මෛත්‍රීපාල සිරිසේන ට්‍රෝජන් අශ්වයෙක් ද?

මෛත්‍රීපාල සිරිසේන ට්‍රෝජන් අශ්වයෙක් ද? - කේ. සංජීව

එස් එෆ් ලොක්කට අනුරාධපුරේ දී වෙඩි තියපු එක ගැන, සමාජයේ කතා ගොඩක් පැළවී ඇත. ඒ සිද්ධිය, ඒ වෙලාවේ 10 දෙනෙක් දැක්කේ නම්, එම සිද්ධිය ගැන කතන්දර 10ක් අඩුම තිබෙන්නට පුලුවන්. මෙහෙම බැලුවහම ‘ඇත්ත’ නැත්තං ‘සත්‍ය’ කියන එකත් විවිදයි. එක විට එක  දෙයක් ගැන සත්‍යයන් කිහිපයක් තියෙන්න පුලුවන්. ගෝඨාභය රාජපක්ෂගේ මේ සුවිශේෂී ජයග්‍රහනය ගැනත් සත්‍යයන් විශාල ප්‍රමානයක් තියෙන්න පුලුවන්. 1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය දැකලා නැති අපි දැක්ක සුවිශේෂීම මැතිවරණ දිනුම මේක. යුද්ධය දින්නට පස්සේ තිබ්බ ඡන්දවලින් මහින්ද රාජපක්ෂ ටවත් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් ලබන්නට බැරිවුණා. ඉතිං කොහොමද මේක උනේ? මෙහෙම ටිකක් ආපස්සට හිතනකොට හිතුන දෙයක් මේක. අපිට දෙයක් ගැන බලන්න පුලුවන් උන දේවල් වල අතීතයට ගිහිං. සිද්ධීන් රැසක් වර්තමානයේ ඉදලා අතීතයට පෙළ ගස්සලා අපිට පුලුවන් ඒ සිද්ධිය ගැන යම් නිගමනයකට එන්න. මමත් හිතුවා පසුගිය අගෝස්තු 5 ඡන්දෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය ලබා ගත්ත මේ සුවිශේෂී ජය ගැන එහෙම ආපස්සට සිදුවීම් පෙළගස්සලා බලන්න.

ඔව්.. ඇත්තටම මෙවැනි විශාල ජන සුනාමියක් ආවේ කොහොමද? ඒක නිර්මානයක් වෙන්න බැරිද?

සාධාරණ සමාජය

2013 / 2014 වෙනකොට මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කඳු මුදුනට නැඟලා තිබුණේ. මේ හින්දම ලංකාවේ සිවිල් ව්‍යාපාරය විශාල පිබිදීමක හිටියා. ඒ අනුහස, ඒ රැස් වළල්ල, ඒ සංවාදය හින්දම, ලංකාවේ පළල් සමාජ තීරුවකට තමන්ගේ රාජ්‍ය ප්‍රතිසංවිධානය කරගන්න, ප්‍රතිසංස්කරණය කරගන්න උවමනාවක් ඇති වෙලා තිබුණා. විශේෂයෙන් කොළඹ මැද පන්තියට විශේෂ උවමනාවක් තිබුණා අරාජිකත්වයක් දක්වා හැල්මේ දුවන ලංකාව වෙනස් මාවතකට ගන්න!.

සෝභිත හාමුදුරොවෝ මේ ජනතා තීරුවට නායකත්වය දුන්නා. මේ කාලයේ අපි කිහිප දෙනෙක් පුරවැසි බලය කියලා එකතු වෙනකොට ඒකටත් විශාල ආකර්ෂණයක් රට අස්සේ තිබුණා. ඒ කුඩය අස්සටත් ගොඩාක් පුරවැසියෝ එකතු වුණා. මෙහෙම පුරවැසි පොකුරු ඇති උනා සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජය හින්දා. මේ සකල පුරවැසි බලඇණි එක මිටකට එකතු වෙනකොට, ඒක ඇත්තටම ලංකාව වෙනස් කරන්න පුලුවන් බලවේගයක් බවට රූපාන්‍ත්‍රණය වුණා. සමාජය තීරණාත්මකව වෙනස් කරන්න උඩුයටිකුරු කරන්න විශාල කාලයක් බලං ඉන්න ඕනෑ නෑ. ඔව් ඒක සිද්ධ වෙමින් තිබුණා. ඊට සාපෙක්ෂව එවක තිබුණ මහින්ද රාජපක්ෂ පාලනය පල්ලමට වේගයෙන් පෙරළෙමින් තමයි තිබුණේ. එහි අනිවාර්ය වෙන්න තිබුණේ සමාජ වෙනසක්.

2014 මාර්තු 09 වෙනිදා රාවය වෙනුවෙන් මේ ලියුම්කරු සෝභිත හාමුදුරුවෝ සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. ඒ හමුව වෙලාවෙත් මම සෝභිත හාමුදුරුවන්ගෙන් ඇහුවේ ඔබ වහන්සේද මීළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. මොකද ඒ වෙනකොට සෝභිත හාමුදුරුවෝ ප්‍රමුඛ සිවිල් ව්‍යාපාරයට ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට තරම් සුවිශේෂී බලයක් රට අස්සේ ගොඩනැඟිලා තිබුණා. ඒ ප්‍රශ්නයට හාමුදුරුවෝ කිව්වේ, පුද්ගලයා නෙවෙයි වැදගත් ප්‍රථිපත්තිය තමයි වැදගත්, ඒනිසා අපි සාකච්ඡා කරලා හොඳම පුද්ගලයා ඉදිරිපත් කරනවා කියලා.

මේ කාලේ ගොඩනැඟිලා තිබුණ තත්ත්වය එක්ක, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, මාඳුළුවාවේ සෝභිත වගේ නම් කිහිපයක්, යහපාලන ප්‍රථිසංස්කරණය කියන කරත්තයේ ගැට ගහන්න ‘පොදු අපේක්ෂකයා’ කියන අශ්වයා කර ගන්න සාකච්ඡා බොහෝමයක් පැවතුනා. හාමුදුරුවෝ කියපු විදිහටම මාස හයකට ජනාධිපති වෙන්න පුද්ගලයෙක් තමයි අවශ්‍ය වුණේ. ඔහුට පැවරෙන රාජකාරිය තමයි විධායකය ජනාධිපති ක්‍රමය අවසන් කරලා, අත්‍යාවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රථිසංස්කරණ ටික කරලා ගෙදර යන එක.

මෛත්‍රීපාල_මහින්දගේ ඵෛතිහාසික ආප්ප සාදයට කළින් නිකුත් උන අවසාන රාවය පුවත්පතට නිව්ස් අහුලන බ්‍රහස්පතින්දාවක, අපි කවුද මේ අපේක්ෂකයා කියලා හොය හොයා ඉන්නකොට මගේ එක්සත් ජාතික පක්ෂයේ මිත්‍රයෙක් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්) මට කියනවා අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන කියලා. මම ඒක අපේ නිව්ස් මේසය උඩට දැම්මාම, අපේ බොහෝ දෙනෙක් ඒක විශ්වාස කළේ නැහැ. වික්ටර් අයිවන් පවා කිව්වේ, නෑ ඒක එහෙම වෙන්න විදිහක් නෑ කියලා. ඒ වෙනකොට ස්ථිර වශයෙන්ම රනිල්ට මෙම තනතුර ලැබෙන්නේ නෑ කියන තොරතුර තිබුණා. ඊළඟට හාමුදුරුවන්ගේ නම තිබුණා. කොහොම හරි චන්ද්‍රිකා බණ්ඩාරනායක තමයි මෛත්‍රීපාල ගේ නම අරගෙන එන්නේ. මේ නම යෝජනා කරන්න චන්ද්‍රිකාට තිබුණ එකම හේතුව, මෛත්‍රීපාල දුෂිතයෙක් නෙවෙයි කියන දේ. ගමෙන් ග්‍රාමසේවක තනතුරෙන්, ආපු මේ පුද්ගලයා මේ කොන්ත්‍රාත් එක හරියට කරලා නියමිත දින ගානෙන් ගෙදර යයි කියලා තමයි එදා ගොඩාක් දෙනෙක් හිතුවේ.

