GSP + රටට අහිමි වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමකද?

යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත්  ඇඟලුම් ක්ෂේත්‍රයේ  පමණක් අපේක්ෂිත අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ක් හෙවත් රුපියල් කෝටි 11,232 පමණ වනු ඇති බවට ශ්‍රී  ලංකාවේ ප්‍රධාන අපනයන කරුවෝ පවසයි.

ඔවුන් පවසන්නේ දැනට බ්‍රිතාන්‍යයෙන් පිටත, යුරෝපා සංගමයට පමණක් අපනයන සිදු කරන 90% ක් GSP+ සහනය භුක්ති විඳින බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම්  ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අවදානමක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගියදා  මතුකර තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන  අපනයනකරුවන් පෙන්නා දෙන්නේ  සිවිල් යුද්ධයේ දී හා එහි අවසානයෙන් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝන හේතුවෙන් 2010 දී ජීඑස්පී+ අත්හිටුවනු ලැබීමෙන් අහිමි වූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් ලෙස වාර්තා වූ බවකි.

ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) පවසන්නේ  GSP+ නැතිවීමේ බලපෑම ඉහත දැක්වෙන අහිමිවන අපනයන වටිනාකමින් පිළිබිඹු වන අතර, එසේම බංග්ලාදේශය ඇතුළු අඩු පිරිවැය රටවල් සමග අවාසිදායක කොන්දේසි යටතේ ලංකාවේ අපනයන කරුවන්ට තරග කිරිමට ද සිදුවනු ඇති බවය.

එම අඩු පිරිවැය රටවල් සමග යුරෝපා වෙළඳ පලේ තරග කිරීම සඳහා ශ්‍රී ලංකාවට  12% ක වට්ටමක් අවශ්‍ය වන බවත්, විශේෂයෙන් 2010 දී  නැතිවීමේ ලත් අත්දැකීම වන්නේ ඉන් ගැනුම්කරුවන් අහිමිවීම නිසා ඇනවුම් අඩුවීමෙන් නැති වූ වට්ටම් ප්‍රමාණයට වඩා සත්‍ය අලාභය බෙහෙවින් වැඩි බව ද ඔවුහු සදහන් කරති.

ජීඑස්පී+ අහිමි වීම යනු හුදෙක් අපනයන ආදායම්වල පහත වැටීමෙන් පමණක් පිළිබිඹු නොවන බවත්, මෙයින් රටේ ඇඟළුම් ඇතුළු වටිනාකම් එකතු කිරීමේ අපනයන නිෂ්පාදන ආර්ථිකයට  විශේෂයෙන් සේවා නියුක්තියේ වැදගත් කොටසක් හිමි ඇඟළුම් අංශයේ රැකියා කෙරෙහි පුළුල් හානිදායක බලපෑමක් ඇති කරනු ඇති බව ද  ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය  පෙන්වා දී තිබේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ප්‍රධාන ලේකම් ටුලි කුරේ ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ ජීඑස්පී+ සහනය ලංකාවට අහිමි වුවහොත් වසරක් ඇතුළත ඇඟලුම් කර්මාන්තයට ඩොලර් මිලියන 500 වටිනාකම ඉක්මවන තරමේ අපනයන අවස්ථා අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

මේ සහනය යටත් භාණ්ඩ අපනයනය කරන්නේ ඒවා ගොඩබෑම දක්වා වන පිරිවැය මත බවත්, බදු සහනය ඉවත් වී එම පිරිවැය සියයට 10 කින් පමණ වැඩි වූ විට ශ්‍රී ලංකාව සෙසු රටවල් සමඟ අසමාන තරගකාරීත්වයකට ලක් වී  ව්‍යාපාරයෙන් මුළුමනින්ම පිටතට වැටීමක් විය හැකි බවත් ඔහු පැහැදිලි කර තිබේ.

යුරෝපා සංගමයෙන් ලැබෙන ජීඑස්පී+ වෙළෙඳ සහන හේතුවෙන් ඇඟලුම්, මාළු, රබර් සහ පිඟන් භාණ්ඩ යන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධාන අංශ සෘජුවම වාසි ලබයි.

ජීඑස්පී+ අහිමිවීමේ අවදානම ගැන අදහස් දක්වමින්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් අසිර්වාදම් අනතුරු අඟවා ඇත්තේ  යුරෝපා කලාපයේ ලංකාවේ අපනයන සඳහා අහිතකර වාතාවරණයක් පවතින බවත් ඒ තත්වය  යටතේ ජීඑස්පී ප්ලස් පමණක් නොව යුරෝපා කලාපයේ අපනයන වෙළඳපොල ද ලංකාවට අහිමි වනු ඇති බවය.

ඇය එසේ අනතුරු අඟවා ඇත්තේ, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ කොළඹ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “GSP+: අතීතය, වර්තමානය, අනාගතය” මැයෙන් මෑතකදී පැවැත්වූ අන්තර්ජාල සම්මන්ත්‍රණයකට සම්බන්ධ වෙමිනි.

නිදහස් වෙළද කලාප සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ  යුරෝපීය සංගමය ජීඑස්පී+ සහනයන් ඉවත් කර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් තනිකර වගකීම ආණ්ඩුව මගින් බාර ගත යුතු බවකි.

වෘත්තීය සමිති ලෙස තමන් ගේ කාර්යභාරය වන්නේ සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතතාවය සහතික කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්වය  උසස් කිරීම සඳහා එක්ව සටන් කිරීම බවද ඔහු සඳහන් කර තිබේ.

Social Sharing
නවතම