පව 

The Sin – painting by Heinrich Lossow

මේ සිතුවම අඳින්නෙ 1880 වර්ෂයේ ජර්මන් (ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හයින්රිච් ලෝසෝ විසින්.
හයින්රිච් අති දක්ශයෙක්. ඒ වගේම ආගමික අදහස් වලින් යටවුනු සමාජය හා දේශපාලනය තදින් විවේචනය කරපු ආන්දෝලානාතමක වගේම බය නැති චිත්‍ර ශිල්පියෙක්. එයා ඉපදෙන්නෙ 1843 මාර්තු මාසෙදි මියුනිච් නගරයේ. මේ සිතුවම ගැන කතා කරන්න ප්‍රවේශයක් ගන්න එක ලේසි නෑ. එක අතකින් මේ ආගමක් තදින් විවේචනය කිරීමක්.. අනිත් අතින් ලාංකීය සමාජයේ තවමත් ටැබූ එකක් විදිහට සැලකෙන ලිංගිකත්වය ප්‍රදර්ශනය කිරීමක්.

ඇයි ලාංකීය සමාජය මේ තරම් ලිංගිකත්වයට බියක් දක්වන්නෙ.? ඇයි කොට ඇඳුමක් ඇඳගත් ඇඟට හිරවෙන ඇඳුමක් ඇඳගත් කාන්තාවන්ට අපහාස කරන්නෙ. ? ඇයි මේ තරම් ගතානුගතික වෙන්නේ? එහෙමත් නැත්තං ලිංගිකත්වය ගැන අඳුරේ කතාබහ කරන්නෙ.?

ඒකට හේතුව අපේ සංස්කෘතිය, ඔබ කියාවි. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තවමත් හොල්මන් කරන වික්ටෝරියානු ඇන්ග්ලිකන් සංස්කෘතිය බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඇයි වික්ටෝරියා රැජින හා එයාගෙ අනුගාමික ඉංග්‍රීසි සංස්කෘතිය ආගම හරහා මිනිසුන්ව සීමා කරන්නෙ.?
ඒකට හේතුවෙන කරුණු අපි මේ සිතුවම හරහා පොඩ්ඩක් කතාබහ කරමු.

මේ සිතුවමේ නම පව විදිහට වගේම, චෙස්ට්නට් මංගල්‍යය( The Chestnut Feast) විදිහටත් හැඳින්වෙනවා. මේකට මූලික වෙන්නෙ 1501 අවුරුද්දෙ ඔක්තෝබර් 30 වෙනිදා රෝමයේ (වතිකානුවේ) පාප්තුමාගේ මාළිගාවේ පවත්වන්නට යෙදුනු උත්සවයක්. උත්සවයක් කීවට ඒක ආහාර පාන, ඉහල වර්ගයේ මත්පැන්, නැටුම් ගැයුම් වලින් ආරම්භ වෙලා සමූහ ලිංගික සම්භන්ධතා දක්වා දිග්ගැස්සෙන, ඒ කාලයේ බොහොම ප්‍රසිද්ධ උත්සවයක්.

මේ උත්සවය සංවිධානය කරන්නෙ රෝමයේ සිසාර් විදිහට ඒ කාලයේ නායකත්වය දරන සිසාර් බෝර්ජියා විසින් ( Cesare Borgia 1475 – 1507). මේ උත්සවය පැවැත්වෙන්නෙ වතිකානු ඇපොස්තොලික් මාළිගාවේ. ඒකට හේතුවෙන්නේ සිසාර්ගෙ තාත්තා ඒ කාලයේ කතෝලික සභාවේ පාප් වහන්සේ වීම.(Pope Alexander VI – 1431 -1503).

හයවෙනි ඇලෙක්සැන්දර් පාප් වහන්සේට දරුවන් පස් දෙනෙක් ඉන්නවා, නිළ නොවන මට්ටමින් තවත් දහ දෙනෙක් වත් ඉන්නවා. පාප් වහන්සේට කොහොමද දරුවො ඉන්නෙ ඔබ අහන්න පුළුවන්. අපි මේ කතා කරන කාලයේ රෝමයේ කතෝලික සභාව ඉතාම බලවත්. පාප් වහන්සේට බිරිඳක් හා දරුවන් සිටීම සාමාන්‍ය පිළිගත් චාරිත්‍රයක්. ඊට අමතරව පෙම්වතුන් හා පෙම්වතියන් සිටින.. පාප් වහන්සේලා ඉතාම සුලභයි. රෝම අධිරාජ්‍ය ගැන කතා කරද්දි අපි සාකච්ඡා කළා කොයිතරම් දුරකට ලිංගිකත්වය හා උත්සව රෝමවරු ඉහළින් පිළිගත්තද කියලා. ජෙරුසලමේ බිහිවුනු යේසුස් නම් දාර්ශණිකයාගෙ ඉගැන්වීම් රෝමයට අරගෙන ඇවිත් කතෝලික ආගම බිහිකරත් රෝමවරුන්ට හැකියාවක් නෑ ඒ අයගේ පුරුදු විනෝදයෙන් මිදෙන්න.

