සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!

 July 21, 2022

-කේ. සංජීව-

‘මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත් කිසිඳු පෙරදිග රටක් පිළිබඳව ඔවුන් එවැනි අපේක්ෂාවක් ඇතිකර ගත්තේ නැහැ. එහෙත් වර්තමානයේ අපට සිදු වී ඇත්තේ කුමක්ද? අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ. අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද? අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ. අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා. එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ’

75 වෙනි නිදහස් දවසේ, ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් 6012 කගෙන් සහ සන්නද්ධ රථ 320 කින් සරු වුණ නිදහස් සැමරුමකට පස්සේ, හවස් යාමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතලා කරපු කතාව ආරම්භ වෙන්නේ ඔන්නොම. ඔව් ඇත්තටම අපි මුල ඉඳලා වරද්දා ගත්තා. ඇත්තටම කවුද වැරැද්දුවේ? කවුද වරද්ද ගත්තේ? නිදහසින් පස්සේ විධායකයට පත් වුණ ( අගමැති හෝ ජනපති ) ඩීඑස් ගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ දක්වා හැවෝම (රනිල් සලකන්න බැහැ ඇත්තටම ඡන්දයකින් ආවේ නැති නිසා) ඡන්දයට ඉදිරිපත් වෙනකොට ජනතාවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය නැත්තං ඡන්දය ගන්න කළින් ජනතාව සමග එකඟවුණ සම්මුති ගතවුණ වැඩපිළිවෙල දිහා බැලුවොත් අපිට පේනවා, මේ නායකයෝ සේරම අඩු හෝ වැඩි වශයෙන් ජනතාව රවට්ටපු අය. ඒ එක්කම මේක දිහා බැලුවාම පේනවා මේ ඉතිහාසය අස්සේ හැමදාම ජනතාවට යහපත් බලාපොරොත්තු තිබුණා. කවුරුත් රට මෙවන් ආගාධයකට හෙළන්න ඡන්දය දුන්නේ නෑ. හැවෝම බලාපොරොත්තු වුණේ ස්විස්ටර්ලන්තය වගේ යුරෝපාකාරයේ දියුණුවක් තියෙන රටක්.. ඒක එහෙම නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අස්සේ ජනතාවද වැරදි පාලකයෝද වැරදි කියන දේ අපිට මේ කතාවත් එක්කම අහන්න වෙනවා. ලී ක්වාන් යූ සිංගප්පුරුවේ දේශපාලනය පටන් ගන්නකොට මොනාද ජනතාවට කීවේ? ඔහු සිංගප්පුරුවේ නායකයා වුණාට පස්සේ මොනාද කළේ? මේ දෙක අතර පරතරය කොහොමද? මේ කතාවම ලංකාවේ රාජ්‍ය නායකයන්ට සහ ඔවුන්ගේ චර්‍යාවන්වලට ආදේශ කරලා හිතමු.. මොකද්ද උත්තරය..

Prime Minister Ranil Wickremesinghe of Sri Lanka meets with Deputy Secretary of Defense Paul Wolfowitz in The Pentagon on 3 November 2003

රට එක්සත් කිරීම

‘නිදහස ලබාගැනීමේ දී ඩී.එස්. අනුගමනය කළ පිළිවෙත වුණේ ලංකාවාසී සියලුදෙනා එක්සත් කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කවරෙක් වුවත් ලාංකිකයන් ලෙස ඉදිරියට කටයුතු කළ යුතු බව ඔහු එදා කිව්වා. නමුත් නිදහසින් පස්සේ අපි බෙදුණා. ජාති, ආගම්, පළාත් වශයෙන් බෙදුණා. එකිනෙකා කෙරෙහි සැකය, වෛරය ඇතිවන තෙක්ම බෙදුණා. විවිධ කණ්ඩායම්, බලය ලබා ගැනීමට මේ බෙදීම පාවිච්චි කළා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා’

