පේරාදෙණියේ සිට: සනාථන මන්දිරය, වළ, හග් එක සහ තවත් දේවල්!

-ප්‍රියන්ත ෆොන්සේකා –

දැනට දින කීපෙකට කලින් පේරාදෙණියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වන සනාථන මන්දිරය නොහොත් ‘සෙනෙට් එක’ යටදී සිය පෙම්වතියව වැළඳ සමුගෙන, නැතහොත් ‘හග්’ එකක් දී නාට්‍ය පුහුණුවීමකට මහවැලි ගඟෙන් එහා ඉවුරේ පිහිටි ඉංජිනේරු පීඨය වෙත පිටත්ව යාමට සූදානම් වූ ලහිරු ප්‍රියංකර, එම ‘හග්’ එක නිසාම, විශ්වවිද්‍යාල ප්‍රධාන මාෂල්වරයා විසින් ප්‍රශ්න කරනු ලැබ, ඔහුගේ ශිෂ්‍ය හැඳුනුම්පත යනාදිය ලබා ගැනීම ෆේස්බුක් හරහා එක රැයින් ජනප්‍රිය වුණා. ඒ සිදුවීම වූ දිනයට පසුදාම, පේරාදෙණි ඉතිහාසයේ නොපැවතුණු විරෝධයක් ඒ ‘මාෂල් විරෝධයට’ එරෙහිව දක්වන්නට ලහිරුලා කටයුතු යොදා තිබුණා. ඒ අභිවහන කටයුත්තක්, නැතිනම්, Performance Art එකක් හැටියට ඒ අවකාශයේදීම බොහෝ පිරිසක් පැමිණ එකිනෙකා හග් කිරීම හරහා!! අනතුරුව ගීතාදිය ගයා ප්‍රේමයේ සහ ආදරයේ අගනා බව හැඟවීමත් එතැන සිද්ධ වුණු බව දැනගත්තා. (අවාසනාවට මට ඒ වැඩසටහනට සහභාගි වන්නට බැරි වුණා).

මේ සිදු වීමත් එක්ක විවිධාකාරයේ දේවල් සමාජ මාධ්‍ය හරහා මතු වුණා. ඇතමුන් ‘ඇද්ද තොපිට රැග් කර කර ඉඳල කරගත්ත දේ’ කියල බනිද්දි, තවත් අය සෙනෙට් එක වගේ තැන්වල රැකෙන්න අවශ්‍ය ‘සදාචාරය’ ගැන බණ කියන්න ගත්තා. බොහොම පිරිසක් ලහිරුට එරෙහිව මාෂල් පද්ධතිය කරපු අඳ බාල වැඩේ විවේචනය කළා.

දැනගන්නට ලැබුණු හැටියට ලහිරු ඇතුළු කණ්ඩායම සංවිධානය කරපු අභිවහන කටයුත්තට ආචාර්ය මහාචාර්යවරු පවා ඇවිත් තිබුණා. ඒක ඉතාම ප්‍රබල සංඥාවක් මාෂල් පද්ධතියට දෙන්නැති!

කොහොම වෙතත්, මේ සිද්ධිය සම්බන්ධ දේවල් හරහා නැගුණු කාරණා ගැන පොඩි අදහස් කිහිපයක් ලියන්න හිතුණා.

1. මේ සිදුවීම වගේම අතීත සිද්ධිත් එකට අරන් පේරාදෙණි සමස්ථ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම තනි කෝවකට දාන ගතියක් ඇතැම් තැන්වල මම දැක්කා. ඉතා දියුණු සටහන් ලියන අප මිත්‍ර සහන් කසීරගේ මේ පිළිබඳ සටහන පවා මේ ‘තනි කෝවක’ ලෑමෙන් පැත්තකට ගිහින් තිබුණේ නෑ. රැග් කරන සහ කරපු, කෞෂල්‍යා ප්‍රනාන්දුගෙ ‘දුටු තැන අල්ලනු’ නාට්‍යයට වළේ දි හූ කියල විරෝධය දක්වපු පිරිසක් තමයි මේ බොහොම රචනාවලට අනුව පේරාදෙණියෙ ශිෂ්‍ය ප්‍රජාව! එහෙම කට්ටියක් තමයි දැන් මේ සෙනෙට් එක යට ‘හග්’ පර්ෆෝම් කරන්නෙ… එහෙමයි කියවිලා තිබුණෙ.

