රැවුලයි කැඳයි දෙකම බේරගමු!

රැවුලයි කැඳයි දෙකම බේරගමු!

සිංහරාජ වනගුල්ම දූපත වටා ගිය වාර අන්තය. සිංහරාජය තුළට කිමිදුන වාරද අන්තය. ඒ හැම විටෙකම එහි වූ අප්‍රමාන සවුන්දර්‍යයෙන් ද සිහිලසින් ද පපුවට සුවදෙන නැවුම් සුසුමින් ද පිනා ගියෙමි. සිංහරාජය මැතිනියගේ ආණ්ඩුවේ ඩෝසර් සතුන්ගෙන් බේරුණේ අහම්බයකින් දැයි මට විටෙක සිතෙයි. කොහොමෙන් හෝ තවමත් තුනී ලෑලී සලකුණු එහි වෙත්. ගලන දිය ගුල්මයන් වල පවා ඩෝසර් සතුන්ගේ හඬ තවමත් සටහන්ව ඇතැයි සිතමි. එනිසා දැන් දැන් ආයි ඇසෙන මේ ඩෝසර් හඬින් සිංහරාජයට ආදරය කරන අපි මෙන්ම සිංහරාජයද එහි සතා සතුන් ද බොහෝ බියවී සැලී ගොස් ඇතිබව පෙනෙයි. එනිසාම මෙය ලියන්නට සිතුවෙමි. සිංහරාජය, එහි බරෙන් සෑහෙන්න ස්කන්ධයක් සපරගමුවට අයත් ය. එනිසාම සපරගමුව සරසන, එහි රුධිරය ගැන නොලියා කොහොමද?

භූමි චිත්‍රය

කලවානට ගියාම එහි ඈතින් කුඩව පෙනෙයි. කුඩව පිටකැලේ වාගේ වාටි ගම් පසුකළ විට සපරගමුව පැත්තෙන් සිංහරාජයට පැන්න හැකිය. කලවාන මතුගම පාරේ අත්වැල්තොටින් උඩහට උඩහට නැඟ්ගවිටද සිංහරාජය අස්සට යන්නට ඇහැකි. එහෙම වටෙන් වටෙන් විත් ගාල්ල නෙලුවෙන් ද මාතර දෙණියාය මිදේරිපිටියෙන් ද මේ වනඟුල්ම දූවට ඇතුල් විය හැකිය. ඊටත් එහාට රවුමේ යනවිට දෙණියාය රත්නපුරා පාරේ සූරියකන්දෙන් ද මේ වන ගුල්මයට ඇතුවන්නට ඇහැකි.

මේ වටා බොහෝ ගම්‍ ය. ඒ ගම් බොහෝ දුෂ්කර ය. කියන්න බැරි තරම් වචනවලට නඟන්නට බැරි තරම් ඒ ජීවිත කර්කශය. කලවාන කුඩවෙන් ගිය විට හමුවන පිටකැලේ ගමත් එවැනි සිංහරාජ කැලේ තුළ නොපෙනී තිතක් සේ ඉන්න දූපත් ගමක් ය. එවැනි හුදකලා ගම් මෙහි බොහෝ ය. එගම් මිනිසුන් ජීවත් වෙන්නේ, කිතුල් පැණි, හකුරු කර්මාන්තයෙන් ය. සමහර ගමක තේ වගාව ඇත. සමහර ගමක කුඹුරුද ඇත. එහෙත් ඒ කුඹුරු සතා සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම දුෂ්කරය. එනිසා පිටකැලේ වැනි ගමකනම් ඒ ගමට අයිති කුඹුරු යායවල් දැන් පූදින්නේ නැත.!

ගාල්ල නෙළුව ලංකාගම මෙන්ම මාතර දෙණියාය මිදේරිපිටිය ගම්මානද මෙවැනිමය. මේ ගම්වල මිනිසුන් ජීවත් වෙන්නේ සිංහරාජ සරණ ගොසිනි. කැලේ දෙන කිතුල් මලෙන් පැණි නොසෑහෙන්න වෑහෙන්නේ නම් මේ මිනිස්සුන්ගේ බඩකට පිරෙයි. ලංකාගම තේවතු ඇත. මිදේරිපිටියේ ද තේ වගාව කෙරෙයි. ඒවා එතරම් සරු නැති බව මගේ හැඟීමයි. මිදේරිපිටියේ නම් සරුසාර කුඹුරු ද දකින්න ඇත.

