ළමා විවාහ සහ ළමා හිංසනය

Child marriage and child abuse in Sri Lanka

‘ මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ. ඒත් බැඳපු දවසෙ ඉඳලා මටයි මගේ පුතාටයි නිදහසක් නම් නැහැ ‘ ඇයගේ නම මම රමණි කියලා කියන්නම්. මට ඇයව මුණ ගැහුනේ දුප්පත්කමේ පත්තේ ජීවත් වෙන මිනිසුන් බහුතරයක් වෙසෙන මොනරාගල දී. ඇය හිංසනයට ගොදුරුවෙලා තියෙන්නේ සිය පවුල ඇතුලතදීමයි. මොනරාගල නැතිනම් පහළ වෙල්ලස්ස කියන්නේ හේන් ගොවිතැන බහුල පළාතක්. අනෙක් පැත්තෙන් වතු ආර්ථිකයේ නටබුන් සහිත තවමත් අමාරුවෙන් වැවිලි ආර්ථිකය හුස්ම ගන්න පළාතක්. මේ ආර්ථික චිත්‍රය සිතේ තියාගෙන මේ කතාව කියවන්න.

‘ මම පාසල් ගියේ පොතුවිල. එතකොට එයා වැඩට යනවා. අපි එහෙම යන අතරේ තමයි යාළු වුණේ. අපි විවාහ වෙනකොට මට වයස අවුරුදු 15යි. අවුරුදු දාසයේ දී මේ දරුවා ලැබුණෙ. මට තාත්තා නැහැ. අම්මා ඉන්නේ රට. මම හිටියේ අයියලගෙ ගෙදර. අපි මාස හයක් ආදරේ කරල විවාහ වුණේ. දැන් එයා අපි ගැන හොයා බලන්නේ නැහැ. ආයෙත් විවාහ වෙන්න අදහසක් නැහැ. දරුවා හදාවඩා ගන්නයි ඕනේ. ගාමන්ට් ගිහිල්ලා දරුවා හදා ගන්න හිතන් ඉන්නේ ‘. 

මේ රමණිගේ කතාව වගේම තවත් කතාවක්. මේකත් අහන්න ලැබුණේ මොනරාගලදී. මේ කතා දෙකටම හේතුව ළමා විවාහ සංස්ක්ෘතිය. ඌව පළාත, උතුරු මැද පළාත, උතුරු නැගෙනහිර වගේ පළාත් ගත්තාම තවමත් ළමා විවාහ විශාල වශයෙන් දකින්න පුලුවන්. මේක ළමා හිංසනයේ තවත් එක පැතිකඩක් විතරයි. ලංකාව පුරාම අපයෝජනයට, අතවරයට ලක්වූ දරුවන් සිටිනවා. අඩු වයසින් ගැබ් ගැනීම මේ අපයෝජනයේ එක් ස්වරූපයක් පමණයි.

ඇත්තටම මොකක්ද ළමා අපයෝජනය කියලා කියන්නෙ? 1999 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා පුළුල් අර්ථ දැක්වීමක් ලබා දීලා තියෙනවා.

ඒ කායිකව හෝ මානසිකව ළමයාට සිදු කරන්නා වූ සියලුම ආකාරයේ නොමනා ක්‍රියා, ලිංගික අපයෝජනය, නොසලකා හැරීම හෝ නොසැලකිලිමත් ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයෙන් සූරාකෑම හේතුවෙන් ළමයාට හෝ ළමයාගේ සෞඛ්‍යය, පැවැත්ම, සංවර්ධනය හෝ වගකීම, විශ්වාසය හෝ බලය යන සබඳතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම, එසේ විය හැකි ලෙස ක්‍රියාකිරීම ළමා අපයෝජනය වශයෙන්.

මේ පිළිබඳව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර දක්වන්නේ මෙවැනි අදහසක්.

“ලෝකයේ වසරකට මිලියන ගණනක් දරුවන් අපයෝජනයට ලක් වෙනවා. ලංකාවේ එහෙම නැද්ද? ලංකාවෙත් එහෙම තමයි. ලෝක ප්‍රවණතාව දිහා බැලුවත් ලංකාවේ තත්ත්වය බැලුවත් ශීඝ්‍රයෙන් වර්ධනය වන, ඉහළ යෑමේ ප්‍රවණතාවක් තමයි මෙහි දක්නට ලැබෙන්නේ. 2011-2020 කාල පරාසය තුළ ජාතික ළමා රක්ෂණ අධිකාරියට ලැබිච්ච පැමිණිලි සංඛ්‍යාව 89409ක් බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එම පැමිණිලිවලින් 2021 ජනවාරි 31වන දින වන විට නොවිසඳුන පැමිණිලි සංඛ්‍යාව 40668 බවට එම ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.”

ළමා හිංසනයට තිත පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියට තියෙන්නේ මෙවැනි කතාවක්.

‘මේ දවස්වල අපි ගොඩක් ලිංගික අපයෝජන ගැන කතා කරනවා. අපි මේවා පත්තර වල දකිනවා. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාවේත්, ගෝලීය වශයෙනුත් වෙන ළමා අපයෝජන වර්ග 4කින් ( ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන සහ නොසලකා හැරීම් ) බහුතරයක් පහරදීම් වැනි ශාරිරික අපයෝජන. නමුත් අපි ඒවා බොහෝවිට සාධාරණීයකරණය කරලා මේ ලිංගික අපයෝජන ගැන වැඩි වශයෙන් කතා කරනවා. ඒ නිසා ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට නම් කුඩා වයසේ සිට නැහැ බැහැ කියන වචන දෙක ඔවුන්ට කියා දෙන්න. ඒ වගේම හිතට බයක් ඇතිවෙන අවස්ථාවක කෑගහන්න, දුවන්න යම්කිසි තමන්ට හිතවත් වැඩිහිටියකුගෙන් උපකාර ඉල්ලන්න ඔවුන්ට කියා දෙන්න. මේ නිසා ඔබ දරුවා විශ්වාස කරන්න. ඔබ දරුවාගේ ලඟින් ඉන්න ‘

Social Sharing

Related posts