– චූලානන්ද සමරණායක –
ඔබ දුරු පෙදෙසක සිටියි. ඒ පාළුව, හුදෙකලාව යන්න හොඳින්ම වැටහෙන සමයකි. ඔබ සිත දුවන්නේම කිසියම් සමීප ඇසුරක් සොයමිනි. එවන් විටෙක දකින තමන්ට හුරු තණ පතක් වුව ගෙන එන්නේ ඉමහත් සැනසුමකි. මගේ මිතුරෙකු මෑතකදී පැවසුවේ තමන්ට දුරු රටකදී හමුවුන මිතුරෙකු- ඔහු ඒ රටෙහි කතක සමග විවාපත්ව සිටී- තමන් ගෙන ගිය බෑගය පවා සිඹිමින් ලංකාවේ සුවඳ හෙවූ බවකි. මෙසේ තම බිමෙන් දුර සිටින විට දැනෙන හැඟීම් ගැන වරෙක ආරියවංශ රණවීරයන් ලියා තිබිණි. යළි අපට ඒ අත්දැකීම හමුවනුයේ ලක්ශාන්ත අතුකෝරළගේ නව කවි එකතුවෙනි. පරණ පොත් අරණ යනු ඒ හැඟුම් සමුදායට තටු දෙනු ලබනා මොහොතයි. රණවීර දුරු රටකදී සහනය ලබන්නේ බංකුව අසල හිඳිනා කුකුරුවකු දැකීමෙනි. ලක්ශාන්ත ඉන් වෙනස් ය. ඔහු යන්නේ පොත් හලකටය. එද පැරණි පොත් හලකි. ඔහු එයට තබනා නමම එහිදී තමන් ලද සහනය හෙලි කරන්නකි. අරණ. සැබැවින්ම ඊට අරණ යන්නටත් වඩා ගැලපෙන තවත් යෙදුමක් තිබේද?
ලක්ශාන්ත යනු ලංකාවේ සිටින දක්ෂතම වදන් පෑස්සුම්කරුවන් දෙදෙනාගෙන් එකෙකි. අනෙකා කුමාර හෙට්ටිආරච්චිය. ලක්ශාන්ත මේ පෑස්සුම් ශිල්පයෙහි සුරුවෙකු වන්නේ තම පෑස්සුම් හරහා නිපදවනු ලබනා අරුත්නිපදවන යෙදුම් මගින් සිය කවියෙහි අර්ථ රසය මෙන්ම ඉන් දනවන සියුම් හැඟුම්ද වඩාත් ඉහල තලයකට ගෙන යන බැවිනි. සැබැවින්ම ඔහුගේ යෙදුම් කදිමය. ඔහු පොත් හලට යන්නේ හිත බැඳගත් අබිසරුලිය හමුවට යන සළෙලකු මෙනි. මේ පොත් පිස්සන්ටම මනාව වටහාගත හැකි යෙදුමකි. ඒ සොයනුයේ උණුසුමය, සහනය ය, ඇසුරය, හුදෙකලාවෙන් මිදුමය. එහෙත් ලක්ශාන්ත පොත් හලට වැදීමෙන් සිය කවිය නතර නොකරයි. එයද ඔහුට සෙවුමකි. ඔහු මේ පොත් අතපතගානා මොහොතේ ඒ හරහා දිගු ගමනක යෙදෙයි. එය ලේඛකයා පාඨකයා මෙන්ම ඔවුන්ගේ ලෝකයන් කෙරෙහිද වන විමසුමකි.
ලක්ශාන්ත කවි පොතට දෙන නමටම ගැලපෙන අයුරින් මෙවර මිනිස් හැඟුම් ස්පර්ශ කරන්නට නෙක උත්සාහයන් දරයි. ඒ හරහා පාඨකයාට මිනිස් හැඟුම් හී මනහාරීත්වය, සංකීර්ණත්වය, එහි විවිධත්වය, ආදී එකිනෙකට වෙනස් එළඹුම් සමීප කරවන්නට උත්සාහ කරයි. ඔහු මේ හැඟුම් වලට විවරණ සපයනුයේ මෙලෙසිනි.
