සංගීත් මදුරාවලගේ කොලාජ් කලා නිමැවුම් ප්‍රදර්ශනය; ‘මව්බිම(Motherland)’, මේ දිනවල කොල්ලුපිටියේ පැරඩයිස් රෝඩ් කලාගාරයේ පැවැත්වෙනවා. ග්‍රාෆික සහ කොලාජ් මුසු සිතුවම් සම්බන්ධයෙන් ප්‍රසාද් අලුත්වත්තගෙන් පසු මෑතකාලීනව, තියුණු කලා නිමැවුම් ගෙන ආ අයෙකු ලෙස සංගීත් හඳුනාගන්න පුලුවන්. නූතනට ඔබින, තමා ජීවත්වන පොළොවේ සිදුවන සියල්ල ගැන සවිඥානික, දැක්මක් මතයක් සහිත, නිර්භය නිර්මාණකරුවෙකු වන සංගීත් සහ ඔහුගේ මේ සිතුවම් සම්බන්ධයෙන් අප අවධානයට ලක් වූ කරුණු කිහිපයක් සඳහන් කරන්නම්.
1. අතීතය, සම්ප්‍රදාය, ඉතිහාසය දේව නිර්මිතයක් හෝ සාධු සම්මතයක් ලෙස නොගෙන, සෞන්දර්ය විෂයෙහි සලකා තම පරිකල්පනයට යටත්ව, තනි තනි වස්තූන් ලෙස ගෙන නොබියව ඒ සංකල්ප, වස්තූන්, භෞතික සාධක, ඊට ඉඳුරා පටහැනි නූතන සමාජ, දේශපාලන සංදර්භයේ හැසිරෙන පවතින වස්තූන් සමඟ බද්ධ කරවමින් නව අදහස් ජනනය කරවීම ඔහුගෙන් අප දුටු එක් ලකුණක්. ඓතිහාසික ස්මාරක, ස්ථාන, නටඹුන් ඒවා පවතින ‘අත තැබිය නොහැකි ඝන වූ ප්‍රභූත්වයෙන්’ මුදවා, සාමාන්‍ය එදිනෙදා මහමගදී අප දකින හමුවන තැන්, මිනිස් රූ සමඟ මිශ්‍ර කිරීමෙන් සිදුකරන සාමාන්‍යයීකරණය සාධනීය යි.
සීගිරි කාන්තාවක් ඩෙනිමකින් සැරසී සිටින සිතුවම, හෝටල් කාමරයක ඇඳ මත සිටින ඉසුරුමුණි පෙම් යුවල, සඳකඩපහණ මතට වෙඩි උණ්ඩ ඇදවැටෙන සිතුවම, මුරගල සහිත පඩිපෙළ ඉදිරියේ සිටින මාස්ක් දැමූ මකර මුහුණැති සායි බබා සිරුරැති පිළිමය, බෞද්ධ කොඩියේ වර්ණ සහිත පසුබිමක සිටගත් උණ්ඩ මාලා ගෙලපැළඳි අතීත තරුණයෙක් මීට නිදසුන් කිහිපයක්. ප්‍රදර්ශනයේ නොවූ නමුත් සංගීත් සයිබර් අවකාශයේ පළකරන ලද සිතුවම් කිහිපයක ම මේ ලකුණ දැකගන්න පුලුවන්.
2. ප්‍රාථමික අවධියේ, ගෝත්‍රික අවධියේ පටන් අද මේ මොහොත දක්වා කාන්තාව මත ලෝකය පැටවූ බර පොදිය සහ එයින් වියුක්ත වූයේ නම් ඇගේ සංතෘප්තිය යන දෙක ම සංගීත්ගේ සිතුවමට ලක් වීම, දෙවනි ලකුණයි. සීගිරි අප්සරාවන්, කුල ධූරාවලියේ විවිධ කුලවල හමුවන කාන්තාවන්, ගෙයි දොරකඩ සිටින කාන්තාවන්, ජාතක කතාවල එන පල වැල නෙළන බිසෝවරු, ඉන්දියාවෙන් සංක්‍රමණය වී මෙරට ශ්‍රමය වගුරන කාන්තාවන්, ඩෙනිම් හැඳි ක්‍රියාශීලී තරුණියෝ ආදි විවිධ සමාජ සංස්ථා, යුග, ඉතිහාස අවධි නියෝජනය කරන කාන්තාවන් වෙත යන සංගීත් ඔවුන්ගේ මුහුණෙන්, අතපයෙන්, දරන වස්තූන්ගෙන්, වස්ත්‍රාභරණවලින් අංශු මාත්‍රය බැගින් උකහාගන්නවා.
