ශිරාස්, උබ පුදුම වාසනාවන්තයෙක්..!

Get Up, Stand Up. Stand Up for your Rights.

“නැගිටපල්ලා… කෙලින් හිට ගනිල්ලා” කියනවටත් වඩා අපිට දැනෙනව  “ගෙටප් ස්ටෑන්ඩ් අප් ” කීවම.

ඒ වචන… ඒ රිද්මය ඇහෙද්දි ඉබේටම නැටවෙනව… ඒ නැටවෙන, දැනෙන රිද්මයේ තියනව හරි අමුතු ජවයක්..   ඒ ජවය නොදැනෙන තරුණයෙක් තරුණියක් ඉන්නව නම් ඒ අනුකම්පා කළ යුතු චරිතයක් කියල මට හිතෙනවා.

ජපුරෙ කසගස් යටදිත් ඔය සිංදුව කීවා. ඒ දවස් වල නම් සිංදුවේ බාගයක වත් වචන මතක නෑ. පුංගුඩුතිව් වෙරළෙ දිත් මහ රෑ ඔය සිංදුව කීවා.   මං දන්නව එදා ඒ සිංදුව කියපු උන්ගෙන් කීප දෙනෙක් හරි මේක කියවනව කියලා.

ඇන්ගෝලාවෙ ලුආන්ඩා නගරයෙදි හමුදා ආක්‍රමනයක් ආපු දවසකත් අපි ඔය සිංදුව කීවා. පොඩි ගිනි ගොඩක් ගහල රතු කුරුස සංවිධානයේ  සගයො එක්ක ඔය සිංදුව කියද්දි හෙට දවස ගැන අපි දැනගෙන හිටියෙ නෑ.   තාමත් දැනෙනව ඒ රිද්මය. ගෙටප් ස්ටෑන්ඩ් අප්.

මේ වචන ඇහෙද්දි බොබ් මාලිව හිතේ ඇඳෙනව… කෙසඟ උස ශරීරෙ… හැඩපළු ගෙතුනු දිග කැරලි කෙස්.. තියුණු ගැඹුරු ඇස්.  මිනිස්සු වෙනුවෙන් සටන් කරපු අපූරු මිනිහෙක්( Bob Marley  1945-1981).

ජීවිතේ යම් යම් කාල පරිච්ඡේද තුල බොබ් මාලි කියන්නෙ මිනිහෙක්ද.. වෙනත් ලෝකෙකින් ආපු දූතයෙක්ද කියල හිතුනු වෙලාවල් අපි බොහෝ දෙනෙකුට තිබුන… .  අපේ සමහර සගයන්ට ඌ දෙවියෙක්..

ඌ ලෙජන්ඩ් කෙනෙක්.. පුරාවෘත්තයක් කියල තවත් බොහෝ දෙනෙක් කියනවා.

එයා ගැන වෙන දවසක කතා කරමු.

1973 අවුරුද්දෙ තමයි මේ සිංදුව මුලින්ම ලෝකෙට ඇහෙන්නෙ.  ඒ කාලෙ බොබ් මාලි හිටියෙ ‘ද වේලර්ස්’ කියන සංගීත කණ්ඩායමේ.  බොබ් මාලි ඇන්ඩ් ද වේලර්ස් ( Bob Marley and wailers)  කියලත් මේ සංගීත කණ්ඩායම ජනප්‍රිය වෙලා තිබුණා.

වේලර්ස් කියන එකට හරි සිංහල වචනයක් කියන්න බැහැ.  වැලපෙන්නන් කියන ඒකට ගැලපෙන්නෙ නෑ. වේල් කියන එකෙන් අදහස් වෙන්නෙ උච්ඡ ස්වර‍යෙන් කෑගහල කියන දුක වේගය හෝ වේදනාව කියල කිව්වොත් වැරදි නෑ. ඒක හරියට අසාධාරණයට විරුද්ධව උස් හඬින් ශෝක ගීතයක් ගැයීම වගේ දෙයක්.

බ්ලූස්  ( Blues) හා වේල්ස් ( Wails)  නිර්මාණය වෙන්නෙ අප්‍රිකාවෙ ඉඳල දම්වැල් දාල බැඳගෙන ආපු වහල් කළු මිනිස්සු අතින්.   බ්ලූස් හරහා ඔවුන්ගේ දුකත්, වේල්ස් හරහා ඔවුන්ගේ ආවේගයත්  රිද්මයානුකූලව අපිට ඇහෙනවා.