මේ ජාතිය ඇමතීමේ තවත් කොටසක්. නිදහසින් පස්සේ අපි බෙදුනා කීවාම කොහොමද අපි බෙඳුනේ? යාපනේ පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද? ඒකට සරු වටපිටාවක් හදපු දේශපාලනය මොකද්ද? ජනතාව බෙඳුනේ ඇයි? ජනතාව එක්සත් නොකළේ ඇයි? ඇයි එක්සත් බව කිසිම නායකයෙක්ගේ අභිලාෂය නොවුණේ. (මට හිතෙන්නේ චන්ද්‍රිකාට විතරයි එක්සත් බව පිළිබඳව යම් සාධනීය අදහසක් තිබුණේ)

‘දේශපාලනයේ දී ඇත්ත වෙනුවට බොරු කිව්වා. ඇත්ත කියූ දේශපාලනඥයන් ජනතාව ප්‍රතික්ෂේප කළා. රටේ සැබෑ තත්ත්වය පෙන්වා දෙමින් ඊට පිළියම් හොයන අයට තැනක් ලැබුණේ නැති තරම්. බොරුවෙන් හිත සතුටු කරන අයට වැඩි පිළිගැනීමක් ලැබුණා. අප පොරොන්දු දේශපාලනයක හිර වුණා. අපට අයිති නැති, ණයට ගත්තු සම්පත් මත යැපුණා. වැඩි වැඩියෙන් ණය ගත්තා. ආණ්ඩුව කියන්නේ සම්පත් උල්පතක්” කියන ආකල්පය අපි ඇතිකර ගත්තා. පාලකයන්ගේ යුතුකම ඒ උල්පතින් ලැබෙන විවිධ සම්පත් ජනතාවට බෙදාදීම කියලා බොහෝ දෙනෙක් හිතුවා. ඒ අනුව රැකියා බෙදා දුන්නා. සම්පත් බෙදා දුන්නා. උපකරණ බෙදා දුන්නා. මුදලුත් බෙදා දුන්නා. අපි වැඩි හරියක් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නෙවේ. අපි වෙනුවෙන් රස්සාවක් ගන්න, දරුවෙක් ඉස්කෝලෙට දාගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න අපි ඡන්දය දුන්නා. අපි ඡන්ද අපේක්ෂකයන්ට වැඩ කළේ පුද්ගලික වාසි බලාගෙන. අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවෙත් රට වෙනුවෙන් නෙවෙයි. අපි වෙනුවෙන්. බලය ලබා ගන්න. වරප්‍රසාද භුක්ති විඳින්න. වැඩිපුර ටිකක් හම්බ කරගන්න’

මේ ජාතිය ඇමතීමේ ඊළඟ කෑල්ල. මේ කෑල්ල ගැන කතා කරන්න කළින් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසය ටිකක් සොයලා බලමු.

