ගෑස් හිල වහන්න ජනපතිගෙන් කමිටුවක්!

මේ වනවිට දිවයිනේ සතර අතින් වාර්තා වන්නේ ගෑස් පිපිරීම් ය. තැන තැන කසුකුසු ගෑස් සිලින්ඩර මාරයා ගැනය. ගෙදර උන්දෑට දැන් නින්ද යන්නේ ද නැත. සැරි සැරේ අවධිවන්නේ ගෑස් කාන්දුවක් දැයි විපරමටය. එනිසා සැමියාත් විටින් විට අවධි විය යුතුය. මේක මාරම පරිප්පුවක් බව හැටනම ලක්ෂයේ ඡන්දදායකයෝ ද කනින්-කොනින් කතා වෙති. මේ ගෑස් ජරමරය පටන් ගත්තේ ලාභය තර කරගැනීමට ලිට්‍රෝ සමාගම වටවංගුවක් ගැසීම නිසා ය. දැන් ලිට්‍රෝ කියන්නේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සමග පසුගිය ජූලි මාසයේදී වෙළඳපොළට යොමුකළ බව ය. එලෙස මාධ්‍යට කියන්නේ ලිට්‍රෝ කළමනාකරුවෙක් වෙන අයි. විජයරත්න මහතා ය. මේ පිළිබඳව එවක පාරිභෝගික සේවා අධිකාරියද යම් අවධානයක් දැක්වීය. එහෙත් සමාගම එය ගානකට ගත්තේ නැත. ගෑස් පාරිබෝගිකයන් කීවෝ වෙනදා මෙන් නොව ගෑස් ඉක්මනින් අහවර වෙන බවය. ගෑස් සංයුතියද බරද අඩුකර ලිට්‍රෝ සමාගම කළ මේ සෙල්ලමේ අවසානය, අද තැන තැන නිවෙස් ගිනි ගැනීමය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ජේ.සී.අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, වේලු කුමාර්, සුජිත් සංජය පෙරේරා සහ දුලිප් විජේසේකර, පසුගිය 30 දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතගොස් ගෑස් සම්බන්ධයෙන් වන ප්‍රමිතිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් සිදුකළේ ය. එම අවස්ථාවේදී ප්‍රමිති ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන්ති නාරංගොඩ මහත්මිය එම මන්ත්‍රීවරුන් සමග කතාබහක නිරතවෙමින් පැවසූවේ ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිතියක් තිබුණ ද එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකි බවය. විෂ සහිත පොල්තෙල් ආනයන අවස්ථාවේදී ප්‍රමිති ආයතනයේ ප්‍රධානියා කළ ප්‍රකාශයට නොදෙවෙනි මෙම ප්‍රකාශය කියන්නේ රාජ්‍ය වියදමින් නඩත්තුකරන මෙම ආයතන මක්කටැයි කියා ය.

මෙම ගෑස් ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙලෙස ප්‍රකාශ කළේය.   ” මේ ප්‍රශ්නයේ මූලාරම්භය පටන්ගත්තේ, මෙම වසරේ මුල් භාගයේ දී ලීටර 18 ක හයිබ්‍රිඩ් නමින් ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමත් සමග ය. පාරිභෝගික ජනතාව නොමඟ යවමින්, අධික ලාභයක් ලැබීම සඳහා මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇත. එසේම, පාරිභෝගික අධිකාරිය හෝ වෙනයම් රාජ්‍ය ආයතනයක් හෝ නිසි පරිදි දැනුම්වත් කොට මෙය සිදු නොකළ හෙයින් එම ක්‍රියාව නැවැත් වූ බවත්, එම ගෑස් වෙළඳපොළෙන් ඉවත් කළ බවත් ගරු රාජ්‍ය අමාත්‍යතුමා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගරු රාජ්‍ය අමාත්‍යතුමාට අනුව එම වංචනික ක්‍රියාව අවසන් විය. එය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා ඇත. කෙසේ වෙතත් ගෑස් කාන්දු වීම් මගින් පිපුරුම් අනතුරු රටපුරා වාර්තා වෙමින් තිබෙයි. ලීටර 18 ගෑස් සිලින්ඩර වංචාවේ දී අනාවරණය වූ එක් ප්‍රධානතම ගැටලුවක් වූයේ, සංයුතිය වෙනස් කොට ගෑස් සිලින්ඩරයේ බර අඩු කිරීම ය. දෙවැනි බරපතලම ගැටලුව වූයේ, අප වැනි ඝර්ම කලාපීය රටකට කිසිසේත් ම නොගැලපෙන සංයුතියකට ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන්, බියුටේන් මිශ්‍රණ ප්‍රතිශතය වෙනස් කිරීම ය. එනම්, ගරු රාජ්‍ය අමාත්‍යතුමා මෙම සභාවට පැහැදිලි කළ අයුරින් මෙම වංචාව සදහා ගෑස් සිලින්ඩරයක එතෙක් පැවති බියුටේන් හා ප්‍රොපේන් සංයුතිය 70:30 සිට 50:50 දක්වා වෙනස් කර ඇත”

ගෑස් අවුල, අවුලෙන් අවුලට යනවිට ගෑස් කාන්දුවේ හිල වැසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපූරු යෝජනාවක් ගෙනවිත් ඇත. ඒ මේ පිළිබඳව කරුණු සොයා සති දෙකක් ඇතුලත වාර්තාවක් දෙන්න කමිටුවක් පත්කිරීම මගින් ය. මෙම කමිටුවේ සභාපති ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ශාන්ත වල්පොළ පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් වන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඇතුලු පිරිසක් ය. විහිළුවට කාරණය වන්නේ වහාම ගෑස් සිලින්ඩර් නැවත නොගෙන්වාගෙන කරනු ලබන මේ සෙල්ලම නිසා තව ජීවිත කීයක් විනාශ වෙයිද යන්න යි. එනිසා ගෑස් පාරිබෝගිකයන්ට ප්‍රකාශ කළ යුත්තේ ජනපතිගේ කමිටුව කෙසේ වෙතත් තමන්ගේ සුරක්ෂිතතාවයට පියවර ගන්න කියා ය. තත්ත්වය කෙසේවුවත් ගැටලුව වන්නේ, මේවනවිට කොළඹ, කොට්ටාව,  වැලිගම, අලව්ව, රත්නපුර හා නිකවැරටිය යන ප්‍රදේශවල දිගින් දිගටම ගෑස් පිපිරීම් සහ එනිසා සිදුවූ මරණ වාර්තා වෙමින් තිබීමය. එහෙත් ලිට්‍රෝ සමාගම මෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තවමත් මර නින්දේය.

Social Sharing
නවතම