සමාජ විපර්යාසයක් කිරීමේදී බාගෙට කරන්න බැහැ! – ගාමිණී වියන්ගොඩ

සමාජ විපර්යාසයක් කිරීමේදී බාගෙට කරන්න බැහැ! - ගාමිණී වියන්ගොඩ

2015 පැවති රෙජීමය පරාජය කිරීම සඳහා විශාල වැඩකොටසක් කළේ සිවිල් සමාජය. එහෙම දැවැන්ත ක්‍රියාරීත්වයක් තිබුන සිවිල් සංවිධාන ජාලය දැන් මේ වන විට අපිට පේනවා දිය වෙලා ගිහින් වගේ. 2015 බලය ගත්තට පස්සේ සිවිල් සමාජයට මොකද වුණේ?

මම හිත්නනේ 2015 යහපාලන ජයග්‍රහණයේ පිටුපස තිබුණු ප්‍රධාන සාධකය වුණේ සිවිල් සමාජ සහභාගීත්වය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ඇති වී තිබූ බරපතල ප්‍රජාතන්ත්‍රවාදී නායයෑම් ගැන මිනිස්සු තදින් කළකිරී සිටියා. ඒ වගේ වෙලාවක මහා පරිමාණයේ සිවිල් සමාජ සහභාගිත්වයක් තියෙන කොට ජනතාව බොහෝ දුරට කන් දුන්නා මේ සිවිල් සමාජය මොකක්ද කියන්නේ ඒ දේට. ඒ හඬ ඔවුන් විශ්වාස කළා. ඒ හඬට ඔවුන් කන්දුන්නා. ජනතාව සිතුවා ඊට කළින් පත්වුණු ආණ්ඩු වලට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදිව යහපත් පාලන ක්‍රමයක් පවත්වා ගෙන යන්නට මේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය උපයෝගී වේවි කියලා.

බලයට පත්වුණාට පස්සේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ ජනතාවගේ සිවිල් සමාජය පිළිබඳව තැබූ ඒ විශ්වාසය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙන්නට පටන් ගත්තා. සමහර අවස්ථාවන් වලදි ඇති වුණු සිද්ධීන් ගැන සිවිල් සමාජයටම සිද්ධ වුණා ජනතාව ඉස්සරහට ඇවිල්ලා විවේචන කරන්න. මේ විදිහට අවුරුදු පහක් යනකොට යහපාලන ආණ්ඩුව කෙරෙහි තිබුණු සියලු බලාපොරොත්තු ජනතාව විසින් අතහැරලයි තිබුණේ. මහබැංකු බැදුම්කර වංචාව, පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ජනතාව කළකිරුණා. මහබැංකු සිද්ධිය චේතනාන්විතව කරපු දෙයක්. ඊට දේශපාලනඥයන් වගකිව යුතුයි. දෙවැන්න වළක්වා ගත හැකිව තිබූ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. යහපාන ආණ්ඩුවේ තිබිච්ච නොපෑහීම් නිසා වළක්වා ගන්නට බැරිවුණා.

මේ තත්ත්වයන් නිසා සිවිල් සංවිධාන පිළිබඳව ජනතාව තුළ තිබුණු විශ්වාසය නැති වුණා. ජනතාව හිතුවා දේශපලකයන් කරපු මේ වැරදිවලට සිවිල් සමාජයත් වගකිව යුතුයි කියලා. මොකද දේශපාලකයෝ ගැන කළකිරිලා හිටිය මිනිස්සු ඡන්දපොළට ඇවිත් මේ වෙනස කළේ සිවිල් සමාජය ගැන විශ්වාස කරලා. මේක සාධාරණ තත්ත්වයක් නෙවෙයි. අද වන විට සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයේ අඩුවක් තියෙනවා නම් ඒකට එක හේතුවක් තමයි ඒක.

දෙවැන්න තමයි අද වන විට ගොඩනැඟෙමින් තිබෙන මාධ්‍ය එකාධිකාරය. ඒක රාජපක්ෂ කඳවුරට නැමියාවක් තියෙන මාධ්‍ය ඒකාධිකාරයක්. අද විද්‍යුත් මාධ්‍ය ගත්තොත් 90% ක්ම රාජපක්ෂ කඳවුරට බර මාධ්‍ය භාවිතාවක් තමයි ගෙනියන්නේ. මේ මාධ්‍ය අවකාශය අස්සේ සිවිල් ක්‍රියාකාරිකයන්ට ඉඩක් නැහැ. ඒකත් මේ නොපෙනී යෑමට හේතුවක්.