තම රට.. තමන්ගෙ බිම.. ගම් බිම් .. නිවෙස්.. ආදරය කරන අය අහිමි වෙලා හැතැප්ම දාස් ගාණක් ඈත රටක වහලෙක් වී තනිවීමේ දුක වචන වලට පෙරලන්න අමාරුයි.

බර්නින් ( Burnin) කියන ඇල්බමයට ඇතුලත් වෙච්ච මේ ගීතය ලිව්වෙත් බොබ් මාලි හා පීටර් ටෝශ් දෙන්නා.

අප්‍රිකාවෙන් අල්ලගෙන ආපු වහලුන් ඇමරිකානු බිමට ගෙනියන තෙක් රඳවල හිටපු දූපත් තමයි අපි අද බටහිර ඉන්දීය කොදෙව් දූපත් විදිහට දකින්නෙ.

කියුබාව, ජැමෙයිකාව, බහමාස්, බාර්බඩෝස් වගේම ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හංගල තියෙන බ්‍රිට්ශ් වර්ජින් අයිලන්ඩ් අයිති වෙන්නෙත් මේ කියන රැඳවුම් කඳවුරු දූපත් වලටයි.

අද වගේම ස්ටෑන්ඩ් අප් ගීතය ලියවුනු 1972/ 73 කාලයේත් මේ දූපත් සමූහයේ දුප්පත්ම අවාසනාවන්තම දූපත තමයි හයිටිය.  බොබ් මාලි හා එයාගෙ කණ්ඩායම හයිටියේ සංචාරයකට යනව දුප්පත් මිනිස්සු වෙනුවෙන් සිංදු කියන්න.

ඒ සංචාරයේදී… මිනිස්සු පත්වෙලා හිටපු අසරණ බිඳුනු ස්වභාවය තමයි මේ ගීතය ලියන්න හේතු වෙන්නෙ. පීටර් ටෝශ් පසුකාලීනව කියල තිබුන හැමදාම හවස සිංදු කියල නවාතැනට එද්දි බොබ් මාලි හඬා වැටුන පොඩි එකෙක් වගේ කියලා.

ඒ තරමටම  හයිටියේ මිනිස්සුන්ගෙ දුක මාලිගෙ හදවතට දැනිල තිබුනා.

අනුන් වෙනුවෙන් කඹුරන.. අයිතියක් දැක්මක් නැති ජීවිත.. අසරණ වෙච්ච අතෑරල දාපු ජීවිත වලටයි මේ ගීතය ගැයෙන්නෙ. මිනිසුනේ නැගිටපල්ල… කෙලින් හිටපල්ල.. සටන් කරපල්ල උඹලගෙ අයිතීන් වෙනුවෙන්…. මේ තමයි ස්ටෑන්ඩ් අප් ගීතයේ අර්ථය.

1980 දි බොබ් මාලි තමන්ගෙ ජීවිතයට සමු දුන්නත් ඒ හඬ ඒ චරිතය හැමදාම ජීවත් වෙනවා. මේ වචන.. රිද්මය.. විලාසිතාව… නම… මේ ලොකෙ පවතින කම්ම තියනව පරපුරක් පරපුරක් ගානෙ.

1973 අවුරුද්දෙ ඇමරිකානු පොප් චාට් වල ඉහලටම නැග්ග මේ සිංදුව…. 2020 අවුරුද්දෙත් ආපහු ලෝකයේ අංක එකට නැග්ගෙ රෝලින්ග් ස්ටෝන් කණ්ඩායම එක්කයි. කවදාවත් මේ සිංදුව පල්ලෙහාට බැස්සෙ නෑ. වැල්ලෙ අවුලපු  ගිනි මලයක් වටේ රවුමට නටමින් හීන් දුමක් ඉහල නගිද්දි මේ සිංදුව නොකියපු තරුණයො හරි අඩුයි. ඒ එක්කම ලෝකෙ මොන රටක.. අරගලයක් විප්ලවයක් තිබ්බත් ගෙට් අප් ස්ටෑන්ඩ් අප් ගීතය ඇහෙනවා, ගැයෙනවා. සර්බියාවෙ, ඇන්ගෝලාවෙ, ආර්ජන්ටිනාවෙ, සියෙරා ලියොන්, වියට්නාමය.. ලංකාවෙ වහේම වනවාටු වලත් මේ ගීතය මං අහල තියනවා.

