ඇලෙක්ස් හේල්ස්ට අපතයෙක් වීමට එංගලන්තය ඉඩ දුන්නේ නැත

1871 වසරේ දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර ඇඩිලේඩ් හි ටොරන්ස් ගඟට යාව ටොරන්ස් ගං දෑලේම ඉදිකළ චිත්‍රයක් මෙන් විචිත්‍ර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී 2022 T20 ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ඊයේ (10) රාත්‍රියේ පැවැත් වුණි.

ඒ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් මෙන් අදහන, ලොව ඕනෑම ක්‍රීඩාවක නියෙලන ක්‍රීඩකයන්ට කරන ගෙවීම් අතර මුල් තැනක සිටින, ක්‍රිකට් ලොව පාලනය කරන ක්‍රිකට් ලොව අග රජු වන ඉන්දියාවත්, ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලිය ලත් එංගලන්තයත් අතරය.

2022 T 20 ලෝක කුසලානය ආරම්භ වීමටත් පෙර කාගේත් අවදානය යොමුවූ පිල වූයේ එංගලන්තයයි. නොම්මර 10 වනතුරු පිතිකරු ලයිස්තුවක් එංගලන්තය සතුය. අඩීල් රශීඩ් හැර අනෙක් දහ දෙනාගේම පන්දු රැකීම ඉස්තරම් ය. ලකුණු විස්සකට තිහකට තමාගේ ඕවර් හතර අවසන් කර මොකක් හෝ බොරු ලෙඩක් ගෙන අඩීල් රශීඩ් ක්‍රීඩාගාරයට ගිය පසු 12 වෙනි ක්‍රීඩකයා ලෙස ක්‍රිස් ජෝර්ඩ්න් පැමිනි පසු එකොලොස් දෙනාම සුපිරි පන්දු රකින්නන්නය. නවසීලන්ත තරඟයේත් ශ්‍රී ලංකා තරගරඟයේත් අහස්කූරු මෙන් උඩ ගිය තීරණාත්මක උඩපන්දු රැක ඒ තරඟ ජයග්‍රාහී මාවතට ගෙනාවේ රශීඩ් වෙනුවට පන්දු රැකි ජෝර්ඩ්න් ය.

ඒ කතා එසේ තිබියදී ඊයේ අර්ධ අවසාන තරඟයේ කාසියේ වාසිය එංගලන්තය දිනා මුලින් පන්දුවට පහරදීමට එංගලන්ත නායකයා ඉන්දියාවට ආරාධනා කලේය. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ ඊයේ තිබු දුඹුරු පැහැ තණතීරුවේ හොඳ පන්දු යවන්නන් නැති ඉන්දීය පිලට ලකුණු 200ක ඉලක්කයක් එංගලන්තයට නොදී තරඟයක් ලබාදීමට කිසිම ඉඩක් තිබුනේ නැත.

දඟ පන්දුවට පමනක් තරමක් මෙල්ලවන එංගලන්තයට එරෙහිව වේගපන්දු යවන්නන් තිදෙනෙක් සමග ඉන්දියාව තරඟ කිරීම තරමක් විශ්මයජනක සිදුවීමක් විය. දකුණත් පිතිකරුවන් රැසක් ඉන්නා එංගලන්තයට එරෙහිව අශ්වින් නොමැතිව හෝ එසේත් නැතිනම් බුවනේශ්වර් නොමැතිව පා දඟ පන්දු යවන චහාල් යොදා නොගත්තේ මන්දැයි මා තවමත් කල්පනා කරමි.

ඉන්දීය දකුණත් පිතිකරුවන් හොඳින් පහරදෙන අවස්තාවේ පිට දඟ පන්දු යවන මොයින් අලීට එකම ඕවරයක්වත් එංගලන්ත නායකයා ලබා දුන්නේ නැත. ඒත් ඉන්දීය නායකයාට එංගලන්තයට කිසිම තර්ජනයක් එල්ලකල නොහැකි අශ්වින් යොදාගන්නවා හැර වෙන කිසිම ඔප්ෂන් එකක් ඉතිරිව තිබුනේද නැත.