විශාල චෝදනාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර පැවතුන බල අරගලය සමනය කරලා, බලාපොරොත්තු වුණ යහපාලන ප්‍රතිසංස්කරණ ආණ්ඩුව වෙතින් කරවා ගන්න සිවිල් සංවිධාන නායකයෝ අපෝසත් වුණා කියලා.

සමහර දේවල් තියෙනවා පුද්ගල මැදිහත් වීමකින් වෙනස් කර ගන්න පුළුවන්. තව සමහර දේවල් තිබෙනවා ඒවා වෙනස් කර ගන්න පුළුවන්කමක් නැහැ පුද්ගල මැදිහත් වීම් වලින්. සිවිල් සමාජය කියන්නේ පක්ෂ දේශපාලනයෙන් තොර පක්ෂ වලට අයත් නැති පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වයක්. පක්ෂ වලට ආණ්ඩුව මෙහෙයවීමේ වැඩි හැකියාවක් තියෙනවා. නමුත් සිවිල් සංවිධාන වලට එහෙම විශාල හැකියාවක් නැහැ, පාලකයන්ගේ ක්‍රියා පාලනය කිරීමට තරම්. යම් යම් කාරණා සම්බන්ධයෙන් එම හැකියාව තිබුණට එය බොහෝ දුරට සීමිතයි.

ඔය කියන කාලයේදී සිවිල් සමාජයට විසදාගන්න බැරි වූ එකම කාරණය තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වූ විරසකය. ඒකට හේතු රාශියක් තියෙනවා. පැහැදිලිවම දකින්නට පුළුවන් කාරණා කිහිපයකුත් තියෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පදවියට පත් වෙන්නේ තමන්ගේම වූ පක්ෂයක සාමාජිකයෙක් වශයෙන් නොවන නිසා, ඔහුට දේශපාලනිකව හුදෙකලා බවක් ඇති වෙනවා.  ඔහු ජනාධිපති පදවියට පත් වෙලා දවස් තුනක් යනකොට රහස් සාකච්ඡාවක් පවත්වනවා බැසිල් රාජපක්ෂ සමග. ඒ තුළින් පේනවා ඔහු සිටි අස්ථාවර ස්වභාවය. ඒ අතරේ අගමැති රනිල් එක්ක වෙනත් හේතු මත ප්‍රශ්න ඇති වන විට  තමන් අතහැර ආ රාජපක්ෂ කඳවුරටම නැවත යන ගමන පටන් අරගෙනයි තිබුනේ. මේ ගමන වළක්වා ගන්නට රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් කළයුතු ක්‍රියාවන් කලේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ සිවිල් සමාජයට ඉතා අසීරු තත්ත්වයක් ඇති වුණා ඒවට මැදිහත් වෙලා ඒවා නිවැරදි කර ගන්නට. එම නිසා බොහෝ විට අපිට සිද්ධ වුනේ මේ දෙන්නත් එක්ක වෙන වෙනම සාකච්ඡා කරන්න මේ ඇතිවෙන ප්‍රශ්න ගැන.

නමුත් අපි අමතක කළ යුතු නෑ, මේ විරසකයන් එසේ තිබියදීත් ඔවුන් දෙදෙනාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය පැත්තෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණ බව. ප්‍රධාන වශයෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග අගමැතිවරයා ලොකු කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ රජයේ කිහිප විටක්ම ප්‍රතික්ෂේප වී තිබූ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගන්නට පුළුවන් වුණා. මේ නායකයින් දෙපළ නිසා අප රට ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල දුරකට ගෙනයන්න පුළුවන් වුණා, එහෙත් එය සාර්ථකව අවසන් කරන්න නොහැකි වුණා.

2010 සිට 2015 දක්වා රාජපක්ෂ පාලන කාලය තුළ ඇති වූ මහා පරිමාණ දූෂණ වලට මෙන්ම ආන්දෝලනාත්මක අපරාධ වලට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන ඒමේදී මොවුන් දෙදෙනා වෙන වෙනම ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත්තා. මේ හින්දා 2015 ජනතාව බලාපොරොත්තු වූ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ පොරොන්දු කඩ වීම සිදුවුණා. 2020 වන විටත් දූෂිතයින්ට හා අපරාධකරුවන්ට දඬුවම් නොලැබුනු නිසා  19 වන ව්‍යවස්ථා සංශෝධනයේ  ප්‍රජාතන්ත්‍රවාදී ඵල ලබන්නට ජනතාවට නොහැකි වුණා. එම දූෂිතයන්, අපරාධකරුවන් තමයි 2020 මේ රට අනෙක් අතට හැරෙව්වේ. උදහාරණයක් හැටියට හොර පාස්පෝට් එකකින් පිටරට යාමට ගොස් ගුවන්තොටුපලේදී කොටු වූ විමල් විරවංශ රනිල් වික්‍රමසිංහ විසින් බේරා ගනු ලබනවා. ඒ විමල් වීරවංශ තමයි මහින්ද රාජපක්ෂ නැවත නඟා සිටුවීමේ කර්තව්‍යයේ පුරෝගාමියා බවට පත් වෙන්නේ. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව තිබුණු චෝදනා වලට නීතියට වැඩ කරන්නට ඉඩ දුන්නේ නැහැ මෛත්‍රිපාල සිරිසේන. දැන් රාජපක්ෂ කඳවුරේ ඉන්න ප්‍රධාන පෙළේ කිහිප දෙනාම නීතිය ඉදිරියේ චෝදනාවට ලක් වූ අය. ඒ අය ඔක්කොම දේශපාලනය කළා මේ කියන කාලයේදී නීතිය පිළිබඳව කිසිඳු වගක් නැතිව. ඒ සඳහා මේ නායකයෝ දෙන්නගෙන්ම යම්කිසි සහතිකයක් ලැබිලා තිබුණා.  ඒ නිසා 19 සංශෝධනයෙන් ලබා ගත්ත ජයග්‍රහණ පරිපූර්ණ කර ගන්න නොහැකිවුණා.

සමාජ විපර්යාසයක් කිරීමේදී බාගෙට කරන්න බැහැ. එක බාගයක් කරලා අනෙක් බාගේ  කරන්නේ නැත්නම් අර කරපු බාගේ ගඟට කපපු ඉනිවාගේ. ඇත්තටම 2015 – 2020 දක්වා කරපු හොඳ වැඩ ඒ විදිහට සමාජයට සංජානනය නොවුනේ ඉතුරු භාගේ නොකර හරිනවා කියන එක මිනිස්සුන්ට පෙනුණ නිසා.

යහපාලනය පිළිබඳ ජනතා අප්‍රසාදය විශාල ජන බලයක් සහිත ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් නිර්මානය කරලා තිබෙනවා. මෙහි කෙළවර කුමක් ද?

