මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!

කොවිඩ් 19 වසංගතයට  මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහා  දෙමළ ජාතික සන්ධානය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කොට වසරකට පසු පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ඊට අලුතින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාක්ස් විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ කම්කරුවන්ට බලපාන සංශෝධන 02 ක් පනතට ඇතුලත් කරන ලෙසය.

“පනතට අනුව මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ විට සෑම කර්මාන්ත ශාලාවක කම්කරු හා කළමනාකාරිත්වයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් `කර්මාන්ත ශාලා සෞඛ්‍ය කමිටු` පිහිටුවීම හා එම කමිටු විසින් කලින් කලට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ  කර්මාන්ත ශාලා තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කළ යුතු යැ” යි  නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය සුමන්තිරන් මන්ත්‍රීවරයාට යෝජනා තිබේ.

එම ලිපියෙන් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් තවදුරටත් යෝජනා කර සිටින්නේ   “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක  බෝවෙන රෝග වැළැක්වීමට, රෝග ව්‍යාප්තිය අධීක්ෂණයට  පළාත් වෛද්‍ය නිලධාරීන්ට හා  මහජන  සෞඛ්‍ය කාර්ය මණ්ඩලට  බලය පැවරීමත්, ඊට අමතරව  මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එම කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් තාක්‍ෂණික හා මානව සම්පත් ලබා දෙමින්,  පළාත්   සෞඛ්‍ය කාර්යාල   ප්‍රදේශයේ බෝවන රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය ලෙස ප්‍රකාශයට පත් කිරීමත්,” සිදු කරන ලෙසය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ අනපනත් යොදාගෙන දෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමේදී ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන ආකාරය අමානුෂික බවට පැමිණිලි ගොනුවෙමින් පවතිද්දී සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පසුගිය ඔක්තෝබරයේදී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මහජන සෞඛ්‍ය ආරක්ෂක තත්වයක් ප්‍රකාශ කිරීමට, මහජන සෞඛ්‍යය සඳහා විශේෂ පියවර ගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගත හැකි පනතක් ලෙස එය හඳුන්වා දී තිබේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ හදිසි අවස්ථාවාක් ප්‍රකාශයට පත් කිරීමටත් හදිසි අවස්ථාව සඳහා වන විශේෂ මණ්ඩලයක් පත් කිරීමටත් කෙටුම්පත අනුව ඉඩ සැලසේ.

ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක මෙන්ම සෞඛ්‍ය, සමාජ සුබසාධන සහ ආරක්ෂක ඇතුළු අමාත්‍යවරුන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාද සෞඛ්‍ය හදිසි අවස්ථා මණ්ඩලයට ඇතුලත් වෙයි. ඊට අමතරව විපක්ෂ නායකයා විමසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු කතානායක වරයා විසින් එකී මණ්ඩලයට පත් කළ යුතුය.

හදිසි අවස්ථාව ක්‍රියාවේ යෙදවෙන කාලය තුලදී අසරණ භාවයට පත්වන පුද්ගලයන් හට නොමිලේ හෝ නාමික මිලකට හෝ සහන සැලසීමට සමාජ සුබසාධන අමාත්‍යවරයා පියවර ගත යුතුය. මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති විට පොදු රැස්වීම්, ආගමික වන්දනාමාන, අත්‍යාවශ්‍ය නොවන රැකියා වල යෙදීම සහ පොදු ස්ථාන වල ගැවසීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි දින 14කට නොවැඩි කාලයකට සීමා කිරීමටද ප්‍රතිපාදන සලසා ඇත.

කෙටුම්පත ඉදිරිපත් කොට ගතවූ අවුරුද්දකට වැඩි කාලයක් තුල කොරෝනා වසංගතය විසින් ජීවිත බිලිගැනීම එන්න එන්නම වැඩිවුනත් එය පාර්ලිමේන්තුවේ තවමත් විවාදය සඳහා කටයුතු කොට නැත.

Social Sharing
නවතම