අතුරුදහන් ප්‍රමානය කියන්න බැහැ – අමාත්‍ය අලි සබ්‍රි

‘අතුරුදහන් කළවුවන්ගේ හරි ගණනක් කියන්න බැහැ. එක එක්කෙනා එක එක ගණන් කියන්නේ. අපි පිලිගන්නවා යුද්ධය පැවති කාලයේ ලොකු ගණනක් අතුරුදහන් කියලා. අපිට එයාලගේ පණ ආපසු දෙන්න බැහැ. ඒකයි අපි ඊට විසඳුම් සොයන්න වෑයම් කරන්නේ’ යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි වීරකේසරිය වෙත ප්‍රකාශ කර ඇත.

ඇමතිවරයාට අනුව යුද්ධයේ දී අතුරුදහන් වූ රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 4000 කි. එය සනාථ කිරීමට ලියකියවිලි ඇති බවද ඔහු පවසයි. ඊට වැඩි සංඛ්‍යාවක් LTTE සාමාජිකයන් අතුරුදහන් වූ බව බැහැර නොකරන ඔහු සාමාන්‍ය ජනතාවට එරෙහිව රජයේ හමුදාව අපරාධ කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන ඇති තොරතුරු, ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කරන්නේ කොටි නායක ප්‍රභාරකරන්ගේ මරණය එයාගේ පවුලේ අයට දුකක් සහ කණගාටුවක් බව තමන් පිලිගන්නා බවය.

දෙමළ ඥාතීන් 2009 සිට අවධාරණය කරන කරුණක් වන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානයට කිසියම්ම හෝ සම්බන්ධයක් තිබුණු අයකු වේ නම් යුද්ධාවසානයෙදී රජයේ කැඳවීම පරිදි යුද හමුදාවට බාර දෙනු ලැබූ බොහොමයක් අතුරුදහන් කර ඇති බවයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ රජයේ කාර්යාලයේ (OMP) පිළිගැනීම අනුව එම පිරිස විසිදහසක් පමණ වෙයි.

රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගිය හා තමන් විසින් රජයේ හමුදා වෙත බාර දුන් සිය ආදරණිය සමීපතමයන්ට සිදුවුයේ කුමක්ද යන්න හෙළිදරව් කළ යුතු බවට ඉල්ලා සිටින අතුරුදහන් කළවුන්ගේ ඥාතියෝ, ආණ්ඩුව යෝජනා කර සිටින වන්දි මුදල් හා මරණ සහතික ලබාගෙන විරෝධතා අත්හැරීම තරයේ ප්‍රතික්ෂේප කරති. මෙහිදී ‘අපි අහන්නේ මැරිච්චි අය ගැන නෙවෙයි. අපි අහන්නේ ඒගොල්ලන්ගේ කීම විශ්වාස කරලා යුද්ධයේ අන්තිම දවස්වලදී බාර දීපු අයට මොකද උනේ කියන එකයි’ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා ලීලාදේවි ආනන්දනඩරාජා අධිකරණ ඇමැතිට ප්‍රතිචාර දක්වමින් BBC යට පවසා තිබුණි.

මේ අතර හමුදාව භාරයේ සිටි පිරිස් මරුමුවට පත්ව සිටී නම්, ඒ කෙසේදැයි හෙළි කොට ඔවුන්ගේ මරණවලට වගකිව යුත්තන්ට ජාත්‍යන්තර නීතිය අනුව දඬුවම් කළ යුතු බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පවසයි. තත්ත්වය මෙසේ තිබියදී ‘යුක්තියට ප්‍රවේශයක්’ යනුවෙන් නම්කළ ජංගම සේවාවක් සමග උතුරට ගිය අධිකරණ ඇමතිවරයා, ඔහු මුණගැසී ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ආ බලහත්කාර අතුරුදහන් කිරීමෙන් පීඩාවට පත් ඥාතීන්ට මුහුණ නොදී කොළඹ ගොස් තිබුණේය.

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ට යුක්තිය ඉල්ලා ඔවුන්ගේ ඥාතින් ගෙන යන අඛණ්ඩ අරගලයට එළඹෙන පෙබරවාරි 20 වැනිදාට වසර පහක් සැපිරීම නිමිත්තෙන් දැවැන්ත පෙළපාලියක් පැවැත්වීමට නියමිත බව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ කිලිනොච්චි දිසා නායිකා යෝගරාසා කනගරන්ජනී සති අන්තයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. එහිදී ඇය මෙසේ කියන්නීය.. ‘අවුරුදු පහක් පුරා අපේ දරුවන් වෙනුවෙන් ලංකා ආණ්ඩුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලුවා. එය ඉටු නොකළ නිසා මින් පසු අපි ජාත්‍යන්තරයෙන් සාධාරණත්වයක් ඉල්ලා සිටිනවා’.

එලබෙන පෙබරවාරි 28 සිට අප්‍රේල් 1 දා දක්වා ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 49 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. යුද අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එක්රැස් කරගෙන තිබෙන සාක්ෂි සම්බන්ධයෙන්ද තොරතුරු එහිදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.

Social Sharing
නවතම