ආප්ප පාටිය

කොහොම හරි මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ එක්ක ආප්ප එහෙම කාලා ගිහිං පොදු අපේක්ෂකයා කියන අශ්වයා වෙනවා. ඇත්තටම ඔහු ජනවාරි 8 විප්ලවය විනාශ කරන්න ප්‍රතිවාදීන්ම එවපු ට්‍රෝජන් අශ්වයෙක් කියලයි, මේ සුවිශේෂී ජයග්‍රහනය එක්ක අද මට හිතෙන්නේ. ඒ වෙනකොට රට තුළ ගොඩනැඟිලා තිබුණ ප්‍රථිසංස්කරණ උවමනාව, පුලුල් ප්‍රජාතන්ත්‍රීය ප්‍රථිසංස්කරණ සඳහා රටතුළ ගොඩනැඟිලා තිබුණ මහජන අභිලාෂයන්,  සූක්ෂමව මරලා දාන එක තමයි මෛත්‍රීපාල ගේ කාර්‍ය වුණේ. ඒ ඇයි?

ඒ වෙලාවේ ලංකාව අස්සේ තිබුණ දේශපාලන වාතාවරණය එක්ක සිවිල් ව්‍යාපාරය කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහු ජයගන්නා වටපිටාවක් තමයි තිබුණේ. ඒ තත්ත්වය එක්ක ස්ථිරවම මහින්ද පරාජය වෙන්න නියමිතව තිබුණා!. මේ නිසා මෛත්‍රීපාල සිරිසේනට වඩා හැම අතින්ම ශක්තිමත්, දේශපාලන ප්‍රථිසංස්කරණය ඇගට උරාගෙන හිටපු මනුස්සයෙක් පොදු අපේක්ෂකයා කළොත්, ඒකෙන් රාජපක්ෂවරුන්ට විශාල අලාභයක් වෙන්න නියමිතව තිබුණා!. සමහර වෙලාවට ඒ තත්ත්වය අස්සේ ඒ පවුලේ දේශපාලනය ඉවර වෙන්න නියමිතව තිබුණා!. එහෙම තත්ත්වයක් අස්සේ කරන්න පුලුවන් හොඳම දේ මොකද්ද ? තමන්ගේම අපේක්ෂකයෙක් ඒ පැත්තෙනුත් තරගයට ඉදිරිපත් කිරීම නෙවෙයිද? එහෙම ඉදිරිපත් කරන ගමන් තමනුත් ඉදිරිපත් වීම තුළින්, ආවොත් එහෙමයි ගියොත් ඒත් එහෙමයි කියන එක තරම් හොඳ තවත් සැලැස්මක් තිබෙනවාද? මේ ට්‍රෝජන් සැලැස්මේ මුල ඒක වෙන්න බැරිද? අනෙක් පැත්තෙන් ඒ වෙලාවේ රටේ තිබුණ සමාජ ආර්ථික තත්ත්වය එක්ක මහින්ද රාජපක්ෂ තුන්වෙනි වතාවට ජනාධිපති උනානම්, රාජපක්ෂ පවුල වගේම රටත් විශාල විනාශයකට, නැවත ගොඩගන්නට බැරි විදිහේ විනාසයකට යන්නට ඉඩ තිබුණා. එහෙම විනාශ වෙනවද? අවුරුදු 5ක් පැත්තකට වෙලා ඉදලා ආයි අවුරුදු 25කට බලය ගන්නවද කියන එක හිතුවා වන්නට බැරි ද? පක්ෂ ගොඩනැඟීම ගැන තියෙන බැසිල් සාහිත්‍ය එක්ක බලනකොට එහෙම හිතෙන එකත් අසාධාරණ නැහැ නේද?

ට්‍රෝජන් අශ්වයා

මේ ට්‍රෝජන් සැළසුම හෙළිදරව් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විදිහට පත්වෙලා පැය 72ක් යන්නත් කළින් ඔහු තමන්ව අශ්වයෙක් සේ සරසලා තරඟයට එව්ව රාජපක්ෂවරුන් මුණගැසුණු බව අද රහසක් නෙවෙයි. ඔවුන් හමුවෙලා ලයිට් ඕෆ් කරගෙන කුමන්ත්‍රණයක් කළා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ පිළිබඳව තමන්ගේ පොතක ලියා තිබෙනවා. ඊට පස්සේ දිගටම මෛත්‍රීපාල සිරිසේන හැසිරුණේ මේ ට්‍රෝජන් භූමිකාව වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට ඔහුගේ දේශපාලනයට මේක තේරුනේ නෑ. (තේරුනත් ඔහුගේ දේශපාලනයට එය අදාළත් නෑ) මේ තත්ත්වය අස්සේ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ මුලු ධුර කාලයේම කටයුතු කළේ මේ භූමිකාව වෙනුවෙන් බවයි පෙනෙන්නේ. එහි අවසාන ප්‍රථිපලය පාස්කු ප්‍රහාරය!. තොරතුරු තිබියදී ඔහේ බලාගෙන හිටියා. ඔහු ආරක්ෂ මණ්ඩලය උනත් යොදාගත්තේ ශ්‍රීලනීපයේ සංවිධාන කටයුතු වගේ දේවල් ගැන කතා කරන්න. අනික් පැත්තෙන් රටට කෙළවන ගමන් ඔහු පොළොන්නරුවට භවුතික සංවර්ධනයක් අරගෙන ආවා. ඒක රාජපක්ෂවරු හම්බන්තොට කළාට වඩා විශාල එකක්. ඒ නිසාම මේ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ගෙදර යනකොට මෛත්‍රීපාල සිරිසේන ලක්ෂයකට වඩා ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට යනවා.

සමහර වෙලාවට ඔහු මේ නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙන්න පුලුවන් !.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විදිහට පත්වෙනකොට රාජපක්ෂවරුන්ට තිබුණ චෝදනා සුළුපටු නෑ. ඒවා පිළිබඳව ඔහු පරීක්ෂණ පටන් ගත්තත් ඉස්සරහට යන්න දුන්නේ නෑ. දෙනවා වගේ පෙන්වමින් නොදී හිටියා. රඟපෑවා. පාරක් පාරක් ගානේ රාජපක්ෂවරු ඇවිද්දවන්න තමයි කතා කළේ. ඡන්දයෙන් පැරදුනොත් තමන් මරාදමන්න ඉඩ තිබෙනවා කියලා තමයි කිව්වේ. දවල් එහෙම කිව්වත් ඔහු රාත්‍රීයට ඒ පාර්ශවය එක්ක සුහදත්වයෙන් බැඳුනා. හෙමි හෙමිහිට ඔවුන්ගේ අතට නැවත බලය මාරු කරන්න කටයුතු කළා. මේ හැමදෙයක්ම ආයිත් අතීතයට පෙළගැස්සුවාම මටනම් හිතෙන්නේ මේ යෝධ ජයග්‍රහනයේ සෙවනැල්ල මේ ට්‍රෝජන් අශ්වයාම තමයි කියලා. මෛත්‍රීපාල කෙනෙක් ජනාධිපති නොවුණානම් ගෝඨාභය කෙනෙක් නැත. මෙතරම් විශාල ගෝඨාභය කෙනෙක් නැත. එනිසා ගෝඨාභය මහතාගේ පාර්ශවය මෛත්‍රීපාල සිරිසේන මහතාට උකුස්සා කියමින් සරදම් කළත් මට නම් ඔහු ට්‍රෝජන් අශ්වයෙක්..!

මෛත්‍රීපාල සිරිසේන ට්‍රෝජන් අශ්වයෙක් ද? කේ. සංජීව

කේ. සංජීව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment