කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

Constitution of Sri Lanka basil fernando

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු.

එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ පාලකයන්ට තමන්ගේ කටයුතු වඩාත් හිතුවක්කාර ආකාරයකින් කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදීය. කූඨ ව්‍යවස්ථාවක මූලික අංගය නම් රටේ පවතින ජනතාව පිළිගත් සාමාන්‍ය නීතිය අවතැන් කිරීම අරමුණු කොට ගෙන එම ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීමය. බලය පාවිච්චි කිරීමේදී  කිසිදු සීමාවකින් තොරව ඒවා කර ගැනීම වඩ වඩාත් පහසු කර ගැනීම සඳහා මෙවැනි කූඨ ව්‍යවස්ථා  නිර්මාණය කරනු ලබයි එහි අවසාන අරමුණ වන්නේ ජනතාවගේ ස්වෛරී භාවය විශාල වශයෙන් හෝ අංග සම්පූර්ණ වශයෙන් අවලංගු කොට දැමීමය. රටවැසියාගේ රටවැසි භාවය අවලංගු කාසියක් බවට පත්කිරීම කූඨ ව්‍යවස්ථාවක අරමුණවේ.

ඉහත කී කරුණ උදාහරණ සහිතව සාකච්චා කිරීම මගින් එහි අර්ථය වඩාත් පැහැදිලි කරගත හැකිය. 1972 දී හා 1978 දී නිර්මාණය කරන ලද ව්‍යවස්ථා වැටෙන්නේ මෙම කූඨ ලේඛන ගණයටය. 1972 ව්‍යවස්ථාවේ අරමුණ වූයේ රටේ පරිපාලන සඳහා  පැවති නෛතික රාමුව බිඳ දමා එහි පාලනයේ  අයිතිය විධායක යට කෙලින්ම පාලනය කළ හැකි ආකාරයට සකස් කරගැනීම ය. එය සකස් කරන ලද්දේ සිවිල් සේවා නිලධාරී තන්ත්‍රයේ  බලය විශාල වශයෙන් සීමාකොට සිවිල් සේවයේ ඉහළ නිලධාරීන් එනම් එක එක අමාත්‍යාංශය වටා සිටි ලේකම්වරුන්ගේ බලය නැති කොට එම බලය ඇමතිවරුන් අතට පත්කර ගැනීම මගිනි.

මේ අනුව දේශපාලනඥයා සිවිල් අයිතිය තමන් අතට පත් කර ගැනීම තුළින් සිවිල් සේවාවන් තුළ පැවතිය යුතු නීතිය හා විනය මත ක්‍රියා කිරීමට බාධා පමුණුවීම හිතුවක්කාර දේශපාලනය තීන්දු මගින් තමන් කැමති සේ ඒවා හසුරුවා ගැනීමට ඇති ඉඩකඩ පළල් කරගන්නා ලදී. මේ නිසා රටේ ප්‍රගතිය සහ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා 1972 මෙම ව්‍යවස්ථාව නිර්මාණය නොවු අතර  එය පටු දේශපාලන වාසින් අත්කර   ගනිමින් දේශපාලනඥයා වටා ගොඩනැඟුණු සිවිල් සේවයක් නිර්මාණය කිරීම කෙරෙහි යොමු වූ ව්‍යවස්ථාවක් විය. එම ව්‍යවස්ථාවේ අනිසි ප්‍රතිඵල අද දක්වාම ලාංකික ජනතාව ඉතා දරුණු ආකාරයකින් භුක්ති විඳ ඇත.

1978 ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද්දේ 1972 ට වඩා මහා පරිමාණව හිතුවක්කාර කම මත පමණක් පදනම් වූ පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහාය. එය කූඨ ලේඛන අතර අග්‍ර ගණයේ ලේඛනයකි. හිතුවක්කාර පාලනය හා නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ දේශපාලනය අතර පවතින්නේ අහසත් පොළවත් අතර මෙන් විශාල වෙනසකි. සත්භාවයෙන් යුතු අව්‍යාජ ව්‍යවස්ථාවක් එල්ලවන්නේ පාලකයාට හිතුවක්කාර ව හැසිරීමට ඇති ඉඩකඩ විශාල වශයෙන් නැති කර දැමීමටය.

