අන්තර්ජාල මෙහෙයුමට සයිබර් ආරක්ෂණ නීති ගෙනෙයි.

ආරක්ෂක අංශ විසින් වෙන් වෙන්ව කරනු ලබන අන්තර්ජාල මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිළිබද නව  නීති සම්පාදනය කිරීමට රජය  පියවර ගෙන තිබේ.

ආරක්ෂක සයිබර් විධාන පනත නමින් පනතක් කෙටුම්පත් කිරීමට සහ සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවු බව රජය පවසා සිටියි..

“විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධි ක්‍රියාවන් සදහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹ ඇත.”

සයිබර් අවකාශය හරහා කෙරෙන විද්‍යුත් සන්නිවේදනය ජාතික ආරක්ෂාවට සෘජුවම බලපෑම් ඇති කළ හැකි සාධකයක් බවට හදුනාගෙන ඇතැයි පවසන රජය අවධාරණය කරන පරිදි නව නීති සැලසුම “දැඩි අවශ්‍යතාවකි”.

එබැවින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට තම ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මගින් සිදු කරනු ලබන මෙහෙයුම් වඩාත් විධිමත් හා කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා සියලු ක්ෂ්‍රේත්‍ර ආවරණය වන අයුරින් නව නීති සම්පාදනය කිරීම වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක්ව පවතින බව රජයේ ස්ථාවරය වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙන අමාත්‍ය මණ්ඩල තිරණ වල දැක්වෙන පරිදි සයිබර් ආරක්ෂාව සහ ඒ සදහා වන ආයතනික ව්‍යුහයක් සකස් කිරීම තාක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැවරී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව සයිබර් ආරක්ෂාවේ විධිවිධාන ඇතුළත්ව ඉහත  දැක්වෙන පරිදි වෙනම පනතක් කෙටුම්පතක් සම්පාදනය කිරීම යෝග්‍ය බවට තීරණය කර ඇත.

ජාතික ආරක්ෂාවට අදාල කරුණු හැරුණු විට ජාතික තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපායමාර්ගය  ක්‍රියාත්මක කිරීම සදහා වන නියාමන රාමුවක් නිර්මාණය කිරීම, එම කාර්යය සදහා අනෙකුත් සහයෝගී ආයතන සමග කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස විධිවිධාන සැලසීම, රට තුළ තීරණාත්මක හා අතිශය වැදගත් තොරතුරු සම්බන්ධ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය නෛතික විධිවිධාන හදුන්වා දීම, සයිබර් ආරක්ෂාවට ඇති වන අවදානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රට තුළ විධිමත් සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා නව නීති හදුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍ය සහ තාක්ෂණ  අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන ඉහත සදහන් පරිදි පනත් කෙටුම්පත් දෙකක් සකස් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ ( 12)  නිවේදනය කර තිබේ.

Social Sharing
නවතම