දැකීම්, ජාත්‍යතර සබඳතා, මුහුකුරා ගිය නුවණ වගේ කතන්දර පැත්තකින් තියල තරුණ නායකයෙක් ගැන හිතන දවසක් ලංකා දේශපාලනයේ දකින්න පුළුවන් වේවිද..?
බටහිර කුමණ්ත්‍රණ, චීන සබඳතා, ඉන්දියානු බලපෑම, අයි එම් එෆ්, සී යි ඒ, රෝ, උරුමය, ඉතිහාසය වගේ විකාර කියවමින් ඉන්න මිනිස්සු ඇයි අලුත් නායකයෙක් ගැන හිතන්නෙ නැත්තෙ.
හෙට දවස අයිති තරුණ පරපුරට, සාර්ථක වේවා… අසාර්ථක වේවා… ඒක ඒ තරුණ පරපුරේ හෙට දවස. වයසක සීයලාට විශ්‍රාම යන්න කියල ඉදිරියට එන තරුණයන් ලංකාව බිහි කරන්නෙ කවද්ද..?
-malcolm sang-