එයට බද්ධව ඇත්තේ බලය හා බලය මගින් පාලනය කළ හැකි ජාතික ධනය රටේ හා ජනතාවගේ සුභ සිද්ධිය සඳහා පමණක්ම යෙදවිය යුතුය යන මහා සංකල්පය යි. මෙම මහා සංකල්පය බිඳ දමා පටු අවස්ථාවාදී උවමනා එපාකම් ඉටුකර ගැනීමේ කූඨ අරමුණු ඇතිව නිර්මාණය කරන ලද 1978 ව්‍යවස්ථාව යැයි කියන ලද ලේඛනය මුළු ලංකාව තුළ ම ඇති කළේ උපරිම ව්‍යවසන තත්වයකි. මෙම ව්‍යසන තත්ත්වය මෙම කූඨ ලේඛනය මගින් එහි නිර්මාතෘ  ජේ.ආර් ජයවර්ධන මහතා උත්සාහ කලේ උපරිම  ආකාරයක හිතුවක්කාර පිළිවෙතකට අනුව කටයුතු කිරීම මගින් තමන් බලාපොරොත්තු වූ කිසියම් අරමුණු ගණනාවක් ඉටුකර ගැනීමට හැකි යැයි තිබූ විශ්වාසය මතය.

ජයවර්ධන මහතාගේ ප්‍රධානම අරමුණ වූයේ පුළුවන් තරම් කාලයක් බලයේ රැඳී සිටීම ය. අවුරුදු පහක කාලයක් සඳහා ඔහු අගමැති වශයෙන් පත් වුවත් ඔහුගේ අරමුණ වූයේ ඔහුගේ ජීවිත කාලය පුරාම එම තනතුරේ රැඳී සිටීම ය. එයට විශාල ම බාධකය වූයේ ලංකාවේ පවතින ඡන්ද ක්‍රමයයි. මේ අනුව මිනිසුන් ඡන්දයෙන් තම නායකයා හා තම ආණ්ඩුව පත් කර ගන්නා අතර ඒවාට බලයේ රැඳී සිටය හැකි කාලය ද සීමිත කාලයක් සේ පිළිගෙන තිබුණි. එම පිළිගැනීම නිදහස ලැබුණු අවස්ථාවේ දී ඇතිකරගත් ව්‍යවස්ථාව තුළ ගැබ් කර තිබුණි. මේ අනුව ලෝකයේ ප්‍රජාත්‍රන්තවාදී  සම්ප්‍රදායේ අනුගමනය කරන රටවල් අතර පවතින මූලිකම අදහසක්, එනම් ආණ්ඩුවක් සීමාසහිත කාලයක් සදහා පත්කර ගැනීම පිළිබඳ ආකල්පය ව්‍යවස්ථා ගත කර තිබුණි. එම  ව්‍යවස්ථා ගත ආකල්පය නැති කර දැමීම තමන්ට බොහෝ කාලයක් පාලනයේ රැඳී සිටීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව වටහා ගත් ජයවර්ධන එය කර ගැනීම සඳහා ඔහු විසින් නිර්මාණය කරන ලද කූඨ ලේඛනය වූ 1978 ව්‍යවස්ථාව ප්‍රයෝජනයට ගත්තේය.

ජයවර්ධනට අවශ්‍ය වූ තවත් කරුණු ගණනාවක් වේ. එය නම් අධිකරණයේ බලය සීමා කර දැමීමය. ආණ්ඩුවක් විසින් ගනු ලබන තීන්දු වල නීත්‍යානුකූලභාවය තීන්දු කිරීම සාම්ප්‍රදායිකව පැවරී තිබුණේ අධිකරණයට ය. මෙය නීතිය මත පාලනය යන සංකල්පයේ ඉතාම ගැඹුරුම හරයාත්මක ආකල්පයකි. සිය ස්වාධීනත්වය බලවත්ව ප්‍රකාශයට පත් කරන අධිකරණයකින් තොරව නීතිය මත පාලනය පැවතිය නොහැකිය. අනික් අතට එවැනි බලවත් ආකාරයෙන් තම ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කරන අධිකරණයක් හා සියලුම බලය තමන් සතු විය යුතු යැයි සිතා ගන්නා පාලකයකු අතර පාලකයෙකුගේ පැවැත්ම එකට  සිදුවිය නොහැකිය. එක්කෝ පාලකයා තම අධිකරණයේ ස්වාධීනත්වය යටත් ය යන අදහස පිළිගෙන ඒ මගින් එකී ආධිපත්‍යයට පවතින්නට ඉඩ හැරිය යුතුය. එසේත් නැත්නම් තමන්ගේ සර්වබලධාරීත්වය තහවුරු කරගැනීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කළ යුතුය.

එසේ අධිකරණය ස්වාධීනත්වය යටපත් කර ගැනීමේ හැකියාව තීන්දු කරන්නේ රටේ ජනතාව තුළ කොපමණ ප්‍රමාණයකට අධිකරණයේ ස්වාධීනත්වය රැකීම පිළිබඳව ආකල්පය පැලපදියම් වී තිබේද යන පරිමාව මතය. ඕස්ටේ‍රිලියාවේ උපරිම අධිකරණයේ සේවය කළ  විනිශ්චයකාර වරයෙකු මේ බව මෙසේ පැහැදිලි කරන ලදී. අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් යම් ඇඟිලි ගැසීමක් කළහොත් අධිකරණය එයින් ආරක්ෂා වෙන්නේ කෙසේදැයි ඔහුගෙන් අසන ලද ප්‍රශ්නය කට ඔහු දුන් පිළිතුර නම් එම ආරක්ෂාව මුළුමනින්ම රැඳී පවතින්නෙ අධිකරණයේ බලයට බාධා පමුණුවන ඕනෑම කෙනෙකුට විරුද්ධව රටේ ජනතාව පාරට බසින තත්ත්වයක් අපේ රටේ පවතිනවාය යන විශ්වාසය මත බව එතුමා විස්තර කළේය. ජයවර්ධන මහතාට අධිකරණ බලය මුළුමනින්ම නැති කිරීමට උවමනාව තිබුනත් එසේ කිරීමට එම අවස්ථාවේදී බාධකයක් තිබුණේය.

එනම් ලංකාවේ මධ්‍යම පන්තිය තුළ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ යම් මතවාදයක් තහවුරුව පැවති නිසාය. එම නිසා ඔහුට අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම නැති කිරීමට හැකියාවක් පැවතුනේ නැත. එයට බාධකයක් සමාජය තුළ ම පැවැතිණි. ඒ වෙනුවෙන් ඔහු විසින් කරනු ලද්දේ අධිකරණයේ ක්‍රියා භාරය:මෙබජඑසදබ* හා අධිකරණ කටයුතු කරන ආකාරයට විවිධ සීමාවන් දැමීම තුළින් අධිකරණයේ බලය බොහෝ දුරට අඩපණ කිරීමය. උදාහරණයක් වශයෙන් අධිකරණය සඳහා වැයවෙන මුදල් අවශ්‍ය ප්‍රමාණයට ලැබීම  වැළැක්වීම මගින් අධිකරණයේ ක්‍රියාදාමයට බාධා පැමිණවිය හැකිය. ඒ කාලයේ දී අධිකරණයට නව විනිශ්චයකාරවරුන් පත්කිරීම සඳහා අවශ්‍ය වැය ලබා දීමට බාධා පමුණුවීම තුළින් අධිකරණය තුළ එවකට සිටි අග්‍ර විනිශ්චකාරවරයා වූ නෙවිල් සමරකෝන් මහතා කිරීමට උත්සාහ කළ ගුණාත්මක වෙනස අඩපණ කර දැමීමට ඔහුට හැකිවිය. විවිධ ආකාර වලින් විනිශ්චකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇඟිලි ගැසීම් තුළින් මෙන්ම ඒ කාලයේ ඇති වූ තත්ත්වයන් තුළ විවිධ භීතිකාවන් පැතිරවීම තුළින් ද අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ඇඟිලි ගැසීමට ඔහුට හැකිවිය.

