පළිබෝධනාශක ගැසට්ටුව ගැන රෙජිස්ටාර් කථා කරයි.

ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් යන පළිබෝධනාශක තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කළ නිවේදනය අවලංගු කරමින් පසුගියදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ නොවැම්බර් 22  දාය.

මේ ගැසට් නිවේදනය නිකුත් කර පැය කිහිපයක් ඇතුලත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් එම ගැසට් නිවේදනය ආපසු හැරවීමට ක්‍රියා කළේය. එමෙන්ම පළිබෝධනාශක තහනම ඉවත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වන ජේ.ඒ. සුමිත් මහතාව වහාම එම තනතුරින් ඉවත් කර විමර්ශනයක් සිදු කිරිමටද අමාත්‍යවරයා නියෝග කර තිබුණි.

මෙය සමාජයේ දැඩි කථාබහට ලක් වු කරුණක් විය. විශේෂයෙන්ම මෙහිදි මතු වුයේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පමණි. නමුත් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ පාර්ශවයෙන් කරුණු මතුවුයේ නැත.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් මහතා මේ වන විට ඔහුගේ මතය ප්‍රකාශ කර ඇත.

ඒ තමන් කටයුතු කළේ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත්, ඒ නිසා තමන් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී නොවන බව කියා සිටියි.

නීතිවිරෝධී දෙයක් සිදු නොකළ නිසා තමාගේ තනතුරට කිසිදු ගැටලුවක් නොමැති බැවින් ධුරය අත්හැර ගෙදර යාමේ අවශ්‍යතාවයක්ද නොමැති බව ඔහු අවධාරණය කර සිටියි.

සුමිත් මහතා පවසන පරිදි මෙකී පළිබෝධනාශක තහනම ඉවත් කිරීම සඳහා පසුගිය රජය සමයේදී කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබූ බවත් 2018 වසරේදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කැබිනෙට්ටුව තීරණය කර ඇති අතර එම වසරේදීම සෙසු වල්නාශක තහනමද ඉවත් කර තිබෙන බවය.

නමුත් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ බවත් ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූයේ පසුගිය සතියේදී බවත් තමා සිදුකළේ නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ කැබිනට් තීරණය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම බවද  නීතිවිරෝධී කටයුත්තක් සිදුකර නොමැති නිසා රාජ්‍ය නිළධාරියෙකු වන තමා තනතුරෙන් පහකිරීමට කිසිවෙකුටත් නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම