ලියම්දෝ නොලියම්දෝ දෙම්දෝ නොදෙම්දෝ

සිකුරාදා උදේ මම නිදාගෙන සිටියෙමි .

“දැන්වත් නැගිටිනව හලෝ”බිරිඳ මට කීවාය .”අද මානිගෙ තීරැව ලියන්නත් තියෙනව නේද ?”

“අද මම ලියන්නෙ නෑ “මම කෙටියෙන් කියා සිටියෙමි .”මේ සුමානෙ මට ලියන්න දෙයක් නෑ ”

ඒ අසා බිරිඳ කෑගැසුවාය .

“බුදු අම්මෝ! මේ කතාව කාටවත් ඇහුණොත් එහෙම අපි ඉවරයි නේද ? “ඈ හඬ තැලුවාය.” මෙච්චර පිස්සු කෙළින ආණ්ඩුවක් තියෙද්දි ලියන්න දෙයක් නෑ කිව්වම රට්ටු මොනව නොහිතයිද ?මොනව නොකියයිද?”

“මට වැඩක් නෑ ඕයි එක එකා හිතන කියන මඟුල්වලින්”මම තදින් කියා සිටියෙමි .”හැමදාම මේ ආණ්ඩුවටම බැනලයි හිනාවෙලයි මට දැන් තිත්ත වෙලයි තියෙන්නෙ ”

මෙහිදී අපේ පුතාද කතාවට සම්බන්ධ විය .

“හරි,හරි අම්මෙ අපි තාත්තගෙ පැත්තෙනුත් ප්‍රශ්නෙ දිහා බලමු ” පුතා කියා සිටියේය . “තාත්තට ආණ්ඩුවට ගහල එපාවෙලා නම් මේ සුමානෙ සජිත් බබාට ගහන්න පුළුවන්නෙ ”

මට හිතේ කරදරය අමතක වී හයියෙන් හිනා ගියේය .

“අපරාදෙනෙ වචන පුතේ. තාම තාත්තගෙ නම නොකිය දේශපාලනේ කරන්න බැරි පොඩි එකෙකුට මං මොනව කියන්නද?” මම කීවෙමි. “හැබැයි මට ආසයි ජෙප්පොන්ට ගහල නම් මානිගෙ තීරැව ලියන්න ”

බිරිඳත් පුතාත් දෙදෙනාම ඔළුවට තඩි පොල්ලකින් පහර වැදුණාක් මෙන් පුටු උඩට කඩාගෙන වැටුණහ.

විනාඩි ගණනාවකට පසු වතුර වීදුරුවක් ද බිව් පුතාට කටහඬ පාදා ගත හැකි විය.

“වල්මත් වෙලා ඉන්න රටට මාලිමාවෙන්නෙ තාත්තෙ පාර හොයාගන්න තියෙන්නෙ “පුතා අසරණ හඬකින් කියා සිටියේය. “රට ගොඩගන්න තියෙන අන්තිම අවස්ථාවත් නැති කරන්න දායක වෙන දුෂ්ටයෙක් වෙන්න එපා තාත්තෙ”

බිරිඳගේ කටටද අවසානයේ පණ ආවේය .

“උන්ට රට ගොඩගන්න පුළුවන්ද නැද්ද කියල මං දන්නෙ නෑ, මට ඒකෙන් ඇති වැඩකුත් නෑ” බිරිඳ නොරිස්සුමෙන් කීවාය. “හැබැයි මං නොකිව්වයි කියන්න එපා තමුසෙ ඔය හදන්නෙ නයාට ගහල පොල්ල වරද්දගන්නයි ”

“අම්ම කියන කතාව ඇත්ත තාත්තෙ, ආණ්ඩු බලය ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කවදාවත් නැතුව තමන්ට ඇටෑක් කරාම ඒගොල්ලොන්ගෙ හිත් රිදෙයිනෙ තාත්තෙ “පුතා දුක්මුසුව කියා සිටියේය. “අනික ඒගොල්ලො යාළුවො හැටියට තියාගන්න මිසක් තරහකාරයො කරගන්න හොඳ කට්ටියක් නෙවෙයිනෙ තාත්තෙ ”

මට මේ කතාවලින් හොඳටම කේන්ති ගියේය.

“යකෝ අපි එතකොට බලේට ගේන්න හදන්නෙ විවේචනයක් ඉවසගන්නවත් බැරි එවුන් ටිකක්ද?” මම කෑගසා කීවෙමි. “ප්‍රජාතන්ත්‍රවාදියො කියන්නෙ නම් තමුන්ට ගහන ඒවයිනුත් විනෝද වෙන්න පුළුවන් විදිහෙ එවුන්ටනෙ. එතකොට අම්මයි පුතයි කියන්නෙ ජෙප්පො ප්‍රජාතන්ත්‍රවාදියො නෙවෙයි කියලද ”

පුතා වහාම කතාව වෙනත් මගකට යොමු කළේය.

“දැන් අවුරුදු හැත්තෑ පහක් මුන් දෙගොල්ලන්ටම දීල අන්තිමේදි අපිට මොකද වුණේ තාත්තෙ ? “ඔහු මගෙන් ඇසුවේය. ” ඒක නිසා අපි මාලිමාවටත් අවස්ථාවක් දීල බලන්න ඕන නේද තාත්තෙ ”

“අම්මපා ඔව් ” මමද පුතා සමග එකඟ වූයෙමි. “උන්ට සැරයක්වත් නොදුන්නොත් හැමදාම කණක් ඇහිල ඉන්න වෙන්නෙ නෑනෙ අපිට දුන්න නම් මේක ගොඩ දානව කියලම. දුන්නම උන් මේක ගොඩ දැම්මොත් කොහොමටත් ⁣ප්‍රශ්නයක් නෑනෙ, අනික ගොඩ නොදැම්මත් ප්‍රශ්නයක් නෑ, මොකද එතකොට ඒගොල්ලොයි,අරගොල්ලොයි,මේගොල්ලොයි ඔක්කොම එකයි කියල හිත හදාගෙන අපිට ජීවත් වෙතෑකිනෙ”

“ඒ වුණාට තාත්තෙ මාලිමාවට එක සැරයක් දීල ප්‍රශ්න විසඳයි කියල බලාපොරොත්තු වීම අසාධාරණයිනේද?” පුතා අහිංසක ලෙසින් කියා සිටියේය .”හරි නම් අපි ඒගොල්ලන්ටත් අවුරුදු හැත්තෑපහක් දෙන්න ඕන නේද ?”

-සුන්දර නිහතමානි ද මැල්-

Social Sharing
නවතම විශේෂාංග