නමුත්, ඇත්තටම රැග් එකට තියුණු විරෝධයක් දක්වන විවිධ පන්නයේ කණ්ඩායම් විශ්ව විද්‍යාලය තුළ ඉන්නවා. ඉහත සිදුවීමට මුල් වුණු ලහිරුත් එවැනි පිරිසක කෙනෙක්. ඒත් එක්කම මේ කණ්ඩායම්වල සාමාජිකත්වය ක්‍රමානුකූලව ඉහළ යනව මට පේනවා. මමත් නවක වදයට විරුද්ධ කෙනෙක් හැටියට පේරාදෙණියෙ උන්නු 98-2002 කාලෙ හිටපු සංඛ්‍යාවට සාපේක්ෂව ඒ ගණන ඉහළයි. නවක වදයේ ස්වරූපයත් කාලෙන් කාලෙට වෙනස් වෙන බව පේනවා. ඉතින්, මේ සියල්ලෝම, කාල අවකාශ අදහස් පැත්තක දාල, තනි කෝවක ලෑම විහිලු වැඩක්.

2. ‘දුටු තැන අල්ලනු’ කෞෂල්‍යා ප්‍රනාන්දුගෙ වැඩක් වෙලා, පිටතින් දක්ෂ කණ්ඩායමක් එක්ක පේරාදෙණියට ඇවිල්ල සිදු වුණු කණගාටුදායක සිද්ධිය කාලෙ මම පේරාදෙණි ප්‍රජාවෙ නැහැ. එය නොවිය යුතු දෙයක්. නමුත්, යළිත් කිව යුතු දෙයක් තමයි, ඒකත් එවැනි පන්නයේ පළමුවැන්න නොවන විත්තිය. මම කියන්නෙ අර ‘වළේදි හූවක් කෑවොත් නාට්‍යය නරකයි’ කියල පිළිගැනීමක් තිබුණ කියල කියැවෙන (මම දන්නෑ හරියටම ඒ අතීත කතා) කාලෙ ගැන නෙවෙයි. පේරාදෙණියෙම නාට්‍ය කණ්ඩායමක් හැටියට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කරපු ‘දෙයියෝ’ කෙටි නාට්‍යයට, පේරාදෙණි විශ්වවිද්‍යාල 2000 අවුරුද්දෙ කෙටි නාට්‍ය උළෙලෙ හොඳම නාට්‍යය වුණාටත් පස්සෙ, වළේදි ගල්මුල්වලින් පවා පහර දීලා, හූ කියල කඩාකප්පල් කළේ පේරාදෙණියෙම ශිෂ්‍ය ප්‍රජාවෙ අය. තර්කය වුණේ ‘අලයින්ට වළ තහනම්’ කියන එක! මමත් ඒ නාට්‍යයේ එදා රඟපෑවා. අපි නාට්‍ය අවසානය දක්වාම කළේ එකෙකු කියන දෙබසක්වත් අනෙකාට නොඇහෙන තරම් හූ සද්දයක් මැද්දෙ! ඊට අවුරුදු දෙක තුනකට පස්සෙත් ලලිත කලා අධ්‍යයනාංශය ගෙන ආපු විවිධ ප්‍රසංගයකට වළේදි ගැහුවෙ පේරාදෙණි ප්‍රජාවෙම කොටසක් තමයි. ඒත් තර්කය ‘අලයො රඟපාන එකක්’ වීම!

3. මේ කතා එතරම් ජනප්‍රිය නොවෙන්න හේතු මහ ගොඩක් තියෙනව. එකක් මේවා ‘අභ්‍යන්තර’ සිද්ධි වීම. අනික මේවා සිද්ධ වෙන්නෙ දශක දෙකකට විතර කලින්. 2016 වගේ සමාජ මාධ්‍ය එදා ක්‍රියාශීලී කලාපවල නැහැ. ‘දුටු තැන අල්ලනු’ බාහිරෙන් ආරාධනය ලබාගෙන ඇවිල්ල, විරෝධයට ලක්වෙන්නෙ නාට්‍යයේ තිබුණු ‘සිප ගැනීමේ දර්ශන’ වගේ දේවලට. ඒ වගේ දේවල් ‘වළේ’ ඔට්ටු නෑ කියපු ඔලමොට්ටල කතා නිසා තව දුරටත් මේ කතා පැතිරිලා ගියා.

