පාසල් ආරම්භ කළද ගුරුවරු රාජකාරී වලින් ඉවතට !

කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමත් සමගම ලබන 21 වන දා සිට සිසුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමටත් අදියර 4ක් යටතේ සියලු පාසල් විවෘත කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන බල ප්‍රදේශ 3 හි ම විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසදුම් ලබා දෙන තුරු සියලු රාජකාරිවලින් ඉවත්වන බව දන්වමින් කලාප අධ්‍යාපන කාර් යාල වෙත ලිඛිතව දැනුම් දීම් කිරීමට කටයුතු කර ඇත.

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 104 හිම විදුහල්පතිවරුන් සිය අත්සන් සහිතව වෘත්තීය ක්‍රියාමාර්ගය  පිළිබදව කලාප අධ්‍යාපන කාර් යාලයට ඉකුත් (06)දා සංදේශයක් භාර දුන් අතර ඊයේ (11)දිනයේ පොලොන්නරුව කලාපයේ පාසල් 55ක විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ අත්සන් සහිතව සිය වෘ ත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත භාර දුන් බව ගුරු විදුහල්පති එකමුතුව පවසයි.

හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ද පාසල් 103ක ගුරු විදුහල්පති එකමුතුව මෙම වෘත්තීය ක්‍රියාමාර් ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඉදිරි දින දෙක තුළ ඒ පිළිබදව ලිඛිතව දැනුම් දෙන බවත් එහි නියෝජිතයෙකු අප හා පැවසීය.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විශමතාව ඉවත් කොට පාසල් විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ද ඔවුහු බලධාරින් ගෙන් ඉල්ලා සිටිති.

දිඹූලාගල හා පොලොන්නරුව අධ්‍යාපන කලාපවල පාසල්වල විදුහල්පතිවරුන් එම ලිඛිත සන්දේශය කලාප කාර්‍යාල වෙත ලබා දුන් බව කලාප අධ්‍යාපන කාර්‍යාල තහවුරු කළ අතර ඒ පිළිබදව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත් බවද සදහන් කළහ.

polonnaruwa

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම