මෑ රසයි …!

-කේ. සංජීව-

ගඟ අයිනේ වැලි මඩ එකට කැලතිලා තැම්පත් වුණ පොළවේ යකෙක් වගේ අහස අල්ලන්න උඩ පනින වැල් ගොමුවක් තමයි මෑ. මෑ ලතාව ලතාවකට ඔහොක් කරන් කොක්ක ගහන්න බලන් ඉන්නකොට ඉස්සර අපේ අම්මා ටකස් ගාලා උණ රිකිල්ලක් කපලා හිටෝනවා. මෙන්න හවසට හිටෙව්වාම උදේට බලනකොට මෑ මල් හිනාවෙනවා. සතුටට. මෑ කියන්නේ එහෙව් වැලක්. එතෙන් බලන් ඉන්න වැලක්. වැල් ඉතිං එතෙන්නමයි හිත නෙහ්. ලාඩප්පා ගසක වෙලි මෑ ලතාවක මල් පරවී වැටුණේ නෑ කොහේද ඉඳලා ආපු කොන්ඩ කුරුළු ජෝඩුවක් ඕසෙට ජබුස් ජබුස් ගාලා ගිලලා දැම්මා මිසක්. කොන්ඩ කුරුළු රෑනක් ඒම ආවොත් මෑ මල් වලට සොරි තමයි. මල කඩලා මල තලලා කටේ ඔබාගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. රතු අමුඩ ලේන්සුවක් බැඳගෙන උදෙන්ම හේනට කොරටුවට එන මේ උන්දලා ඉතිං අපි මෑ මල් පූදිනකම් බලන් ඉන්නවා කියලා දන්නවෑ..

කොහොම වුණත් මේ මෑ මල නිසා කතාව කැලේ යන්නමයි හදන්නේ. මේකයි කතාව. අපි අද කතාකරන්නේ මෑ කරල ගැන. මෑ කරල් ගත්තාම පදුරු මෑ තියෙනවා. ඒවා ලතාවට නෙවෙයි පදුරට තමයි හැදෙන්නේ. මෑකරල් පොකුරු උඩට උස්සගෙන මෑ කොළ හිනාවෙනවා අනේ කඩන්න කඩන්න කියලා. නෝනා පලා ගන්නවද කියලා පාරේ එළෝළු විකුණන හාදයෝ මේවා දන්නේ නෑ.

 

ඊළඟට තියෙනවා හවරි මෑ. ඒක හවරියක් වගේ දියෑලි කොන්ඩයක් වගේ ලතාවෙන් පහළට කඩාගෙන වැටෙනවා. ඊළඟට තියෙනවා පොළගෙක් වගේ පොළොන් මෑ. දිගයි කබරයි රසයි. ඊළඟට තියෙනවා ඉතිං දම් රතට හුරි රත් මෑ. මේක තමයි මම නම් කන්න ආසම මෑ වර්ගය. මස එච්චර ඝනට නෑ. හැබැයි ඇට ටිකක් වැඩී. ඒවගේම රත දියවුණාම මාර රසයි. තව මෑ වර්ග තියේනම් පහළ ලියන්න. ඕවා තමයි මම දන්න මෑ.

මෑ කියන්නේ රනිල කුලයේ ලතාවක්. රනිල නිසාම තමයි මට අද මේක ලියන්න හිතුනේ. කාලයට දේශයට ගැළපෙනවානම් විතරයි දැන් දේවල් ලියන්නේ. ත්‍රස්ත පනතකුත් එන නිසා මෑ වැලක් වවාගෙන මෑ මලක් ආරක්ෂා කොරගෙන ඉන්න එක ඇගට ගුණයි.

ඉතිං මෙහෙම කොහොම හැදෙන සුළබ මෑ හදන ක්‍රම ගොඩයි. මම වැඩියෙන්ම ආස සුරුට්ටන් වෙන්න කුඩු සම්බල් ගානට බැදලා කන්න. ටිකක් කළු වුණාම මාර රසයි. අඩිය ඇල්ලුවොත් තවත් රසයි. මුලින්ම රතුළූණු සුදු ළූණු රට ළූණු රණ්වනට බැදලා ඒක උඩින් කරපුංචා වීසිකරලා ඒකත් චරස් වෙන්න බැදලා ඒකට උඩින් කෑලි මිරිස් ඕසෙට උම්බලකඩ දාලා පොඩි සීඹලා ඇටයක් මෑ අස්සේ හංඟලා හොඳටම සම්බල් වෙන්න බැදලා ගන්න. ආ පුලුවන් නම් බාන්න කලින් පොල් කිරි ක්‍රීම් සුට්ටක් උඩට දාලා එහෙක් මෙහෙක් කරන්න. ඊටපස්සේ කාලා බලන්නකො මෑ රස.. කිරි දාන්නේ නැතිව උනත් රසයි ඈ. ඕනී නම් උම්බල දාන්නේ නැතිව කරස් වෙන්න කොටු කපලා බැදගත්ත බලකරෝල ටිකක් දාන්න කොහොම බලන්නකෝ වැඩේ. සුදු බත ඒම මරන්න පුලුවන්. අබයගිරිය රුවන්වැලිය එක හුස්මට ගිලින්න පුලුවන් අම්මපා.