ඉන්පසු නූතන ලෝකයේ දී අපට හමුවන රෙදි සේදුම් යන්ත්‍ර මෙන් ම මුළුතැන්ගෙයි උපකරණ වන හිරමණය, කුල්ල, මෝල්ගහ, වංගෙඩිය ආදී ගෘහ කටයුතු පහසු කරන යන්ත්‍රවල රූ සමඟ එකට තියා, ඔවුන් භාවිත වන ආකාරය අඟවමින් නිර්මාණය අවසන් කර තිබෙනවා. පෙම්වතා පෙම්වතිය වැළඳගෙන සිටියදී පෙම්වතිය තම අතින් උදැල්ල දරනවා. බාබායිගා යකින්නගේත් වංගෙඩිය සහ මෝල්ගහ ස්ත්‍රීන් වෙතින් තවම ඉවත ලා නැති බව අපට මෝල්ගස් පහරක් සේ හිසට වැදෙන්නට ගන්නවා. සේදීම්, ඉවීම්, බරදැරීම්, දියවීම්, වැගිරීම් ආදි ‘ස්ත්‍රී වෙත සමාජය පැවරූ වගකීම්’ වලින් දියබත් වූ කාන්තාව නව මුහුණුවරකින් සංගීත්ගේ සිතුවම්වලින් දකින්න පුලුවන්.
• මේ සිතුවම් ස්ථානගත කර ඇති ආකාරයේ ද විශේෂයක් තිබෙනවා. කාන්තාවන් උහුලන දිවි බර, නරඹනු සඳහා අපට පැරඩයිස් රෝඩ් කලාගාරයේ මත්ස්‍යයින් සරන පොකුණ වටා ගමන් කරමින්, අවන්හල පෙදෙසට පා තබන්නට හැකි අතර ඒ කොටසට පිවිසෙනවිට, සංගීත්ගේ ස්ත්‍රී විශයෙහි සිතුවම්, වඩා නූතන මුහුණුවරක් ගන්නා බව අපගේ විශ්වාසයයි. යම් කුලයක් නියෝජනය කරන කාන්තාවකගේ මුහුණ මත ඇති හාෆ්බොයිල් වී කහමද වැගිරෙන බිත්තරය සහිත සිතුවම ස්ථානගත කර ඇත්තේ, අවන්හලේ ආහාර පිළියෙළකරන ස්ථානය ඉදිරියේ ය. ආහාර වීදුරු වැසුමකින් වසා ප්‍රදර්ශනයට ඇති, ඇනවුම් කළ හැකි තැන ඉදිරියේ ඇති කාන්තා රූ තුන, කැමරාවකට මුහුණපාන්නා සේ සෘජුව සිටගෙන තම රූපය ප්‍රදර්ශනය කරනවා. ලෝකයා විසින් තමන්ව රාමුකළ, බැඳලූ සාම්ප්‍රදායික ස්ත්‍රී හැසිරීම්, චර්යා පද්ධතිවල සිට (තුන්වෙනි චිත්‍රයට එද්දී) ඒ බැඳීම්වලින් නිදහස්ව තම අභිමතය අනුව අංග චලන විලාස හසුරුවන කාන්තාවක් දක්වා විතැන්වීමක් පෙන්වනවා.
එසේ නූතනයට පා තබන, සම්ප්‍රදාය සේ ම නූතන, නිදහස් මතවාද අගයන, පිළිගන්නා කාන්තාවන් ද මේ නිර්මාණ පෝෂණය කරන්න දායක වනවා. වර්තමානය, නූතනය හා අතීතය මුසුකිරීමෙන් වඩවන අතීත කාමය, නරඹන්නාට රසක් බවට පත්වන අතර ම කරුණ රසයක් ද ජනිත කරනවා. සිතුවම්වල ඉදිරිපස දකින ප්‍රධාන රූ මෙන් ම ඒවායේ පසුතලය සඳහා සංගීත් භාවිත කළ, ලංකා සිතියම, රෙදිවල ෆැබ්‍රික් රටා, පත්තර පිටු, කරත්ත රෝද, වෙළඳ දැන්වීම්, රවුම්, පැල්පත් ගොඩනැගිලි ආදිය ධනවාදය, වෙළඳපොළ, ආකර්ෂණය මෙන් ම දුගීබව, තනිකම අතරෙහි ඉල්පෙනු දකින්න පුලුවන්.
මේ සියල්ල අතරින්, එක් සිතුවමක් ගැන විශේෂයි |
සටන්පාට කියන, වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින සිටින ක්‍රියාශීලී ජනකායක් උතුරන පොළොව ද, රතු (ලේ) පසුබිමක දී ජනතාවට ‘කිරිදෙන’ පියයුරු නමැති පුන්කලස් රැඳුණු අහස ද, සහිත කොලාජ් සිතුවම • වත්මන් මව්බිමේ මහජන අරගලයත්, ඊට මුල් අඩිය තැබූ ජනතා පිබිදීම ඇතිකළ, බිලිදෙකු වඩාගත් මවගේ ජායාරූපයත්, විශේෂයෙන් කාන්තා නියෝජනයත් නිර්මාණශීලී ප්‍රවේශයකින් කළ ‘නිල ඇල්ලීමක්’ බව කිව යුතුයි.
• ඩිල්ශානි චතුරිකා දාබරේ