හැඟුම් ගඟම මල් මිදුලකි
විහිදෙන ආලෝක බසකි කෙළි මඩලකි
ඇතැම් දිනක බොර වතුරකි
පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි
තව ගංගා තනනු පිණිස
කඳු මුදුනට යන කතිරණක
දිය දෙබිඳක් මිට මොළවන සඳමඩලකි
මතු ලෝ දා සත්තාවේ
මිනිස් වේදනා දියඹට
මහා හැඟුම් සමුදුයට
මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි
ඉදින් වෙන විස්තර කුමටද? ලක්ශාන්ත තමන්ගේ පරිකල්පනය සහ භාෂාව සමග වන අනවරත පොර බැදුම හරහා කවියෙහි තවත් පියවර ගණනාවක් ඉදිරියට තබයි.
ලක්ශාන්තගේ හැඟුම් යනු හුදු පෞද්ගලික සන්තුෂ්ඨිය වෙනුවෙන්ම දනවනු ලබන්නක් නොවේ. විටෙක ඔහු සිය හැඟුම් දහරාවන් හරහා ජීවිතයේ ඇතැම් ඛේදනීය නිමේෂයන් මතුකරලන්නට තැත් දරයි. ඒ තැත යනු මිනිස්වගට පෙම් කරන, මිනිස් දිවියෙහි අගය ගැන සංවේදී නිර්මාණකරුවෙකුගේ සියුම් එළඹුමකි. ඉවුර ගාව නම් කවෙහිදී ඔහු නදී තෙරකදී ඉපදෙන හැඟුම් විමසුමට ලක් කරයි. ඔහු මේ දකින නදිය රැයෙහි සඳ එලියෙන් චමත්කාරය දනවන නදියක් නොවේ එය බෙහෙවින් රුදුය, අපුලය, කටුකය.
කහ උණ පඳුර
කහින කහ හඳ
හැම තැනම බිම
හඳේ කහපාට වමනය
මේ කවියන්ට නිතර හමුවන සිනිඳු සුදු මුදු වැලි තලාවන් ඇති, ස්වර්ණ වර්ණ දිය දහරින් පිරි නදිය නොවේ. එය අපුලය. ඒ අපුල ඔහුට දනවනුයේ ජීවිතය වෙනුවට මරණයට උපකාරී වුන දිය දහරක තානය විසින.
නොසතුටින් මැරුණ
නාඳුනන පෙම්වතුන්
ලංකාව යනු දූපතකි. ඒ අප සැමදා පළමුවෙන්ම කියනා වදන්ය. එහෙත් අද ඒ දූපත යනු මිහිපිට නරකාදියක් බවට පත් කරන ලද්දකි. අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරක්ව ගෙල සිර කර මරා දමන ලද රටක ජීවිතය යනු වධයකි. ලක්ශාන්ත මෙ රටෙහි නවිදහස් යයි කියනා බිම් කඩක් වෙත ඇදෙයි. එය පසුගිය සමයේ ලංකාවේ ඉතිහාසය වෙනස් කළ බිම් කඩකි. ඔහු මේ කිසිත් නොකියයි. ඔහු කෙලින්ම ගොල්ෆේස් පිටියට ඇතුළු වෙයි. ඒ පිවිසුමද ඉතිහාසයෙහි පරිච්ඡේද කිහිපයක් හරහා ගමනකි.
ඩී එස් සහ එස් ඩබ්ලිව් පසුකරගෙන
ඇවිත් දුටුවෙ අලුත් ගෝල්ෆේස් පිටිය
ඩී එස් සහ එස් ඩබ්ලිව් පසුකරගෙන පැමිණීම- මේ අපේ දේශපාලන ඉතිහාසයේ කොටසක් ව්‍යංගාර්ථයෙන් කියවීමකි. අද ගෝල්ෆේස් යනු වෙනම කලාපයකි. එහි ඉතිහාසය ලියවෙනුයේ වෙනම ආකාරයකටය. ලක්ශාන්ත ඒ කරා පිවිසෙනුයේ කදිම ආකාරයකටය.
ඉස්සර මෙන් ඒ මුහුදේ ගී අහන්න
ගෝල්ෆේස් සිතුවිලි වා තලය මැදින්
ආවෙ මකර පුරෙන් මිදුණු
පටු ගල් බැමි තීරුවකට
මකර පුරෙන් මිදුණු- ඇත්ත අද අපි මකර පුරයක ගිනි පිඹුම් මැද ය. ඉදින් මේ සමුදුරේ කඳුළයි.