Prime Minister Wickremasinghe with U.S. Secretary of State John Kerry, 2015

ඇත්ත වෙනුවට නැත්ත

රනිල් වික්‍රමසිංහ මේ රටේ මුලින්ම අග්‍රාමාත්‍ය වෙන්නේ 1993 අවුරුද්දේ. ඒ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීමත් සමග. එවර 1994 වෙනකම් අවුරුද්දක් ඔහු අගමැති. ඊළඟට පිළිවෙලින් 2001 ඉඳලා 2004, 2015 ඉඳලා 2018, 2018 ඉඳලා 2019 සහා අන්තිමට 2022 ඔහු අගමැති වෙලා ඊළඟට ජනාධිපති වෙනවා. මෙහෙම බැලුවාම ලංකාවේ වැඩිම වාර ගණනක් අගමැති විදිහට පත් වුණේ ඔහු. මේ කාල අවකාශයන් දිහා බැලුවොත් රනිල් වික්‍රමසිංහ දේශපාලකයෙක් විඳිහට ජනතාව අතර ගොඩනඟාගෙන තිබුණ ඉමේජ් එකට අනුව ඔහු වැඩකළා කියලා හිතන්න පුලුවන් හොඳම කාලය තමයි 2001-2004 කාලය. මේ කාලේ විධායකය චන්ද්‍රිකා කුමාරතුංග. හැබැයි මේ කෙටි කාලාවකාශයේ රනිල් වික්‍රමසිංහ විධායකය විදිහට තමයි වැඩ කළේ (ඒ ආණ්ඩුව බිඳ වැටෙන්නත් ඒක හේතුවක් වුණා). මේ කාලාවකාශයේ ඔහු රට ගැන හිතලා රටේ ඉදිරිය ගැන හිතලා ගොඩක් හොඳ තීන්දු තීරණ ටිකක් ගත්තා. මට හිතෙන විඳිහට හොඳම දේ තමයි රාජ්‍ය සේවකයෝ අලුතින් බඳවා නොගැනීම. හැබැයි ඔහු මේ 2001-2004 වැඩපිළිවෙල 2015 අග්‍රාමාත්‍යවරයා වුණාට පස්සේ අමතක කරනවා. 2004 අවුරුද්දේ නවත්තපු තැන ඔහුට අමතක වෙනවා. ඊටපස්සේ රස්සා දෙනවා. රාජ්‍ය සේවක පඩිය දෙගුණෙකින් විතර වැඩි කරනවා. මේවගේ ගොඩක් දේවල් වෙනවා. කාටහරි කියන්න පුලුවන් 2001- 2004 වගේ බලයක් තිබුණේ නෑ කියලා. මම නම් ඒකට එකඟ නෑ. මම කියන්නේ ඊටත් වඩා බලයක් ඔහුට තිබුණා. චන්ද්‍රිකා වගේ දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි මෛත්‍රීපාල කියන්නේ, වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඔහු මෝඩයෙක් විදිහට තමයි හැසිරුණේ. ඒ ආතතිය රනිල් වික්‍රමසිංහට විශාල බලයක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි 19 වැනි ව්‍යවස්ථාව හරහා ඔහුට ව්‍යවස්ථාමය බලයකුත් හදලා දීලයි තිබුණේ. ඇත්තටම කියනවා නම් 19 වැනි ව්‍යවස්ථාව විධායකයට සාපේක්ෂව සමාන තවත් බල කේන්ද්‍රයක් හදලා ඒ බලය රනිල්ට දීලයි තිබුණේ. ඒ බලය අස්සේ තමයි අර්ජුන් මහේන්ද්‍රන් වගේ අය පත් වෙන්නේ. පත් වෙනවා විතරක් නෙවෙයි පත් වෙලා අන්ත දූෂිත විඳිහට වැඩ කරන ගමන් තනතුරත් රැකගන්නේ. ඒ නිසා ඔහුට හොඳටම අවස්ථාව තිබුණා අවශ්‍ය නම් 2004 නවත්තපු තැනින් පටන් ගන්න. ඒත් ඒක එහෙම වුණේ නෑ. ඔහු 2015 පටන් ගත්තේ අති සාම්ප්‍රධායික මහින්දමය දේශපාලන මොහොතක් නිර්මානය කරගනිමින්. පාස්කු ප්‍රහාරය බැඳුම්කර වංචාව වගේ බොහෝ දේවල්වලට ඔහුගේ මේ දේශපාලන චර්‍යාව හේතුව උනා. ඇත්තටම තමන් යහපාලන කාලේ හැසිරුණ විඳිහ ඔහු මේ ජාතිය ඇමතීමේ කතාව අස්සේ වචනවලට පෙරළනවා. අපිට තියෙන්නේ මේ යට මම උපුටන කොටසේ තියෙන ‘අපි’ කියන කෑල්ලට මම කියන කෑල්ල දමාගන්න විතරයි.