මෙන්න මේ ආකාරයට තමයි රෝමය, වතිකානුව, කතෝලික පූජකවරුන්, පාප්වහන්සේ හැමදෙනාම උත්සව වලට ඉතාම ප්‍රිය කරන්නේ. පාප් වහන්සේගේ පවුල යුරෝපය පාලනය කරනවා. දැඩි ආගමික නීති රීති…. බදු පැනවීම්.. දඬුවම් කිරීම් ආදිය මගින්. ( ප්‍රොතෙස්තන්ත ආගම බිහිවෙන්නෙ මෙන්න මේ පරිසරය තුළ).

පාප් වහන්සේගේ පුත්‍රයා හෝ සහෝදරයා සිසාර් බවට පත්වෙද්දි ඔහුගේ ඥාතීන් යුරෝපය පුරාම දේශපාලනයට සම්භන්ධ වෙනවා. ආගමත් දේශපාලනයත් එකක් කරගත් බෝර්ජියාවරු ඉතාම විනෝදශිලී ජීවිතයක් ගත කරන්නේ යුරෝපීයයන් බදු බරින් මිරිකෙද්දියි. මේ උත්සවවලට රජ පවුල්වල සාමාජිකයන්.. දේශපාලකයන්… කලාකරුවන්… සාහිත්‍යවේදීන් වගේම ප්‍රසිද්ධ හා පිළිගත් තලයේ ඉන්න හැමෝටම ආරාධනා කිරීම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්.

මේ සිතුවමට චෙස්ට්නට් මංගල්‍යය කියන්නෙ ඇයි.?

ඒකට හේතුව ආහාර පාන වලින් සප්පායම් වුනාට පස්සෙ තරුණ පූජකවරයෙක් විසින් බැදපු චෙස්ට්නට් ඇට උත්සව භූමියේ බිම දැමීමත් සංගීතයත් එක්ක තරුණියන් නර්තන ශිල්පිනියන් වගේම කන්‍යා සොහොයුරියන් දණින් වැටී මේ චෙස්ට්නට් එකතු කළ යුතු වීම. ඒ අවස්ථාව වෙද්දි ඕනෑම අයෙකුට ඇඳුම් උනා දමන්න අවසර තියනවා. මෙන්න මේ වෙද්දි උත්සවය සමූහ ලිංගික උත්සවයක් බවට පත්වෙනවා.

මෙන්න මේ සිද්ධි මාලාවයි හයින්රිච් ලෝසෝගෙ සිතුවමට හේතු පාදක වෙන්නෙ. බැලූ බැල්මට මේ පින්තූරයේ ඉන්නෙ කන්‍යා සොයුරියක් හා පූජකයෙක්( වර්තමාන පූජකවරුන්ට හා කන්‍යාසොයුරියන්ට අපහාසයක් නොවේ ). රෝමයේ කතෝලික සභාව ජනතාවට නීති දමමින් දෙවියන්ගේ කැමැත්ත ගැන දේශනා කරද්දි ඒ අය විසින් කොයි ආකාරයෙන්ද ජනතාව රවට්ටන්නෙ කියන පණිවිඩය මේ සිතුවම තුළ තියනවා. අගය කල යුතු ලිංගික ආශ්වාදය ආගමේ නාමයෙන් සඟවන්නෙ ඇයි කියන ප්‍රශ්නයත් මේ තුළ තියනවා.

වරද ඇත්තේ ගැහැණිය තුළ, ඇගේ මුහුනේ ඉරියව් හා මුහුන සඟවා ඉවත බලන පූජකයා තුළින් මේ වරදකාරී හැඟීම අප තුළ ඇති කරනවා.
ඒ එක්කම ඇපල් ගෙඩිය හා සර්පයා හරහා නිර්මාණය කෙරෙන යකඩ වැට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒ එක්කම ප්‍රොතෙස්තන්ත ආගම තුළින් ඇතිවූ ප්‍රශ්ණ කිරීමේ හැකියාව හයින්රිච් ලෝසෝ ඉතාම හොඳින් පාවිච්චි කරන්නෙ බලන්නා තුළ රාගයත් උත්පාදනය කරමින්.