මට නංවන්නට බැරිවූ රළ නැගුමක්
මගෙ දූවක වැනි දූවක පසෙන් නැගෙන
අරුමැසි වඩබා ගින්නක්
දැක ගන්නට ආසයි මට
ලක්ශාන්ත මේ හැඟුම් දහරාවන් මැද ජීවිතයෙහි අර්ථය සියුම් ලෙස ලෙහන්නට තැත් දරයි. එය අත්මාවබෝධය හරහා සමාජාවබෝධය සොයා යාමකි. ජීවිතය මත එල්ලනෙ නෙක ලේබල්, නාමකරණ, ආදී අටෝරාශියක් දේ ඉවත ලා ඔහු ජීවිතය දකින්නට කවුළුවක් තනයි. එය අඳුර තුළින් වන ගමනකි. මලගිය දේශයක් මැදින් වන ගමනකි. තමන්ව සොයා යන ගමනකි.
සාදාබරණ විනෝදෑඟලුම් මුදවා
තනිකමාත්ම නිරුවතින් ඇවිද්දෙමු මෙපෙත් මග
බලා සිටිනා විට දහසැස් හකුළා
දෙස්පාලනාතුර ගනඳුර
මේ කෝවිඩ් ඇතුළු දහසක් අතවරයන්ගෙන් පීඩා විඳිනා කොදෙවුවයි. කවියා ඒ කොදෙවුවේ ජීවිතය කණියි.
මිදී සුවාඩම්බරයෙන්
ටයිපටි ඔප පාවහනාදි කොපුවෙන්
දළඹු කෝෂවලින් නික්මෙන සමනලුන් මෙන්
ගියෙමු සහල් අල ලූනු බෙහෙතාදිය රැගෙන
දිය කර කර දෙමින් හැකි පමණ විසිතුර
මේ අප අඳුර තුළ තවත් අඳුරටම ගිලි මොහොතයි. එහෙත් ලක්ශාන්ත ඒ අඳුර ඉවහල් කරගනුයේ ආලෝකය පාදා ගැනීමටය. කවියා ගැඹුරු දාර්ශණිකයෙකු බවට පත්වන මොහොත එළඹෙනුයේ එවිටය.
අම්මේ මම මැරුවෙමි මිනිසෙකු
ස්වාර්ථකාමී මිනිසා මා තුළ
වීසි කළෙමි මළකුණ
ජීවිතය ඇරඹුණා මෙන් විය
ලක්ශාන්තගේ කවිය යනු එකවර සාමූහිකව කියවමින් බෙදා ගන්නා අතරම හුදෙකලාවේ යළිදු කියවමින් අරුත් පාදා ගැනීමට මග සලසන අපූර්ව මැදිහත්වීමකි. කඳුළු වැටුණ මල් නම් පළමු කවෙන් අරඹා ඔහු මෙතෙක් ආ ගමන් මග විමසන විට අපට දන්ට ලැබෙනුයේ පියෙන් පිය තම කවිය රැගෙන ඉහගට ඇදෙනා සන්සුන් කවියෙකි. හිටි ගමන් සන්සුන් පියවරින් එන ඔහු කවි මිටක් ඉස යළි සැඟව යයි. ඒ මිටෙන් නෙක අතු ඉති ලා වැඩෙන තුරු ලතාවන්හී රිද්මය, මිමිණුම, අලංකාරය විඳුම පාඨකයාගේ කාරියකි.
මේ ලක්ශාන්ත ය.
උපතින් මේ ජීවිතයට ඈඳූ ආගම
පවුරුලු මෙන් ඉස්කෝලෙන් එල්ලූ ලබ්ධිය
ලිහා තබා අමු මිනිසෙකු ලෙස පිවිසෙමි
දකින දකින පන්සල් දෙව් මැදුරු දෙවොල් කෝවිල් වෙතමහ පුදුමෙකි
ඒ හැම තැන සීනු හඩකි
ඉදින් ඔබ විඳ බලන්න හැඟුම් ගඟුල.
උපුටාගැනීම : ෆේස්බුක්