වැද්ගල කුඩව පැත්තෙන් කළු ගඟේ විශාලම අතු ගංගාව වන කුකුළු ගඟ ගලනව විට අපි දැන් කතා කරන්නට යන මේ ඉසව්වෙන් ගලන්නේ ගිං ගඟය. සිංහරාජයට අයත් ගොංගල කඳු මුදුනෙන් දිය කඳුරක්ව ගලන ගිං ගඟ ලංකාගම ද මිදේරිපිටිය ද දෙපසට කර ගලා යයි. කොලොන්තොටුව, වාරුකන්දෙණිය, මාදුගැට, නෙළුව තෙක් මේ ගඟ ගලන්නේ දෙදිස්ත්‍රික්කයටක මායිම්වය. මේ වනගුල්ම වළල්ලේ තවත් රක්වාන දිහාට කැරකෙනවිට නිල්වලා ගඟ නිම්නය මුණගැසේ. නිල්වලා නදී සිය ගමන පටන් ගන්නේ ගොංගලට එහායින් බලාගෙන ඉන්න, අනින් කන්ද, කොරවක් කන්ද, පනින් කන්ද ආශ්‍රයෙන් ය. එනිසා අපි මේ කතාකරන්නට යන බිම වන නදී නිම්නයක් ය. සිහිල් දියෙන් සුසැදි හැමතැනින්ම සිරිසිරියම ඇහෙන පෙදෙසක් ය. ඒ සෑම දෙයක්ම සිංහරාජයේ නිර්මිතයන් ය. මෙහි වසන මිනිසුන්ද සිංහරාජයේ නිර්මිතයන් බව කීවාට දොසක් නැත.!

මොකද්ද මේ පාර

දැන් අපිට සිංහරාජය විනාශ කරමින් කපනවා යැයි කියන  පාරට පනින්නට පුලුවන් ය. මේ මාර්ගය 2013 තරම් ඈතකදී සංවර්ධනය කරන්නට පටන් ගත්ත පාරක් ය. එහෙත් සිංහරාජයයේ තිබෙන තේජස නිසාම තවමත් වැඩ අහවර වී නැත. සැරින් සැරේ මේ පාර මතුව නැවත වල්බිහිව යයි. ඒ සිංහරාජය ආරක්ෂා කරගන්නට වෙර දරන මිනිසුන් නිසාය. යුනෙස්කෝ වැනි ලෝක සංවිධාන නිසාය.

රැවුලයි කැඳයි දෙකම බේරගමු!අපි අද කතා කරන මේ පාර නෙලුව සිට ලංකාගම හරහා මිදේරිපිටිය පසුකර දෙණියාය දක්වා දිගු වූවකි. කිලෝමීටර් 20ක් පමණ දිගය. කඳු බෑවුම් හරහාද ගිං ගඟ නිම්නයට සමාන්තරවද නයෙක්වගේ යන මේ පාරේ නෙලුව සහ ලංකාගම අතර කොටසේ කිලෝමීටර් 1.1ක් පමණ සිංහරාජ රක්ෂිත වනාන්තරයට  මායිම් වෙයි. එම ප්‍රමානය කොටස් තුනක් ලෙස, එනම් මීටර් 400, මීටර් 600ක් සහ තවත් මීටර් 200ක් ලෙස  තැනින් තැන පැතිර ඇත. නෙලුවේ සිට ලංකාගමට ඇති දුර පයින් යාහැකි දුරක් ය. ඒ දුර මා පයින්ම තරණය කළ වාර දෙක තුනක් ය. මට හිතෙන්නේ මේ දුර කිලෝමීටර් 10 කට අඩු බවය. එමෙන්ම ලංකාගම සිට මිදේරිපිටියද පයින් යා හැකිය. එහි බොහෝ මිනිසුන් ඒ මග පයින්ම යති. එහෙත් මේ මග නෙලුව සිට ලංකාගමට කිට්ටු දූලි ඇල්ල දක්වා කාපට් අතුරා ඇත. ඊට එහාට කොන්ක්‍රීට් අතුරා ඇති අතර ප්‍රශ්නය තිබෙන්නේ ඉන් එපිටටය. එතනින් එහාට මග කඩතොලුය. අලි නාවන්න ඇහැක් වළවල් වලින් සුසැදිතය. මේ සීමාවේදී ද මේ පාර අඩි හයකට වැඩි බව මගේ මතකය කියයි. ලංකාගම පසුකළ විට මිදේරිපිටිය හරහා දෙණියායට වැටුණ මගේද සංවර්ධනය කළ යුතු සීමාව තිබෙන්නේ ලංකාගම සහ මිදේරිපිටිය අතරය. මේ දුෂ්කර මාර්ගයේද ත්‍රීවිලර්, බයිසිකල් සහ තේ දළු ප්‍රවාහන ට්‍රක් රථ ධාවනය වෙයි. දෙණියායේ සිට මිදේරිපිටිය ගිං ගඟට මායිම්වන පාලම අසලටම කාපට් අතුරා හොඳ තත්ත්වයේ ඇති බව මතකයයි.