‘අපි පොරොන්දුවලට කොටු වුණා. සටන් පාඨවලට හිර වුණා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්න පටන් ගත්තා. අපි දේශපාලන පොරොන්දු ඉටු කිරීම සඳහාත් සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගත්තා. අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නෙවේ. නමුත් බුදුන් වදාළේ “ණය ගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නෙවෙයි” කියලයි. අපි බෞද්ධකම ගැන කතා කරන ගමන්, බුදුන් වදාළ ධර්මයට පිටින් ගියා. සිංගප්පුරුව ගොඩගන්න හැටි ඉගෙන ගන්න ලංකාවට ආපු ලී ක්වාන් යූ අවුරුදු ගණනකට පසුව මෙන්න මෙහෙම කියනවා. “ඔබේ රටට මේ තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ලෙස දේශපාලනයට මුල් තැන දීම නිසයි. ඔබේ රට ආදර්ශයට ගත්තා නම් අද සිංගප්පූරුවත් විනාශයි”…’

හරි අපි හිතමු ඔහු මේ කරන්නේ ස්ව විවේචනයක් කියලා. ඔව් ඇත්තටම ඔහු මෙදානම් රට ගොඩගන්න තමයි මේ හදන්නේ කියලා අපි මොහොතකට හිතමු. ඔහු තමන් ළඟ තියෙන ඒ අභිලාශය මෙහෙම ප්‍රකාශ කරනවා. මේකත් කියවන්න

Prime Minister Ranil Wickremesinghe with Indian Prime Minister Narendra Modi, 2015

මේක ස්ව – විවේචනයක් ද?

‘ඇත්තටම අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු. ඒක අමාරුයි. වේදනාකාරියි. දුෂ්කරයි. නමුත් ඒ දුක, වේදනාව කෙටි කාලයකට වින්ඳොත් අපට තුවාලය නිට්ටාවටම සනීප කර ගන්න පුළුවන්. සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපට ගොඩඑන්න බැහැ. මේ අර්බුදය ජය ගෙන සැබෑ ආර්ථික හා සමාජයීය නිදහසක් ලබා ගන්න නම් අපට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරා වළෙන් ගොඩඑන්න අපට තියෙන්නේ එකම එක ඉණිමඟයි. මතක තියා ගන්න, දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉණිමඟ ඇදලා පැත්තකට දැම්මොත් අපට රටක් නැ. අපට හෙටක් නැ. අප අද පත්ව තිබෙන ආර්ථික අර්බුදයේ බරපතලකම සහ අනතුර ගැන මම මීට කලින් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. මේ අවුරුද්දේ මුල් මාස හයක පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල් ඇතිවම කිව්වා. මේ දුෂ්කර තත්ත්වයට අකැමත්තෙන් වුණත් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රට වෙනුවෙන් ඒ දුෂ්කර තත්ත්වය විඳ ගන්න අපට සිද්ධ වෙනවා. දේශපාලන සීනිබෝල කතාවලින් මේ තත්ත්වයට විසඳුමක් ලැබෙන්නේ නෑ’