අධිකරණයේ ස්වාධීනත්වය බොහෝ දුරට යුක්තිය පසදලීමේ සියලු සංස්ථාවල ස්වාධීනත්වය හා බැඳී පවතී. උදාහරණයක් වශයෙන් අපරාධ පරීක්ෂණ පවත්වන පොලිසිය නිසියාකාරයෙන් ක්‍රියා නොකළහොත් අධිකරණයට බරපතළ අපරාධ නඩු අසා යුක්තිය ඉටුකිරීමේ හැකියාව බොහෝ දුරට නැතිවී යන්න පුළුවන. සාක්ෂි මත පදනම් වූ අපේ නීති ක්‍රමය සාක්ෂි එකතු කරන්නන් වූ පොලිස් පරීක්ෂකයන් මත බොහෝ සේ බැඳී පවතී. පොලිසියට බලපෑම් කිරීම මගින් එනම් යුක්තිය පසදලීමේ ක්‍රියා පිළිවෙල පිළිබඳව රාජකාරිය කිරීමට බාධා පැමිණවීම මගින් අධිකරණ ක්‍රමය බොහෝ සෙයින් දුබල තත්ත්වයකට පත් කළ හැකිය. ජයවර්ධන මහතා ඔහුගේ ව්‍යවස්ථාව පදනම් කරගෙන කල ක්‍රියාවන් තුළින් සිදු කළේ මේ ආකාරයකට ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය දුබල කර දැමීමේ වැඩ පිළිවෙලකි. එම කූඨ අරමුණ ඉටු කරන්නා ලද්දේ ඊට ඉඩකඩ සලසන කූඨ ලේඛනයක් වන 1978 ව්‍යවස්ථාව තුළිනි.

මෙම ව්‍යවස්ථාව තුළින් රටට ඇති වූ විනාශය වර්ෂ 2000 වන විට රටේ කාටත් දැනෙන්නට පටන් ගෙන තිබුණේය. ඒ නිසා එම ව්‍යවස්ථාව නැති කළ යුතුයි යන මතය රට පුරා පිළිගත් මතයක් බවට පත්වී තිබුණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව බලයට පත් කර ගැනීමට මෙම මතය බොහෝ සේ බලපෑවේය. එහෙත් බලයට පැමිණීමෙන් පසු එම කාර්යය මග හරින ලදී. මෙම කූඨ ව්‍යවස්ථාව වැඩි  බලයක් පාලකයා අත තබා ගැනීමට ආධාරක වන හෙයින් එය අතහැර දැමීමට පාලකයා අකමැති විය. එහෙත් යම් ප්‍රමාණයකින් හෝ එම බලය අඩු කිරීමට තිබූ මහජන බලපෑම් සන් සිදුවීම සඳහා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කර එමගින් රටේ ප්‍රධාන සංස්ථාවන්හි ඉහළ නිලතල දරන්නන් ස්වාධීනව පත්කර ගැනීම සඳහා යම් ප්‍රයත්නයක් දරන ලදී. එහෙත් එම ප්‍රයන්තයත් විධායක ජනාධිපති ගේ බලයත් අතර ගැටීමක් ඇති වීම වැළැක්විය නොහැකි විය. පසුකාලයේදී 18 වන සංශෝධනය මගින් මෙම 17 වැනි සංශෝධනයේ සීමිත වෙනස්කම් පවා නැති කර දමන ලදී. ඒ ආකාරයටම නැවත 19 වන සංශෝධනය මගින් 17 වන සංශෝධනය පණ ගැන්වීමට උත්සාහයක් දරන ලද නමුත් 20 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පෙරටත් වඩා බලතල ලබා ගනිමින් ජනාධිපති වරයාගේ හිතුවක්කාරකම සඳහා ඇති ඉඩකඩ පලල් කරගන්නා ලදී.

දැන් නිර්මාණය කරන්නට යන ව්‍යවස්ථා තුළින් ද බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇත්තේ හිතුවක්කාර කම තව තවත් වැඩි කරගනිමින් නීතියේ ආධිපත්‍ය අවම තත්ත්වයකට හෝ එවැනි ආධිපත්‍යයත් මුළුමනින් නැති තත්ත්වයකට මුළු දේශය තුළම වාතාවරණයක් නිර්මාණය කර ගැනීමය.

මෙම සම්ප්‍රදාය හා සත්භාවයෙන් යුතුව රටේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ව්‍යවස්ථා නිර්මාණය කිරීම අතර ඇත්තේ සුදු කළු මෙන් මහා පරිමාණ වෙනසකි. කූඨ ව්‍යවස්ථා පාලකයාගේ හිතුවක්කාර පැවැත්ම වඩ වඩාත් පලල් කරයි. සැබෑ ව්‍යවස්ථා ජනතාවගේ මැදිහත්වීම හා නීතිය මත පාලනය පලල් කරන අතර පාලකයාගේ ගති පැවතුම් නෛතික රාමුවක් අතරේ  කළ යුතු වගකීම් බවට පත් කරයි.

ඡායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි

Constitution of Sri Lanka basil fernando

නීතිඥ බැසිල් ප්‍රනාන්දු

Social Sharing

Related posts