වෙසක් මතක..!

-කේ. සංජීව-

අද වෙසක් දවස. ඊයේ රෑ ඉදලා වහිනවා. රත්නපුරේ අපිට වෙසක් කියන්නේ වැස්ස තමයි. වැස්ස නැතුව වෙසක් ගෙවුන අවුරුදු හරිම අඩුයි. මෙදා කොළඹ හිටියත් මේ වැස්ස ජනේලේ අස්සෙන් මූනට පැනලා වෙසක් අතීතයට ගමනක් යන්න කතා කරනවා.

ඉස්සර අවුරුද්ද ගෙවිලා වෙසක් ලබනවා කියන්නේ අපි දවස් 45 ගංවතුරට ලෑස්තිවෙනවා. සිරීපාදේ අවසන් වෙනවා. අකුණු තුරල් වෙලා වැස්ස වැටෙනවා. පාරවල් ජොල් වෙලා බණ්ඩක්කා වගේ ලිස්සන්න තියාගන්නවා. කොස් ගස් යට වැල වැටිලා පාර දිගට වැල සුවඳ හමනවා. ඔයින් මෙයින් තමයි මේ කාලේ ගෙවෙන්නේ. ඉතිං සතියක් වගේ ලං වෙනකොට අටපට්ටම් තාරුකා නෙළුම් මල් නෙළුම් පොහොට්ටු විතරක් නෙවෙයි අහස් යාත්‍රා පවා උණ පතුරුවලින් බටපතුරුවලින් නිමැවෙනවා.

උදේට රබර් කිරි අකුලලා ගියාට පස්සේ හවස් වෙනකොට මිදෙන ඔට්ටපාලු ගැලවිල්ල තරගයක් වෙනවා. ඒ කූඩු බඳින යුද්ධය නිසා. ගෙයි මුල්ලක සාලේ කොනක රංචුවට හිඳගෙන කූඩු බැඳලා හවසට ඒවා බෙදාගන්නවා. සමහරු ගෙදර යනගමන් විකුණලා බිත්තර ආප්ප කනවා. හොරාට සිගරැට්ටුවක් ගසනවා.
ගඟ අයිනේ ගමක් නිසා සමහර තොටුපොළ වල නෙළුම් යායට ගඟ මැදට වෙනකම් පිපෙනවා. සමහර අවුරුදුවල කොල්ලෝ හොඳටම සංවිධානය වෙලා කූඩුවක් ගහන්න පටන් ගන්නවා. කූඩුවක් පටන් ගන්නවා කියන්නේ ඉතිං ලෝක යුද්ධයක්. හැබැයි ගමම එකතුවෙනවා. කොල දෙන්න බල්බ් දෙන්න මෝටර් දෙන්න රේසර් දෙන්න වල කපන්න මඩුව ගහන්න උණ කපන්න ගඟේ පනින්න වගේ වැඩ ගොඩක් ශ්‍රම විභජනය අස්සේ අපූර්වට වෙනවා. කූඩුව බලන් ඉන්නැද්දි උස ගිහිං පැටව්නුත් ගසනව. ඒක පුදුම විනෝද සමයක්.

කූඩු මඩුවේ රෑ වැඩට එනවා කියලා ගෙවල්වලට කියල එන කොල්ලෝ වාඩිවල බොනවා වැටෙන්න. ඉර නැඟිටින පැයට වෙරිමරගාතේ ඇවිත් නම ලකුණු කරලා යනවා. සමහරු කූඩුව විකුණලා මඤ්ඤොක්කා ගලවන්න හේන්වලට පනිනවා. එහෙම දවසට නම් කූඩුවේ වැඩ කරන ෆුල්ටයිමර්ස්ලා හොඳට මඤ්ඤොක්කා කනවා. සමහර කූඩු ෆුල්ටයිමර්ස්ලගේ ගෙවල් බලාගන්න සමහරු කූඩුව විකුණලා කළුවරට මුහු වෙනවා.. මේ සේරම අස්සේ කූඩු මඩුවේ කොනක හැංඟිලා බලාගෙන ඉන්න ගල් බෝතල් වෙසක් කියලා නෑ සොමිය බෙදනවා.

කූඩුව ඕපන් කරන්න කිට්ටු වෙනකොට ගමේ කෙල්ලොත් රෑට ඇවිත් ඉදගෙන සප් එක දෙනවා. කැටයම් කපනවා. සව්කොළ අලවනවා. කොල්ලෝ ඉතිං හිත් අල්වගෙන ආලවකයෝ වගේ බලන් ඉන්නවා. ඒකත් ඉතිං වෙනමම සොමියක්. ඒ සොමිය කැඩෙන්නේ වරෙන් යන්න ඔය හිටියා මදැයි කියලා කෙල්ල ගෙදරින් ඇවිත් ඇදගෙන ගියාම. බහන් අදත් අහන්න බැරිවුණානේ සමහර ආලවකයෝ ඒ කල්පාන්තර බලා ඉදිල්ලට පස්සේ මුමුණනවා.

සමහර අවුරුදුවල වෙසක් දවස් වෙනකොට ගමේ මැණික්කාරයාට හොඳයි නම් කොහෙන් හරි කූඩුවක් කුලියට ගේනවා. ගෙනල්ලා ඉතිං තුන්හුලස් සංගීත කණ්ඩායමක් එහෙම දාලා මියුසිකල් එකකුත් කරනවා. සමහර අවුරුදුවලට ඉතිං සහරා ඒමත් ගමට ඇවිත් තියෙනවා හරිය. කොහොමටත් රත්නපුරේ ඒ කාලේ සංගීත කණ්ඩායම් ගොඩක් තිබුණා. පදුරකට ගැහුවත් අඩුම ඇක්ස්‍ රේ කාඩ් ඩ්‍රම්සැට් එකක් හරි එළියට වීසි වුණා. හැරනියාවක තිබුණ සුපර් ෂයින් (මතක විදිහට) රත්නපුරේ පල්ලිය පාරේ තිබුණ ෆීලීන්ග්ස් (මතක විදිහට) ගොඩක් කූඩුවල තොරන්වල දන්සල් අවසානයේ ඔවුන් සෙල්ලම් කළා. මට ගොඩක් මතක අසෝකන් (දැන් මොළේ සෛල මැරිලා නම් අමතකයි) කියන දෙමළ ගායකයා. අපේ මිත්‍රයා. හින්දි සිංදු මැෂින් එකක් ඒක. අපි ඉතිං මිනිහගේ සිංදු පිස්සුවෙන් වගේ ඇහුවා. හැරණියාවක බෑන්ඩ් එකට හිටියා සමන්ති අක්කා. නටනවා නාගීනා ආයේ ඇඬෙන්න. අපි ඉතිං යනවා බලන්න. අම්මෝ..!

ඒකාලේ රත්නපුරේ හැමතැනම බත් දන්සල් ඕසෙට. හංගමුවෙත් ප්‍රසිද්ධ දන්සලක් තිබුණා. අපි ඉතිං වෙසක් එකට උදේ බයිසිකල් අරගෙන මහා වැස්සක උනත් හැම අවුරුද්දකම යන රවුමක් තිබුණා. හංගමුවෙන් පටන් අරං කොටාමුල්ල පළාවෙල හරහා කරවිට කන්දට නැඟලා ආයෙත් පල්ලම බැහැලා හංගමුවට ඇවිත් වටයක් සම්පූර්ණ කළා. කිලෝමීටර් 20ක විතර වටයක් ඒක. කඳු දිය ඇලි අස්සෙන් තමයි පාර නයා ගැහලා අපිට සම්පත් දායකයෙක් වුණේ. පොත්ගුල් වෙහෙර කුකුලුවා වෙහෙර තමයි මේ වටරවුමේ අපේ අනිවාර්ය නැවතුම් ස්ථාන. මේ රවුමේ ගිහිං ඉවරවෙනකොට අපි දන්සල් මරුවෝ වෙලා ඉවරයි.

සමහර වෙසක් වලට අපි කොටාමුල්ලෙන් පලාවෙල ඇලපාත පැත්තට හැරෙන්නේ නැතිව කනාදොළ කන්ද නැඟලා ටවුන් එකට බැස්සා. එහෙම බැස්සාම කජුගස්වත්ත තමයි පළවෙනි නැවතුම. ඊළඟට ඉතිං සමන් දේවාලේ හරහා හැරනියාවක හරහා නැඳුන් විහාරෙට බයිසිකලේ පැද්දා. ඒක තමයි මම හිතන්නේ දුරම රූට් එක බයිසිකලයට. පොසොන් එකටනම් කහවත්ත ගුරුගේ තොරණට පැද්දා.. සමහර දවස්වලට ටවුන් එකේ බයික්ස් දාලා ඇඹිලිපිටිය බස් එකේ නැඟලා සිතුල්පව්ව ගියා. සිතුල්පව්ව කියන්නෙත් අපේ ආස ගමනාන්තයක්. මේකටනම් ඉතිං ඔය පෙම්වතියෝ ඒමත් සෙට්වුණා. ඒක ඉතිං වනගත ආරාමයක් නේ. රත්ගඟ පන්සල උනත් ඒමයි..

ඉස්සර වෙසක් පොසොන් දවස් කියන්නේ රත්නපුරේ තොරන් කූඩු දන්සල් සංගීත වරදින්නේ නෑ. ඔරෝසු කණුව ළඟ තොරණ පුළුඟුපිටිය තොරණ වගේ නම් ගොඩක් තිබුණා. ඒකියන්නේ තොරන් ගොඩක්. දන්සලුත් එහෙමයි. සව් වලින් පටන් අරගෙන කැඳ වලින් ගිහිං මඤ්ඤොක්කා වල ඉදලා බත්වලට.. දැන් නම් අයිස්ක්‍රීම් වලට වෙනකම් දන්සල් තියනවා. ඒ විතරක් ද කොමඩු.. දෙල් කොස්..නූඩ්ලස්..

අපිත් ඉස්සර ගමේ බීම දන්සලක් දුන්නා. සමහර අවුරුදුවල කැඳ දන්සලක් දුන්නා. සමහර අවුරුදුවල බත්..! මේවා ඇත්තටම පින් බලාගෙන කරපු දේවල් නෙවෙයි. මේවා අස්සේ තිබුණේ සතුට. නිදහස. ප්‍රමෝදය. හැම වෙසක් කාලෙකටම පොසොන් කාලෙකටම පස්සේ අපි අලුත් වුණා. නිදහස් වුණා. ගම අලුතින් එකතුවුණා. තරහා කෝන්තර තිබුණ නම් ඒවා අකාමකා ගියා. ආදර සම්බන්ධතා විතරක් නෙවෙයි ආවාහ විවාහවලට පදනම් පවා වැටුණා. සමහර කසාද වෙසක් නිසා කැඩුනා. ඒවා ඒම තමයි. ගොඩක් අය කිව්වේ ප්‍රීති වෙසක් කියලා.

අපි බයිසිකල් වලින් පන්සල් යනවට අමතරව කඳු නැඟ්ගා. දිය ඇලිවල නාන්න ගියා. හොඳටම බිව්වා. කෑවා. සමහර වෙලාවට සමහරු දියේ ගිලිලා මැරුණා. සමහර සංගීත රාත්‍රී ඉවර වුණේ මරාගෙන. කඩු කිනිසිවලින් කපා කොටාගෙන. ඉතිං වෙසක් කියන්නේ මේ සේරටම. වෙසක් කියන්නේ සතුටට ආදරයට. ජීවිතයට..! ඒක ඇත්තටම ආගමෙන් වහන්න බැරි සංස්කෘතික මඟුලක්..!

Social Sharing
අවකාශය නවතම