කෙලින් පන්දුවට පහරදෙන කෝලිට ෆයින් ලෙග් කලාපයම විවර කර එංගලන්ත පන්දු යවන්නන් නියමිත ස්තානයට පන්දු එව්වේය. ඉන්දියාවේ “ෆෝම් බැට්ස්මන්” වූ සූරිය කුමාර් යාදේව් SKY එල්ල කරන පහරවල් අධ්‍යනය කර ඒ ස්ථානවලට පන්දු රකින්නන් යොදවා නියමිත ස්ථානයට පන්දු යැවූ එංගලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයක් Sky ට එල්ල කලෝය. ඉන්දියාව උඩ පන්දු අතාරින, බිමදිගේ එන පන්දුත් අතාරින තත්වයක එංගලන්තයේ පන්දු රැකීම පැවතියේ අති විශිෂ්ඨ මට්ටමකය. එංගලන්තයේ දුර්වලම පන්දු රකින්නා වූ රශීඩ් පවා විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේය.

තරඟයේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ එංගලන්තයටය. එංගලන්ත ඉනිම ඇරඹූ තැන් පටන් එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉන්දීය පන්දු යවන්නන් තඹේකට මායිම් නොකර දැඩි ප්‍රහාරයක් ඔවුන්ට එල්ල කිරීමට සමත්විය. එංගලන්ත ඉනිමේ පලමු ඕවරයේ පටන් පීඩනය එල්ලවූයේ ඉන්දියාවට ය.

එංගලන්ත ජයග්‍රහනයේ පුරෝගාමියා දකුණත් පිතිකරු ඇලෙක්ස් හේල්ස් ය. ඇලෙක්ස් හේල්ස්ගෙ පිති ප්‍රහාරය ගැන මා කතා කිරීමට යන්නේ නැත. ඒත් එක් වාක්‍යයකින් ඇලෙක්ස් හේල්ස් ගැන මේ ටික කිව යුතුය.

“බර්මින්හැම් වල කුඩු කාරයෙක් ලෙස ජීවිතය අවුල්කර ගැනීමට සිටි ඇලෙක්ස් හේල්ස් ලෝක පූජිත ක්‍රීඩකයෙකු කිරීමේ ගෞරවය යා යුත්තේ එංගලන්ත ක්‍රිකට් පාලක මංඩලටය.”

යම් යම් නරක ඇබ්බැහි වලට ගිය දක්ෂ තරුණයෙකු නැවතත් නිවැරදි මාර්ගයට ගන්නේ කෙසේදැයි එංගලන්තයෙන් ලංකාව පාඩම් ඉගෙනගත යුතුය.

2017 වසරේ කවුන්ටි තරඟයකට පෙර දිනයේ ඇලෙක්ස් හේල්ස් රාත්‍රී සමාජශාලාවක ‍යම් කලහාකාරී සිද්ධියක් ඇති කරගත්තේය. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බ්‍රිතාන්‍ය පවුම් 17500 ක දඩයක් සහ වසරක තරඟ තහනමක් හේල්ස්ට පැනවීය.

මේ විතරක් නොව ඇලෙක්ස් හේල්ස් කලු ජාතිකයෙක් මෙන් සැරසී රාත්‍රී සාදයකට ගොස් කලු ජාතිකයන්ට අපහාස කිරීමේ චෝදනාවකට ප්‍රසිද්ධියේ සමාව ගත්තේ 2009 දීය.

ගාඩියන් පුවත්පත හෙලිකරන ආකාරයට 2019 දී ඇලෙක්ස් හේල්ස්ගේ හිස කෙස් ලබාගෙන සිදුකල මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් ඔහු මත්ද්‍රව්‍ය (recreational drug) ශරීරගතකරගෙන සිටි බවට තහවුරු විය. හේල්ස් එංගලන්ත සංචිතයෙන් පවා ඉවත් කලේය.

හේල්ස්ව එසේ ඉවත්කර එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සියලු පව් හේල්ස් පිට දමා අත් පිසදාගත්තේ නැත. හේල්ස්ගෙ වියදමින් ඔහුට පුහුණු සැසි පැවැත්වීය. මහුට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දුන්නේය. ඔහුට ඔහුගෙ නරක ඇබ්බැහියන්ගෙන් ගොඩ ඒමට උදව් කලේය.

එහි ප්‍රතිපල අද එංගලන්තය බුක්ති විඳිමින් සිටී. අද හේල්ස් එංගලන්තයට ලෝක කුසලානයක් දිනා දීමේ පෙර ගමන්කරුවෙකුව සිටී. නිවරදි මාර්ගයට ගෙනාවා නම් ලෝක පූජිත වීමට සිටි පුද්ගලයන් ඕස්ට්‍රේලියාවේ දරුණු අපරාධකරුවන් රඳවා සිටින සිරගෙයක සිටීම ගැන ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක තමන්ගේ පපුවට තට්ටු කර හෘදසාක්ෂෙයෙන් තමන් නිවැරදි වේලාවේ නිවැරදි දේ කලා දැයි තමන්ගෙන්ම විමසා සිටිය යුතුය.

හේල්ස් සමග වත්මන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සසඳා බැලුවොත්, අද ලංකාවට ක්‍රීඩාකරන බහුතරයක් ක්‍රීඩකයන් ඉතා දිළිඳු පවුල් වලින් තමන්ගේ දක්ෂතාවය නිසාම ජාතික පිලට තේරී පත්වූ දරුවන් වෙයි. වඬුවන්ගේ, ධීවර දැල් අදින්නන්ගේ, කුලී වැඩ කරන්නන්ගේ, බේකරිවල පාන් පුච්චන්නන්ගෙ, මල් විකුනන්නන්ගේ, කීර කඩන්නන්ගේ දරුවන් ජාතික පිලට ක්‍රීඩා කරයි. විය යුත්තේද එයයි. තරාතිරම නොබලා දක්ෂයාට නියමිත තැන හිමිවිය යුතුය.

නමුත් ඒ දරුවන් පාසල් අධ්‍යාපනය නිසිලෙස ලබාගෙන නැත. වැඩිදුර අධ්‍යාපනයක් ලබා නැත. බහුතරයක් පොතක් පතක් බලන්නේ නැත. ඉන්ටනෙට් එකේ උවත් ජීවිතයට අවශ්‍ය දෙයක් බලන්නේ නැත. කොටින්ම ලෝකය රට ගැන එහෙන් මෙහෙන් අහුලාගත් දෙයක් මිස කිසිවක් දන්නේ නැත.

ඔවුන්ට එක්වරම අතිවිශාල ධනස්කන්දයක් ලැබී ඇත. (ඒ ගැන කිසිම ගැටලුවක් නැත. ඒ ඔවුන් හොරාකා ඉපයූ මුදල් නොව ඔවුන්ගේ දක්ෂතාවය නිසා ඉපයූ ධනයයි) ඔවුන්ට විශාල සමාජ පිලිගැනීමක් ලැබී ඇත. ජනප්‍රිය තරු බවට පත්වී ඇත. කාන්තා ආකර්ශනය ලැබී ඇත. ව්‍යායාම් ආදියත් තාරුණ්‍යයත් නිසා ඔවුන් අතිශයින්ම කඩවසම් ය. ඔවුන් පැමිණි සමාජ ආර්ථික පසුබිමත්, අධ්‍යාපනයත්, පවුල් පසුබිමත් ගත්විට තෙල් බේරෙන තරුණ වියෙ තරුණයෙකු විකල් වීමට මීට වඩා අවශ්‍ය මොනවාද?

මේ තරුණ ක්‍රීඩකයන් සියල්ලන්ම දක්ෂ දරුවන් ය. ලක්ෂයකින් එකෙක්ට පමණක් පිහිටන දක්ෂතාවයකින් පරිපූර්ණ අයවලුන් ය. එසේ නම් කුඩ්ඩෙක් වීමට සිටි ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලානයක් දිනා දීමට හැකි මට්ටමට එංගලන්තය ගෙනාවත් නොමග ගිය අය ගැන ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක කල දේ ගැන සෑහීමකට පත්විය හැකිද?

බෝඩ් එක දුවන්නේ ක්‍රීඩකයන් නිසාය. යම් යම් ඇබ්බැහිවලට පත්වූ ක්‍රීඩකයන් යහමගට ගැනීම බෝඩ් එකේ වගකීම නොවන්නේද? යම් අයෙකු වරදක් කරන පලමු අවස්තාවේ “ඔහු කල වරදට සාපේක්ෂ” දඬුවමක් ලබාදී නැවත යහමගට ගැනීම බෝඩ් එකේ වගකීම නොවන්නේද?

යම් හුදකලා සිදුවීමකට යම් තරුණ ක්‍රීඩකයෙකු හසුවූ කල වරද ඔහුටම පටවා අත්පිසදා ගැනීමට බෝඩ් එකට හැකිද?

තමන් නියෝජනය කරන්නේ රට බව ක්‍රීඩකයන්ට අවබෝද කර දිය යුතු නොවන්නේද? තමන් ගැන ඇස් දහසක් යොමුව ඇති බව මේ ක්‍රීඩකයන්ට අවබෝධකර දියයුතු නැත්ද? මව් රටේදී මෙන්ම තමන්ට ආගන්තුක පිට රටකට ගොස් හැසිරෙන ආකාරය, ක්‍රීඩාලෝලීන් සමග සම්බන්ධ වන්නේ කේසේද, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආදිය හසුරවන්නේ කෙසේදැයි ඒ ක්ෂේත්‍ර වල විශේෂඥයන් මගින් දැනුම ලබාදිය යුතු නැත්ද?

තැලෙන යකඩයක් හමුවූ විට උඩ දමමින් නොතලා ඉදිරියට හේල්ස්ව එංගලන්තය ගොඩ දැම්මා මෙන් ලංකාවත් කරනු ඇතැයි අපේක්ෂා කරමු.

ලංකාවේ ක්‍රීඩකයන්ටත් යමක් මතක් කර දිය යුතුය. මේ පෝස්ට් එකේ අවසන් පින්තූර දෙක ඊයේ තරඟයේදී මා දුටු සුවිශේෂීම දෙයයි. ඊයේ ඇඩිලේඩ් ඕවල් පිටිය පිරී ඉතිරී ගොස් තිබුනේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගෙනි. එංගලන්ත ප්‍රේක්ෂකයන් සිටියේ ඉතා සුලු පිරිසකි.

එංගලන්ත පිල තරඟ අවසානයේ ක්‍රීඩාංගනයේ ඈත කෙලවරේ සිටි එංගලන්ත ප්‍රේක්ෂකයන් සමීපයට ගොස් තරඟය නැරඹීමට පැමිණ ඔවුන් දිරිමත් කල එංගලන්ත ප්‍රේක්ෂකයන්ට අත් පොලසන් දී ස්තූතිය පිරි නැමුවේය.

අතින් කාගෙන, දිනුවත් පැරදුනත් උඹලා ගහන බොහෝ මැච් බැලීමට ලෝකේ එහා මෙහා හැම තැනම එන “ඕස්ට්‍රේලියාවේ අයියා” යැයි උඹලා හඳුන්වන මං ලංකාවේ ක්‍රීඩකයන් වන උඹලාගෙන් ආදරයෙන් ඉල්ලන්නේ මෙයයි; සුද්දාගේ පච්චෙයි කොණ්ඩ මෝසතරයයි පමනක් නොව මේ හොඳ දේවලුත් සුද්දගෙන් කොපි කරපල්ලා. ප්‍රේක්ෂකයන්ට උඹලට හැකි උපරිම ගෞරවය ලබා දීපල්ලා යන්නයි.

බෝඩ් එකටත් යමක් කිව යුතුය. ඇලෙක්ස් හේල්ස් සිද්ධිය ආදර්ශයට ගෙන කටයුතු කරපල්ලා යන්නයි.

(මේ ලිව්ව එකෙන් කාගේ හරි හිතක් රිදුනනම් සමාවෙන්න ඕන)

-හිරන්ත හේරත්-

 

Social Sharing
අවකාශය නවතම