ඊළඟට ඉතිං ඔය පොළොන් මෑ අහුවුණොත් නිකන් ඉන්න එපා සුටු සුටුස් ගාලා අතින්ම කඩලා ඇතිලියක නිදිකරවලා ඒක උඩින් හොඳට මිටි කිරි දාලා මිරිස් තුනපහා ගානට තිතට පදමට දාලා කහා ගම්මිරිස් සුගක් එක්කාසු කරලා ඒක ඕසෙට කොසැට තලලා කොරලා දාලා උයන්නකෝ බලන්න. හොඳට කරපිංචා දාන්න ඕනී. ආ ගොරකා අත්තක් දාන්නත් අමතක කරන්න එපා. මේක හින්දන්න හැබැයි චුට්ටක් හොද්ද තියන්න. ඒක තමයි රසම. මේකටත් උම්බලකඩ රතූළූණු හොඳටම දාම්මානම් සොරි තමයි. පාන් කන්න කදිමයි ඈ. පාන් පෙති දෙකක් මැද්දට තියලා කාලා බලන්න කොහොමද කියලා.

ඊළඟට ඉතිං මෑ උයලා බලන්න කිරට උකුවට කිරි අලයා එක්ක කොහොමද කියලා. පදමට උකුවට ආවට පස්සේ රන්වනට තෙලේ බැදෙන ලොකු ළූණු රවුම් ටිකක් උඩට මේක හලලා හැදිගාලා කාලා බලන්න. ආ තෙල් තාච්චියට නවන්න කලින් තාච්චියට අබ පිච්චියක් දාලා පුපුරණකොට අබ උඩ හැන්ද තියලා පොඩ්ඩක් තද කරලා එහෙට්ට මෙහෙට්ට කරලා ඒක උඩට පොල් තෙල් දාන්න. මෙහෙම දානකොට මුඩු පොල් තෙල් දාලා මට බනින්න එපා. දානවානම් හොඳ සුදු පොල් තෙල් දාන්න ඈ. මේකත් ඉතිං රස මාළුවක් තමයි රෝස හාලේ වත් ලෝස් නැතිව ගිලින්න කියාපු හොද්දක් මේක.

ඊළඟට කියන්න අමතක උනානේ අර මුලින්ම කියපු විදිහට මෑකරල් තෙම්පරාදු කරගෙන ඒක උඩට ගල උඩ මාළුව නැත්තං රෝසපාට පොල් සම්බෝල ටිකක් දාලා තව චුට්ටක් බැදගන්න. වැඩිපුර කරපිංචා හලන්න. වැඩිපුර උම්බල හලන්න. රස ඉතිං කියලා නිම කරන්න බැරිවෙයි.

ඊළඟට ඉතිං ගෙදර කවුපි සුට්ටක් ඉතුරු වෙලා තියෙනවා නම් මයිසූරුත් චුට්ටක් තියේනම් වැටේ මෑත් බලන් ඉන්නවා නම් බලන් ඉන්න එපා හදන්න කලවන් මාළුවක්. මෑ කියන්නේ කලවන් වෙන්න බලන් ඉන්න එළවළුවක්. කොසැට ටිකක් තව මඤ්ඤොක්කා අලයක් තව කිරියලයක් අතට අහුවෙනවානම් දාන එකයි ඇත්තේ. දිය කිරට තියලා මිටි කිරි ටිකක් දැම්මනම් ගොඩ. ඒත් ඉතිං මමනම් ආස එක සැරේ මිටි කිරෙන්ම තම්බලා ගන්න. මම මේ පොල් කිරිවලට ඒ තරන් ආසයිනේ.

ගෙදර මෑ තිබුණොත් අහල පහළ වට්ටක්කා දළු දැක්කොත් අතාරින්න එපා දෙක මික්ස් කරලා කිරට උයන්න තෙල් දාන්න..

ඔය හවරියට කඩාගෙන වැටෙන මෑ තියෙනවා නෙහ්. ඕවෑ මස වැඩී. ඇටෙත් ලොකුයි. ඔය මිටියක් ගෙදරට ගෙනාපු වෙලාවක කූල් එකේ ඌරු ගාතයක් ඒම තිබුණොත් නිකං ඉන්න එපා. මම මේ කියන්නේ චීන ඌරා ගැන ඈ. නිකං ඉන්න එපා කලවම් කරලා මුහුකරලා කිරට උයාගෙන බලන්න. හැබැයි මෑකරලා ටිකක් දිග කෑලිවලට කඩාගන්න. කවදාවත් මෑ කපලා වධ දෙන්න යන්න එපා ඇගිල්ලෙන් ටකස් ගාලා කඩාගන්නයි තියෙන්නේ. අපි කතාවට කියන්නේ බෝංචි කඩනවා වගේ බොටුව කඩනවා කියලා. හරී.. බෝංචි වගේ තමයි මෑ. ඊටවඩා සියදාස් ගුණයක් රසයි හැබැයි.

මෙහෙම හදනකොට මිරිස් තුනපහා ගම්මිරිස් පදමට එක්කාසු කරගන්න ඕනී. පොල් කිරත් ඒමයි. ආ හොඳට සේර දාන්න. එතකොට රස වගේම පිස්සු හැදෙන සුවඳක් එනවා. මෙහෙම බැලුවාම මෑ කියන්නේ ලේසි නෑ. ඇත්තටම රසම රසයි. මේ වගේ තව ගොඩක් ක්‍රම වල මෑ හදනවා ඇති ඔයාලා ඒක මට සුවර්..!

Social Sharing
අවකාශය නවතම