ගැලවීම වෙනුවට විනාශය තෝරා ගැනීම!

-වික්ටර් අයිවන්-

දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව දින පතා රැස්වෙන අතර එහි කෙරෙන කරුනු සොයා බැලීමේ සාකච්ඡා තුළින් ලංකවේ රාජ්‍යය හා හා එහි ආයතන ක්‍රමයේ කටයුතු සිදුවී තිබෙන දූෂිත, අකාරයක්ෂම හා අවලස්සන සොබාවය තේරුම් ගැත හැකිය. එහි දිග හැරෙමින් තිබෙන කරුනු අනුව අසමත් කමට හා බංකොලොත්භාවයට අවශ්‍ය කටයුතු සිදුවී තිබෙන්නේ ගෝඨාභය පාලනය ඇතිවීමෙන් පසුව පමනක් නොව ඊට බොහෝ කලකට පෙර සිටය. එසේම රටේ ඇතිවී තිබෙන අසමත්කම කෙරෙහි දේසපාලකයා ගේ භූමිකාව පමණක් නොව රාජ්‍ය නිලධාරියාගේ භූමිකාව වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය අධීක්ෂනය කිරීමේ වගකීම පැවරී තිබෙන පාර්මේන්තුව එම ආයතනවල කටයුතු තියුණු ලෙස සොයා බැලිය යුතුව තිබුනේ දැන් නොව රටබංකොලොත් තත්වයට පත්වීමට පෙරය. පාර්ලිමේන්තුවට ඇස් පෑදී තිබෙන්නේ හුඟාක් ප්‍රමාද වීය.

ලංකාව මෙම නිෂ්චිත අවස්ථාවේදී තිබෙන්නේ ගොඩඒමට පහසු නැති බිහිසුනු අගාධයකට ඇද වැටුන තත්වයක. රට තිබෙන්නේ බංකොලොත්, අසමත් හා ක්‍රියාකාරිත්වය විශාල ප්‍රමානයකට බිඳවැටුන තත්වයකය. ඉන්ධන හිඟය නිසා දැනටමත් රටේ ගමනා ගමනය හා ප්‍රවාහනය විශාල ප්‍රමානයකට අඩපන කිරීමට හේතුවී තිබේ. නිෂ්පාදන අංශවල ක්‍රියාකාරිත්වයද නොකඩවා බිඳ වැටෙමින් පවතී. ඖෂධ හිඟය රෝහල්වල ක්‍රියාකාරිත්වය විශාල ප්‍රමාණයකට අඩපන කිරීමට හේතුවී තිබෙන අතර නිදන්ගත රෝගින්ගේ ජීවිත පැවැත්ම තිබෙන්නේ අනාරක්ෂිත තත්වය කය. රැකියා අහිමි වුවන්ගේ සංඛියාවද විශාල ලෙස ඉහල යමින් තිබෙන අතර නොකඩවා වේගයෙන් ඉහල යන උද්දමනය ඉදිරියේ ජීවන බර තිබෙන්නේ ඉසිලිය නොහැකි ඉතා පීඩාකාරි තත්වයකය.රසායන පොහොර තහනම කෘෂිකර්මයේ ඇති කර තිබුන මහා බිද වැටීම තවමත් යතාතත්වයට පත් කිරීමට හේතුවී නැති අතර ඔක්තෝබර් වන විට අහාර හිඟයක් ඇති වීමේ බර පතල අවදානමක් ද පවතී .ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමට IMF එකට ගියේ බෝහෝ ප්‍රමාදවීය. ඒනිසා ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම ද ඉතා දුෂකර හා අසමාන්‍ය තරමින් වධවේදනා ගෙන දෙන්න තත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