එහෙනම් මේ සිංහරාජය පිළිබඳව ප්‍රශ්නය එන්නේ උක්ත කිලෝමීටර් 1.1 ට අදාළවය. එය සංවේදී සිංහරාජ වනගුල්මය හරහා කිමිදෙන බව සත්‍යක් ය. මේ කිලෝමීටර් 1ට මඳක් වැඩි දුර අඩි 20ක පමණ පළලකට ඩෝසර් කිරීම සිංහරාජයේ ආරක්ෂාවට තර්ජනයක් බවද අප පිළිගත යුතුය. එහෙනම් අපි රැවුලයි කැඳයි දෙකම ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ගැන සිතිය යුතුය. නැතිනම් මේ ගම්පිටින් එනත් අසක පදිංචි කළ යුතුය. නැගෙනහිර කුමන ගම කුමන රක්ෂිතයෙන් ඉවත් කළා සේ..!

සිංහරාජය සල්ලි උල්පතක්

අප මුලින්ම සිංහරාජය සල්ලි උල්පතක් බව තේරුම් ගත යුතුය. අපි සැළසුමක් අනුව කටයුතු කළහොත් සිංහරාජයෙන් විශාල විදේශ විනිමයක් උපයාගන්නට පුලුවන් ය. අපි තේරුම් ගතයුතු සත්‍ය වන්නේ මේ දුෂ්කර ගම්වල මිනිසුන්ගේ ජීවිත මෙපමණකට හෝ රැකුණේ ‘නිපුන රණවක’ වැනි දේශපාලකයන් නිසා නොව මේ වනය නිසා බවය. මේ මිනිස්සු රැක්කේ ජීවන හුස්ම පිම්ඹේ තවමත් ඔවුන්ට ඔක්සිජන් ලබාදෙමින් ඉන්නේ සිංහරාජයයි. අපි එය මුලින්ම තේරුම් ගතයුතුය. ඒ තේරුම් ගැනීමේ සිට අපි මේ මිනිසුන් දෙසද, දුෂ්කර හුඳකලා ගම්මාන දෙස බැලිය යුතුය.

මේ කලාපයේ හෝම්ස්ටෙයි සංචාරක කර්මාන්ත මාදිලිය බොහෝ ජනප්‍රිය ය. පවුල් විශාල ප්‍රමානයක් තම නිවෙස් සංචාරකයින්ගේ නවාතැන් ලෙස සංවර්ධනය කරගෙන ඔවුන් එහි නතර කරගෙන විශාල මුදලක් හරි හම්බ කරමින් සිටියි. එය මේ දුෂ්කර හුඳකලා ගම් බොහෝමයක මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. මිනිසුන් කල්පනා කළ යුතු වන්නේ ලංකාගම සහ මිදේරිපිටිය කාපට් පාරකින් යා කළ විට ඔවුන්ට විශාල ආදායමක් ගෙනත් දෙන මේ නව කර්මාන්තයට කුමක් වේදැයි යන්නය. මෙහි එන සංචාරකයින් එන්නේ සිංහරාජය සමග ඒ වටා තිබෙන මේ ගම්මානවල දුෂ්කරත්වය විඳින්නය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ අමු ගමක් ය. උදෑසනට කුරුල්ලෝ නැරඹිය හැකි ගමක් ය. එනිසා මේ “අමුකම” ආරක්ෂා කරගනිමින් ගමේ පහසුමක්ද වැඩි කරගන්නේ කොහොමදැයි කියා මේ මිනිසුන් කල්පනා කළ යුතුය. මේ මාර්ගය බොරළු දමා තලා සංවර්ධනය කිරීම වැනි විකල්ප ක්‍රම ගැන මෙහිදී සිතන්නට පුලුවන් ය!. එහෙත් ප්‍රධාන ප්‍රශ්නය මේවා සිතිය යුත්තේ කවුද යන්නයි. ප්‍රථිපත්ති සම්පාදකයින් මේවා ගැන සිතිය යුතුය.

ලංකාගම, මිදේරිපිටිය, පිටකැලේ වැනි මේ සිංහරාජය වටකරගෙන සිටින රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලට අයත් මේ ගම්මාන පොකුර, පාරිසරික, ජෛව විද්‍යාත්මක,  සාංස්කෘතික, ත්‍රාසජනක ආදී සංචාරක ඉසව් ඔස්සේ දියුනු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් සිතා බැලිය යුතු කාලය උදාවී ඇත. ඔවුන් අවුරුදු 50කට එපිටදී මිදේරිපිටිය ලංකාගම කෙසේ තිබිය යුතුදැයි මේ මොහොතේ දැකිය යුතුය. එසේ නොමැතිව මෙවැනි දුෂ්කර කලාපයකට තිරසර සංවර්ධනය ගෙන එන්නට බැරි ය. අද ලෝකයේ ධනවාදය යනු කැලෑ කපා ගස් ඉරා වටිනා ගෘහ භාණ්ඩ සෑදීම නොවන බව අපි අමතක නොකළ යුතුය. එනිසා ජනතාවට ආදරේ බව පෙන්වන්නට මේ ළහි ළහියේ කපන පාරේ මේ මිනිස්සුන්ට බඩේ පාර වදින මහා හෝටල් එන්නට පුලුවන් ය!. එනිසා විශාල හෝටල පරීශ්‍රයනට පහසුකම් සලසන එක පසෙක ලා හෝම්ස්ටෙයි ක්‍රමයට වැඩි පහසුකම් ලබාදෙන්නේ කොහොමද? වැනි දෑ ගැන ප්‍රථිපත්ති සම්පාදකයින් සිතා බැලිය යුතුය. සිංහරාජය ආරක්ෂා කරගනිමින් එයින් ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ අතමිට සරු කරන්නට පුලුවන් වන්නේ, මේ මිනිසුන්ට තමන්ගේ ගෙදර කාමරයක් විදේශික

සංචාරකයෙකුගේ නවාතැනක් බවට පත් කිරීමට මූල්‍යමය හයියක් සැපයීමෙන් ය. පැමිණෙන සංචාරකයින් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා විදෙස් භාෂාවන් පිළිබඳව දැනුමක් ලබාදීම මගින්ය. එන සංචාරකයින්ට පැණි හකුරු වැනි දෑ විකුණා ගැනීමට අවස්ථාවක් සලසා දීමෙන් ය. භූමි දර්ශනය අපිරිසිදු කරන ටකරන් මඩු, ලී මඩු වැනි දෑ ඉදිකිරීමට සීමා පැමිණවීමෙන් ය.

එනිසා නිපුන රණවක වැනි දේශපාලකයින් ද තමන්ගේ ගෙදරට පාරක් කපනවා සේ මේ වැනි දෑ නොකර යම් සැළැස්මකට අනුව දේවල් සිද්ධ කරනවා නම් අගනේ ය. ජනතාවද තමන්ගේ අතේ කුරුල්ලා විසිකර නගරයෙන්, ඉක්මනින් කුරුල්ලන් අල්ලගෙන එන්නට හිතනවානම් එයත් මරි මෝඩකමක් මය. එනිසා මේ පාර කැපීමද මේ ගම් සංවිධානය ද සිතාබලා සැළසුම්ගතව කළ යුතුය. එය එසේ නොවුණහොත් රැවුලයි කැඳයි දෙකම නැතිවෙනවා සිකුරුය.

රැවුලයි කැඳයි දෙකම බේරගමු!

  • කේ. සංජීව
Print Friendly, PDF & Email

Related posts

Leave a Comment