එතකොට කොහොමද මේ සිද්ධීන් වික්ටෝරියානු සංස්කෘතියට බද්ද වෙන්නෙ ?

ඒකට හේතුවෙන්නෙ මේ උත්සව හා ලිංගික නිදහස හරහා රෝමයේ කතෝලික සභාව කඩා වැටීම වලක්වන්න ඒ අයට සිද්ධ වෙනවා දැඩි නීති රීති පනවන්න. කොහොමද මේ නීති පනවන්නෙ….? ඒ අය ඒකට උපයෝගී කරගන්නෙ දෙවියන් හා ආගම. (වතිකානුව විසින් උපත් පාලන කොපු පාවිච්චිය තහනම් කිරීමේ අදහසට හිනා නොවී ඉමු) ලිංගිකත්වය කතා කළ යුතු නැති තහනම් මාතෘකාවක් කරනවා. ලිංගික හැසිරීම අවශ්‍ය වෙන්නෙ දරුවන් හැදීමට පමණයි කියන අදහස ඇති කරනවා. අනෙකුත් ලිංගික සම්බන්ධතා පවක් විදිහට දක්වනවා. ඇඩල්ටරි(Adultary) විදිහට ප්‍රසිද්ධ වෙන මේ සම්ප්‍රාදායික නීති හෙමින් සැරේ යුරෝපා සමාජයට රිංගවනවා. ආගම හරහා සංස්කෘතිය.. ලිංගිකත්වය හා සමාජය දැඩිව පාලනය කිරීමට පටන් ගන්නවා. බොහෝ යුරෝපීය සමාජයන් මේ තමන්ගේ සංස්කෘතිය විදිහට පිළිගන්නෙ ආගමික බලපෑමත් එක්කමයි.

වික්ටෝරියා රැජිණ ඇන්ග්ලිකන් ආගමේ, එයාට ලොකු ගැටුමක් තියනව රෝම කතෝලික අදහස් එක්ක. නමුත් කතෝලික සභාවේ නීති රීති විශේෂයෙන්ම ලිංගිකත්වය හා ඇඩල්ටරි සම්බන්ධ රෙගුලාසි එයා බොහොම ඉහළින් පිළිගන්නවා. තමන්ගෙ සේවිකාවන්ට දිග ඇඳුම් අඳින්න නියම කරන්නේ.. උස් හඬින් සිනාවෙන කාන්තාවො පිලිකුල් කරන්නේ … කාන්තාවන් වයින් පානය කිරීම පිලිකුල් කරන්නේ.. මෙන්න මේ වික්ටෝරියා රැජිණ විසින්. වික්ටෝරියා රැජිණ කියන්නෙ වෙනම කතා කල යුතු මාතෘකාවක්. යුරෝපය හා ලෝකය පාලනය කරන්න තමන්ගෙ දරුවන් රූකඩ බවට පත් කල මේ රැජිණ අපි දකින තරම් සුදු චරිතයක් නෙවේ. ( 1819 -1901 Princess Alexandrina Victoria of Kent).

එයා ඇන්ග්ලිකන් ආගම පාවිච්චි කරමින් අමුතුම සංස්කෘතික නීති ඉංග්‍රීසි සමාජයට ඔබනව විතරක් නෙවේ, ඒ නීති හා සම්ප්‍රදායන් යටත් විජිත වලටත් ඔබ්බවනවා. උඩුකය නිරුවතින් සිටි යටත් විජිත කාන්තාවන්ට බදු පැනවෙනවා. සමහර රටවලදි කස පහර ලැබෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නෙ රෝමය තමන්ගෙ කඩා වැටීම වළක්වන්න හඳුන්වාදුන් නීති හා රෙගුලාසි හරහා බවට විචාරකයන් මත පල කරනව.  අංශක තිස් පහට ඉහළ යන දාඩිය දාන උෂ්නත්වයේ ටයි කෝට් ඇඳගෙන ඉන්න මහත්වරු වගේම මුළු ඇඟම වැහෙන්න දිග ගවුම් සාරි පටලවන් ඉන්න නෝනාවරුත් මේ ඇන්ග්ලිකන් සමාජයේම සාඩම්බර නිර්මාණ.