අඳුරෙන් අඳුරට

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතුවන ලෙස එම අර්බුදය නිසි ලෙස කළමනා කරනය කර ගැනීමට අවශ්‍ය කරන දැනුම හා ශික්ෂනය රටට තිබෙන බව පෙන්නුම් කිරීමට ලංකාව තවමත් සමත් වී නැත. අඩුම වශයෙන් ඉතා අමාරුවෙන් මිලදී ගන්නා පෙට්ට්‍රල් ඩීසල් ටිකවත් පලදායි ලෙස බෙදාහරින ක්‍රමයක් ඇති කරගැනීමටවත් තවමත් ලංකාව සමත් වී නැත. පෙට්ට්‍රල් ඩීසල් මිලදී ගැනීමේ හැකියාව හොඳටම සීමා සහිත තත්වයකට පත්ව තිබියදීත් තවමත් ලංකාව උත්සහා කරන්නේ සියළු වාහනවලට පෙට්‍රල් හා ඩීසල් දෙන ක්‍රමයකි. අන් හැම තැනකමත් කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ඊට සමාන අවුල් සහගත හා හාස්‍යජනක ආකාරයකටය. ඝන අඳුර හැර ආලෝකයේ රිදී රේඛාවක ජායා මාත්‍රයක් වත් පෙනෙන තෙක් මානයකවත් නැත.

ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ඇතුලු ආණ්ඩු පක්ෂය ද විරුද්ධ පකෂයද ‍යන දේසපාලන තලයේ සියලු දෙනා පටු බල අරගලයක නිරත වී සිටින බව පෙනෙනවා මිස රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මහා විපත ජයගැනීම සඳහා එහි විශාලත්වයට ගැලපෙන ලොකු වැඩක නිරතවී සිටින බව පෙනෙන්නේ නැත. මොන හේතුවක් නිසා හෝ පොදුවේ රටේ දේසපාලන තන්ත්‍රයට සේම සමාජයටද මෙම අර්බුදය ජය ගැනීම සඳහා බලවත් උනන්දුවක් තිබෙන බව පෙනෙන්නේ ද නැත. ආණ්ඩුව, විරුද්ධ පක්ෂය, අරගලකරුවන්, විකල්ප දාරා ලෙස පෙනී සිටින දේශපාලන කණ්ඩායම්, යන සියළු පාර්ශව කල්පනා කරන විදියේ ලොකු අවුලක් තිබෙන බව නම් පැහැදිලිව පෙනෙන්නේය.

ජනාධිපති ආණ්ඩු ක්‍රමය නිර්මානය කර තිබෙන්නේම ප්‍රදාන මැතිවරණයකදී හැර අතර මැදි කාලයේදී ආණ්ඩු පෙරලියකට ඉඩක් නැති අකාරයටය. තරුන අරගලකරුවන් “ගෝඨාභය ගෙදර පල” යන ලස්සන හා පෙරලිකාර සටන් පාඨය කරලියට ගත්තේ එම යතාර්තය හොඳින් සැලකිල්ලට ගෙන නොවේ. වෙනත් සමහර අප්‍රධාන වෙනස් කම් දිනා ගැනීමට තරුණ අරගලකරුවන් සමත්වී ඇතත් ප්‍රදාන ඉල්ලීම දිනා ගැනීමට සමත් වූයේ නැත. දැන් තරුණ අරගලය තිබෙන්නේ විශාල ප්‍රමානයකට කඩා බිඳ වැටුන තත්වයකය. ඔවුන්ගේ අත්වලින් ගිලිහෙමින් තිබෙන ගෝඨා ගෙදර යැවීමේ ධජය විරුද්ධ පක්ෂයේ තරඟකාරි පක්ෂ දෙකක් වන සජබෙ හා ජවිපෙ යන පක්ෂ දෙක සියතට ගෙන තිබෙන බව පෙනේ. දැන් එම පක්ෂ දෙකම කියන්නේ සියලු අන් සියලු දේට පෙර ගෝඨාභය ගෙදර යැවීම නැතුවම බැරි කොන්දේසියක් වන බවය.

විනාශයේ මාවතට

මෙම පක්ෂ දෙකට තනි තනිව හෝ එකට එකතු වී ජනාධිපති ගෝඨාභයගේ ධුර කාලය අවසන් වන්නට පෙර ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමේ අරමුන සපුරා ගැනීමේ ඇත්ත හැකියාවක් තිබේද? එම පක්ෂ දෙක එම තීරනය ගනු ලැබුවේ ඒ ගැන හොඳින් කරුනු සලකා බැලීමකින් පසුවද? එය ස්ථිර වශයෙන් ජයගත හැකි ඉලක්කයක් බව එම පක්ෂ දෙක විස්වාස කරන්නේද? විවස්ථාපිත රාමුවෙන් පිටස්තරව ජනාධිපති එලවීමට දරනු ලබන උත්සහායන් ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීමට තිබෙන හැකියාව මුලුමනින් නැති කොට රට දැන් තිබෙන තත්වයටත් වඩා මහා අගාධයකට ඇද දැමීමට හේතු නොවනු ඇති බවට ස්ථිර සහතිකයක් දීමේ හැකියාව එම පක්ෂවලට තිබේද?