දැන් බලන්න මේ කෑල්ල කොච්චර ලස්සන කතාවක් ද? ඇත්තටම රනිල් වික්‍රමසිංහට ආදරේ කරන්න හිතෙන කෑල්ලක් මේක. ඉතිං ඇත්තටම මේ මනුස්සයා තිත්ත කසාය දෙන්න ලැස්තියිද? අනෙක් පැත්තෙන් ජනතාවට තිත්ත කසාය දෙන ගමන් තමන් ඇතුලු දේශපාලකයන්ටත් තිත්ත කසාය පොවන්න සූදානම් ද? මෑතක මහනුවර රජගෙදර අක්තපත්‍ර ප්‍රදානය කරපු උත්සවයෙන් පෙන්නුවේ මේ තිත්ත කසාය අභිලාෂයද? අත්‍යාලංකාර නිදහස් සැමරුමෙන් පෙන්නුවේ මේ තිත්ත කසාය අභිලාෂයද ? ඊටත් එහාට ගිහිං අයවැයෙන් යෝජනා කරපු රාජ්‍ය ආදායම ඉහළ දමාගැනීමේ ක්‍රියාමාර්ග වලින් බදු ගහනවා ඇරෙන්න තව මොනවාද ක්‍රියාත්මක කරලා තිබෙන්නේ? ඇත්තටම IMF එක සමඟ යන වැඩපිළිවෙල ගැන ඔය තිත්ත කසාය තියරියෙන් බැලුවොත් දැනට තිබෙන වර්ධනය ගැන සතුටු වෙන්න පුලුවන්ද? රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නැතුව රෝගීන් මැරෙන එකත් තිත්තකසාය විසඳුමේම කොටසක්ද? අනෙක් පැත්තෙන් ඔය උඩ කියන විදිහට ගොඩඑන්න නම් නීතියේ පාලනය ස්ථාපනය කරන්න අවශ්‍ය නැද්ද? ඒ සඳහා ලසන්ත වික්‍රමතුංග වගේ අයට යුක්තිය ඉටුවෙන්න අවශ්‍ය නැද්ද? ඒ ක්‍රියාවලිය තිත්ත කසාය ක්‍රමයට අන්තර්ගත නැද්ද? බැඳුම්කර වංචාවේ ඉඳලා සීනී බදු වංචාව පොල් තෙල් වංචාව වගේ දේවල්වලට නීතිය ක්‍රියාත්මක කිරීම ඔය කියන තිත්ත කසාය තියරිය තුළට අන්තර්ගත නැද්ද? 13+ හරහා උපරීම බලය බෙදීමකට කතා කරන ඔබට හිතෙන්නේ නැද්ද සත්‍ය, යුක්තිය සහ වඟවීමේ ක්‍රියාවලියකින් තොරව උතුර දකුණට එකතු කරන්න බැරි බව. යුධ අපරාධවලට යුක්තිය සහ සාධාරණය නොදී සංහිඳියාව සාමය ජාතික එකඟතා රාජ්‍යයක් හදන්න පුලුවන්ද? ඒක මේ කියන වේදනාවේ සැත්කම් ක්‍රියාවලියට අන්තර්ගත නැද්ද? පාස්කු ප්‍රහාරය සිද්ධවුණේ කොහොමද කියන දේ දැනගැනීම මේ සමාජයට වැදගත් නැද්ද? ඒක වහලා තිත්තකසාය දුන්නා කියලා 2048දී සුවිස් සිහිනය යථාර්ථයක් කරගන්න පුලුවන්ද?

ඔහු තම කතාවේ එක තැනක මෙහෙම කියනවා – ‘මා උත්සාහ ගන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්න නෙවෙයි. රෝග නිධානයට පිළියම් කිරීමටයි. එය අසීරුයි. දුෂ්කරයි. නමුත් අප යා යුතු එකම මාර්ගය එයයි’

වචන සුන්දරයි. ඊට යටින් තියෙන අර්ථ අති සුන්දරයි. ඒත් මේ වචන කතා කළාට වැඩක් නෑ. මේවා ක්‍රියාත්මක බව ජනතාවට පේන්න ඕනී. යුක්තිය දෙනවා කීවට වැඩක් නෑ. ඒ සඳහා ක්‍රියාවලිය පැහැදිලිව ජනතාවට පේන්න ඕනෑ. ඒනිසා ජාතිය ඇමතුවාට වැඩක් නෑ අමතලා කියන දේවල් කෙරෙන බව ද පෙන්වන්න ඕනී. දැනට නම් පේන්නේ කියුම් සහ කෙරුම් අතරේ විශාල පරතරයක් තිබෙන බව..!

Social Sharing
නවතම විශේෂාංග