මේ ලියන මොහොතකට කලින් මේ ගීතය ඇහුනා ගෝටාගෝ ගම ඇතුලේ.  තමන්ගෙ හෙට දවස වෙනුවෙන් එකතු වෙච්ච පොඩි එවුන්ගෙ තරුණ ජවය මේ සිංදුව ඇතුලෙ ගැයුනා.

“ලංකාවත් හයිටිය වෙන්න කලින් නැගිටපල්ලා සටන් කරපල්ලා” කියල ඒ පොඩි එවුන් කෑගහල ගැයුව මේ මොහොතකට කලින්. ඒ රිද්මය  නිසාමයි කරපු වැඩේ අතෑරල මේ ලියන්නෙ.

ඒත් එක්කම ඒ සිංදුව කියපු තරුණයෙක් මොහොතකට පස්සෙ හෘද ආබාදයකට මූණ දුන්න. අවාසනාවකට ඒ  අතරතුර ඌව එක්කන් ගිහින් තිබුනා. එයාගෙ නම ශිරාස්.  ශිරාස් ඔය ගීතය කියල ඉවර වෙද්දිම ඌට ආදරය කරපු මිනිස්සු මැද්දෙම යන්න ගිහින් තිබුනා. සන්නස්ගල මහත්තයා දාපු පණිවිඩේකින් තමා මං ඒක දැන ගත්තෙ.

ශිරාස් පුදුම වාසනාවන්තයෙක් කියල මට හිතෙනව. ඌ යන්න ගියේ හදිස්සියේම .. ඌට ආදරය කරන එක අරමුණකට සටන් කරන මිනිස්සු මැද්දෙ.  ඒ ආදරය උතුරන මොහොතක.  ඌ හීන දකිමින් හිටියෙ අපේ රට නිදහස් කරගන්න. ඌත් එක්ක තව ගොඩාක් තරුණ තරුණියො ඔය සිංදුව කෑ ගහල කීවා. ඌ තනි නෑ..  ශිරාස් පොඩ්ඩක්වත් තනි නෑ.

මේ ලියුම කියවල නිවන් සැප ලැබේවා කියල ලියන්න එපා… අඬන ඉමෝජි එක දාන්න එපා. ඌ අපිට නැතිවීම දුකක් තමයි. ඒත් ඌ පිටවෙලා ගියේ සන්තෝසෙන්….

ඌ අන්තිමට කීවෙ….  ගෙට් අප් සටෑන්ඩ් අප්..  ස්ටෑන්ඩ් අප් ෆෝ යුවර් රයිට්ස්.

Get up Stand up… Stand up for Your Rights.

“මිනිසුනේ නැගිටපල්ල… නැගිටල සටන් කරපල්ල උඹලගෙ අයිතීන් වෙනුවෙන්.”

රට වෙනුවෙන්.. ශිරාස් වෙනුවෙන්.. ශිරාස් වගේ තරුණයො වෙනුවෙන්… උන්ගෙ හෙට දවස වෙනුවෙන් වයසක වයෝවෘද්ද රැලකට කොහොමද මේ තරුණ ජවය නවත්තන්න පුළුවන්..

“නැගිටපල්ල… කෙලින් හිටපල්ල… උඹලගෙ  අයිතීන් වෙනුවෙන් සටන් කරපල්ල..” සිංදුවේ කියන්නෙ එහෙමයි.

ශිරාස් ස්තුතියි මිත්‍රයා… අපිට පාර පෙන්නුවට..  ගෝටාගෝ ගමටත්.. අපිටත් උඹව හැමදාම මතකයි. රොබින්හුඩ් කීවෙත්.. කිසිවක් අමතක නෑ… කිසිවක් කවදාවත් අමතක නෑ කියලයි.

ආයෙ දවසක හමුවෙමු. බොබ් මාලිව මුන ගැහුනොත් මතක් කරා කියපං.

Malcolm sang ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගතිමු..

12.04.2022

 

Social Sharing
නවතම විශේෂාංග