මේ පක්ෂ දෙකම කල්පනා කරන විදිය අවුල් සහගතය. මේ වන විට රටේ පැවැත්ම තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක තත්වයකය. යථා තක්සේරුවකින් තොරව දේසපාලන පක්ෂ මේ අවස්තාවේදී මහා පාරේ කරන සටන් අර්බුදය විසඳා ගැනීමට තිබෙන හැකියාව මුලුමනින් නැති කොට රට මහා විනාශයකට ඇද දැමීමට හේතු විය හැකිය. දේසපාලන පක්ෂ මේ තීරණාත්මක මොහොතේදී සිය බල අපේක්ෂා සපුරා ගත යුතුව තිබෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය ඇතුලු රටේ අර්බුදය උග්‍ර කිරීමට හෝ අවුල් කිරීමට හේතු නොවන ලෙසය. ඒ සඳහා තෝරා ගත හැකි ප්‍රසස්තම ක්‍රමය වනුයේ ඉක්මන් මැතිවරණයක්ද ඇතුලත් වන ලෙස ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමය. ඒ සඳහා සර්ව පක්ෂික ආණ්ඩුවක් ලෙස එකට එකතු වී වැඩ කරන තැනකට යාමය. එවැනි වැඩ සටහනක් අර්බුදය සමනය කරනවා මිස උග්‍ර කරන්නේ හෝ අවුල් කරන්නේ නැත. එවැනි ක්‍රමවේදයක් ගෙවුම් ශේෂ අර්බුදය ඇතුලු සෙසු අර්බුද විසඳා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් ලබා දෙයි. ඒ සමග ජනාධිපති ආණ්ඩු ක්‍රමයෙන් ඉක්මන්ව ඉවත්වී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට ඉක්මනින් මාරු වීමට පුලුවන් කමද ලබා දෙමින් ක්‍රමයේ ගැඹුරු ව්‍යුහමය වෙනසක් ඇති කර ගැනීමට හැකියාවද ලබා දෙයි. තෝරාගැනීමට එවැනි පැහැදිලි හා හොඳ විකල්පයක් තිබියදී ලැබෙන ප්‍රතිපල පැහැදිලි නැති රටේ පැවැත්ම පරදුවට තැබීමට හේතුවන විකල්පයක් සධාරණ විය නොහැකිය.

මේ අවුල් සහගතභාවය එම පක්ෂ දෙකට පමණක් ආවේනික විශේෂ ලක්ෂනයක් නොවන බවද කිව යුතුය. එය පොදුවේ හැම තැනකම ( ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂ, තරුණ අරගලය හා සියළු මතවාදි තලවල) දක්නට තිබෙන ලක්ෂණායකි. හැම කෙනෙකුටම “ගෙදර පල ” කියන හඬ මිස ” රට බාරගනු ” කියා කිසිවකුටත් අඬගසන හඬක් ඇසෙන්නේම නැත. පරණ දේසපාලන නායකයින්ගෙන් සමන්විත පරණ දේසපාලන ලෝකය පමනක් නොව අරගලකරුවන්ගේ නව ලෝකය තිබෙන්නේද අසාර්ථක අවුල් ජාලයකය. දේසපාලනඥයින්ට පමනක් නොව, බුද්ධිමතුන්ටද, සාමාන්‍ය සමාජයටද තර්කානුකූලව කරුනු සලකා බැලීමේ හැකියාව මේ අර්බුදාය විසින් මුලුමනින් අහිමි කර තිබෙන බව පෙනේ. මෙම තත්වය තුළ නරක ප්‍රතිපලයක් මිස හොඳ ප්‍රතිපලයක් බලා පොරොත්තු විය නොකිය. රටේ දේසපාලන නායකයින් බලය සඳහා පොරකමින් සිටියදී ගලවා ගැනීමේ කිසිඳු උත්සහයක් නැතිවම ලංකා මාතාව මහ මුහුදේ චන්ඩ කලාපයකට ගසාගෙන යමින් සිටින්නේය.

 

Social Sharing
නවතම විශේෂාංග