4. මේ කතා හැම එකම තනි කෝවක තියල පේරාදෙණිය දිහා ඒකමානීයව බලන එකට මම විරුද්ධයි. සෙනෙට් එක යට ලහිරු ලා මුහුණ දෙන සිද්ධිය පන්නයේ සිද්ධි පේරාදෙණියෙ සිද්ධ වුණු ගමන් වහාම ‘රැග්’ සහ ‘දුටු තැන අල්ලනු’ කතාව සිහි කැඳවීම තේරුමක් නැති වැඩක්. පේරාදෙණියෙම ‘රැග්’ එක පිටු දැකීම සඳහා විශාල වෙහෙසකින් වැඩ කරන, ‘දුටු තැන අල්ලනු’ නාට්‍යය හමුවේ සිදු කරපු මරි මෝඩ වැඩේ පන්නයේ වැඩ ප්‍රතික්ෂේප කරන විශාල ශිෂ්‍ය හා ආචාර්ය මණ්ඩල ප්‍රජාවක් ඉන්නවා. ‘හග්’ පර්ෆෝමන්ස් එක මොහොතෙ එතනට ගොඩ වදින පිරිසෙත් එහෙම කණ්ඩායමක් තමයි ඉන්නෙ. එයාලා ‘හග්වලට ඉඩ දියව්!’ ‘වළේ අපි අනුමත කරන නාට්‍ය විතරක් පෙන්නපියව්’ ජාතියෙ විරෝධතා අරන් නෙවෙයි එන්නෙ. ඊට වඩා පුළුල් අදහස් ගොන්නක් එක්ක!

දැන්, මේ සේරම අවසානයෙ, ඔය හග් එක දැකල දුවගෙන ආව මාෂල් පද්ධතියටයි, අනිත් හැමෝටමයි මම වෙනත් දෙයක් දිහා බලන්න ආරාධනා කරනවා. අන්න ‘හග්’ කරන යුවළකගෙ අයිඩෙන්ටි ඉල්ලන අතරෙ තවත් ශිෂ්‍යාවක් දිවිනසාගෙන! එයා ඉංජිනේරු පීඨයෙ. හරියටම එක ළඟ දවසක් දෙකක් අතරෙ මේ දේවල් වුණේ. විශ්වවිද්‍යාලෙ මෙඩිකල් සෙන්ටර් එකෙන් කියනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් සැළකිය යුතු පිරිසක් එනවලු ‘කවුන්සලින්’ ගන්න. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරෙ ඩිප්‍රෙෂන් සහ ස්ට්‍රෙස් තියෙන අය හරියට. මහපොළ සහ ශිෂ්‍යාධාර නැතුව, බොහොම අඩු පහසුකම් මැද්දෙ, අධික ජීවන බර එක්ක එයාලා කොහොම ඉගෙන ගන්න ද?

මේ නිසා දන්න නොදන්න හැමෝටම උණුසුම් ‘හග්’ අවශ්‍ය වෙලාවක් මේක! අපි අපිට ඉන්න බව කියන්න, තනිවෙලා නැති බව කියන්න අවශ්‍යයි. අයිඩෙන්ටි ඉල්ලන එක පැත්තක තියල ඒක කරමු.

ආ…. ‘දුටු තැන අල්ලනු’ම කර තියාන යන්නත් එපා. ඒ සාකච්ඡාව වැදගත් තමයි. නමුත්, කෞෂල්‍යා ප්‍රනාන්දුත් ඒක පැත්තක තියල දැන් පේරාදෙණියෙම ආරාධිත කථිකාචාර්යවරියක් හැටියට වැඩ කරනවා. ඇයට අපේ නාට්‍ය හා රංගකලා පාඨමාලාවෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො හරිම ආදරෙයි!

 

Social Sharing
අවකාශය නවතම