2015 – 2020 කියන්නේ මුළුමනින්ම අපතේ ගිය කාලයක් නෙවෙයි. එම කාලයේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ඇති කළා. ඒ කාලයේ ජනතාව පාලකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටියා. තාක්ෂණික දියුණුව, මාධ්‍ය හා සමාජ මාධ්‍යයේ දියුණුව ආදිය නිසා මිනිස්සු සබුද්ධික වුණා. එය අනාගතයට හොඳ දෙයක්. මේ නිසා නිරාවරණය වීම් වැඩි වුණා. උදාහරණය තමයි මහ බැංකු බැඳුම්කර වංචාව.  තමන්ගේ අනුග්‍රාහක සමාගමකට වංචනික ලෙස මහබැංකුවේ බැඳුම්කර දීලා ජනතාවට කෝටි ගාණක පාඩුවක් කිරීම කියන එක ලැව් ගින්නක් වගේ සමාජ ගත වුණා. එදා විපක්ෂය ප්‍රචාරක වැඩක් ලෙස එය සිදු කළා. නමුත් 2015ට පෙර 2013 සිටම මහබැංකු බැඳුම්කර වංචාවන් විශාල වශයෙන් ඔය පුද්ගලයන්ම, එම සමාගම් ම දිගින් දිගටම කර ගෙන ඇවිත් තියෙනවා. එදා ඒක කවුරුවත් දැන ගෙන හිටියෙත් නෑ. කතා කළෙත් නෑ. නමුත් යහපාලන ආණ්ඩුව තුළ ඇති වූ විවෘතභාවය නිසා සහ තොරතුරු ජනතාව වෙත ගලා යාම සිදු වූ නිසා මෙය ජනතාවට දැන ගන්න පුළුවන් වුණා. යහපාලන ආණ්ඩුව තුළ, සමාජයට ලොකු ඉඩකඩක් ලැබුනා විවේචනාත්මක වෙන්න. ඒක ඊට කළින් තිබුණේ නැහැ. රාජපක්ෂ පාලන කාලයේ මාධ්‍ය විවේචනාත්මක වුණා නම් අපි දන්නවා ලසන්ත වික්‍රමතුංගට වුණ දේ. 2015-2020 කාලය තුළ කිසිඳු විවේචකයෙක් සුදුවෑන් එකකින් ගියේ නෑ. ඝාතනය වුණේ නෑ. ඒ වෙනුවට 2015 ට කළින් නොතිබුණු විරෝධතා ව්‍යාපාර මහපාරේ නිදහසේ තමන්ගේ විරෝධතා දැක්වුවා. මෙම විවෘතභාවය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ දෙයක්.

එහෙත් මේ හැමදේකම යම්කිසි පාලනයක් තිබිය යුතුයි. නැත්නම් රටක් කරගෙන යන්නට බැහැ. නමුත් යහපාලනය යටතේ දිනපතාම මේ දේවල් පාරේ දකින කොට මිනිස්සුන්ට කළකිරීමක් ඇති වුණා එතකොට මිනිස්සු හිතනවා මේ ආණ්ඩුවට හයියක් නැහැ. කොන්දක් නැහැ. මේවා නවත්වා ගන්න බැහැ කියලා. ඒක පාලකයෝ ඒවා ගණන් ගත්තේ නැහැ. පාලකයෝ තම තමන්ගේ වැඩ කරගෙන ගියා, මිස මහජනතාව තමන් කෙරෙහි කළකිරීමකින් ඉන්නවා කියන එක එතරම් ගාණකට ගත්තේ නැහැ. අවසානයේ 2020 විශාල බහුතර බලයකින් රාජපක්ෂ කඳවුර බලයට පත්වී, දැන් යහපාලනය පිළිබඳ ඔය පාඩම අනෙක් පැත්තට කියවනවා. අන්න ඒක තමයි මම දකින භයානකම දෙය. එතකොට ඔය විදිහට පාරට එන්න ලැබෙන්නේ නැහැ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට. වෙනත් අයට ස්ට්‍රයික් කරන්න ලැබෙන්නේ නැහැ. යම්කිසි රටක ජනතාවක් නිදහස භුක්ති විදීමේ දී සීමාව ඉක්මවා ගියොත් ඇතිවන අරාජිකත්වය හේතුවක් වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය පිටුදකින එයට පටහැනි පාලකයන්ට තමන්ගේ බලය ස්ථාපිත කර ගන්නට. 2015-2020 අතර ඇති වූ කළකිරීම තමයි 2020න් පස්සේ පාලකයන් කුමන ආකාරයට සිය බලය පාවිච්චි කරයිද කියන එක තීරණය කරන මුලික සාධකය. එය හොඳ දෙයක් නෙවෙයි. දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ආපසු හරනවාය කියන කොට එය තවත් භයානක වෙනවා. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජාණ්ඩු ක්‍රමයක් දක්වා යන්න 20 වන සංශෝධනය මගින් මග සලසා ගෙන තිබෙනවා. එවිට එදා තිබූ අයිතිවාසිකම්, නිදහස ලැබෙන්නේ නැහැ. පාලකයන් කියන විදිහට ජනතාව ඉන්න ඕනෑ. ඊට අමතරව අපට දකින්නට ලැබෙන දෙය නම් හමුදාව රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වීම තුළ ඒකාධිකාරී ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක් ඇති විය හැකියි කියන අනතුර අප ඉදිරියේ තිබෙනවා.

කේ. සංජීව

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment