ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!

කිසිදු සෝදිසි කිරීමකට යටත් නැති මුල්‍ය සමාගම් දෙන ණය සඳහා ගිනි පොලී ගෙවාගත නොහැකිව දෙසියයකට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් සියදිවි හානිකරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විසින් ඇතිකොට තිබෙන විනාශයේ තරම අනාවරණය කෙරුනේ රජයේ ආරාධනයෙන් පැමිණ දිවයින පුරා කළ සංචාරයක් නිම කළ එක්සත් ජාතීන්ගේ  විශේෂ නියෝජිතයකු විසිනි.

“ණය සඳහා අයකෙරෙන ඉතා ඉහල පොලී රේට්ටු නිසා බොහෝ කාන්තාවෝ ණය දාස භාවයට ගොදුරු වෙති. මේ නිසා පසුගිය අවුරුදු කීපය තුල කාන්තාවන් 200 කට වඩා  සියදිවි හානි කරගත් බව වාර්තා වී ඇත,” යි සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමෝයා ඔබොකටා කොළඹදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ඔහු මානව හිමිකම් කොමිසමේ, සිවිල් සමාජ සංවිධානවල, වෘත්තීය සමිතිවල නියෝජිතයන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයන්, ශාස්ත්‍රඥයන්, සංක්‍රමණික සේවකයන් සහ ශ්‍රම සූරා කෑමට ගොදුරුවුවන් ද හමු වූ බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද පොරොන්දුවක් වූයේ ලක්ෂ සංඛ්‍යාත ග්‍රාමීය කාන්තාවන් ගිනි පොලී ණය උගුලෙන් ගලවා ගැනීමයි.

“සමහර බැංකු තමන්ට නීත්‍යනුකූල අයිතියක් පවා නොතිබිය දී සහ ඇතැම් මූල්‍ය ආයතන පසුගිය කාලය පුරා කිසිදු නියාමනයකින් තොරව රට පුරා ප‍්‍රචලිත කළ ගිනි පොලීකරුවන්ටත් වඩා පීඩාකාරී ලෙස ලබාදුන් විවිධ ක්ෂුද්‍ර ණය වැඩසටහන් නිසා ග‍්‍රාමීය කාන්තාවන් ලක්ෂ ගණනක් පීඩනයකට පත් වී ඇත. එවැනි කාත්තාවන්ට කඩිනමින් සහන සැලසීම සදහා අසාධාරණ ලෙස ලබාදී ඇති ක්ෂුද්‍ර ණය කපා හැරේ,” යනුවෙන් ‘සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රකාශනයේ දැක්වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා හෙළිකරගත් තොරතුරුවලින් පෙනී ගොස් ඇත්තේ එම පොරොන්දුවත් ඉටු නොවී ඇති සැටියකි.

“මේ සූරාකන ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් නියාමනයට සහ අධීක්ෂණයට ආණ්ඩුව අද වනතුරු කිසිදු පලදායි හෝ කාලෝචිත හෝ පියවරක් ගෙන නැතිවීම ගැන මම මහත්සේ කම්පාවට පත්ව සිටිමි. මෙහි ප්‍රතිපලය වී ඇත්තේ කිසිම බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට ඔවුන්ට ඉඩ ලැබී තිබීමයි,” යනුවෙන් ටොමෝයා ඔබොකටා පැවසීය.

තම සංචාරයේදී දෙන ලද නිර්දේශ ගණනාවක් සැලකිල්ලට ගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙම ණය දෙන ආයතන නියාමනය සඳහා නීති සම්පාදනය කිරීමට පියවර ගන්නා බවට සහතික වුයේ යයි විශේෂ නියෝජිතයා කියා සිටියේය.

සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමෝයා ඔබොකටා ගේ සංචාරයේ අවසන් වාර්තාව ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

200 Sri Lankan women commit suicide due to micro finance loans - UN

Social Sharing
නවතම