මේ චෙස්ටන්ට් මංගල්‍යයේ විස්තර විවාදාත්මකයි. ඒ කාලයේ ප්‍රසිද්ධ ලතින් පුවත්පතක් තියනව ලිබර් නොතාරුම් විදිහට ( The Libar Notarum). ඒ ජර්නලයේ සඳහන් වෙනව කොයි තරම් දුරට මේ උත්සව රෑ තිස්සෙ ඇදෙනවද, ඒ හරහා දෙවියන්, යේසුස් හෝ ක්‍රිස්තියානි ඉගැන්වීම් බලපෑම් වලට අහුවෙනවද කියලා.

හොඳයි… අපිට කියන්න පුළුවන් මේ 1500 වර්ෂයේ සිදුවූ දෙයක්.. ඒ වගේම 1880 වර්ෂයේ සිතුවමක්.. ඒ නිසා වැදගත් කමක් නෑ කියලා. නමුත් මේ හරහා තමයි අපි ඉතිහාසය ඉගෙන ගන්නේ. ඒ ඉතිහාසයේ බලපෑම අදට දැනෙන්නෙ කොයි ආකාරයටද කියල තේරුම් ගන්නේ. මෙයින් අදහස් වෙන්නෙ නෑ ලිංගික සාද හෝ නිදහස සෑම සමාජයකම ස්ථාපිත විය යුතුයි කියලා. නමුත් මෙයින් ප්‍රශ්න කරනව සීමා හා නීති නැමති අඳුරු මාර්ගය තුළ අපි මේ තරම් දුරක් අන්ධව පැමිනියේ කුමක් නිසාද කියලා.

මේ සිතුවම නිසා හයින්රිච් ලෝසෝව ගල් ගහල මරා දමන්නෙ නෑ. ඒක සිතුවමක්. ඒ ආගම්, සමාජ හා සංස්කෘතීන් සීමාවලින් මිදිල කොයි තරම් ඉදිරියට ඇවිත්ද.? නමුත් ඒ සංස්කෘතින් ඇඟලාගත් පෙරදිග සමාජයන් කොයිතරම් දුරට සීමාවන් තුළ කොටුවෙලාද කියන ප්‍රශ්නය අපිට ඉතිරිවෙනවා.

අපි මෙහෙම හිතුවොත්…. මේ පූජකයා වෙනුවට භික්ෂුවක් හෝ සිවුරු දරන්නෙක්.. මේ පූජක කාන්තාව වෙනුවට උපාසිකාවක් හෝ භික්ෂුණියක් යොදල අද සිතුවමක් නිර්මාණය වුනා කියලා. චිත්‍ර ශිල්පියාට හිර ගෙට යවන්නෙ නැද්ද…? චිත්‍ර ශිල්පියාටත් ඔහුගේ පවුලේ අයටත් සමාජයෙන් පලා යන්න සිද්ධ වෙන්නෙ නැද්ද.?  රන් පොලු මවන රහතන් වහන්සේලා… යූරියා ගොවිපල මවන.. සිංදු වලින් වර්ණනා කරගන්නා රහත් උන්නාන්සෙලා ප්‍රියමාලිලා එක්ක නාඩගම් නැටුවත්, ඒ අපේ සාසනේ කියන අන්ධ සමාජයකයි අපි ගනුදෙනු කරන්නේ.

නමුත් අපි ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. හිනා වෙන්න එපා පොතක් ලීවත්… සිතුවමක් ඇන්දත් ආගමේ නාමයෙන් බෙරිහන් දෙන, ඒ වෙනුවෙන් හිරේ යවන, නඩු අහන මරාගන්න සමාජයකයි අපි ජීවත් වෙන්නේ.

මේ එක සිතුවමක්… ඒ හරහා ඉතිහාසයත්… අපේ ආකල්පත්.. සංස්කෘතියත්… ආගමත් බොහෝම අපූරුවට ප්‍රශ්ණ කරනවා.

මේ සිතුවම ඉතාලියේ පලෙර්මෝ නගරයේ නූතන චිත්‍ර සඳහා වෙන්වූ කලාගාරයේ ප්‍රදර්ශණයට තබා තියෙනවා. 
– Gallery of Modern Art “Empedocle Restivo” Palermo, Italy

( සිතුවමක ඉතිහාසය මිස ආගමික විවේචනයක් නොවන බව වටහා ගැනීමට කියවන්නා බුද්ධිමත් යැයි විශ්වාස කරමි)
– Malcolm Sang –
උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම