බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! - හර්ෂ බුලත්සිංහල

අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු.

අපේ නිර්මාණකරුවන්ට බුද්ධිමය දේපල ගැන නිසි දැනුමක් අවබෝධයක් නැහැ. ඒ නිසාම අපේ කලාකරුවන්, සාහිත්‍යකරුවන් නිරන්තරව පීඩාවට පත්වෙනවා.  අපේ භූමියේ පැලවුණ දෙයක් නෙමෙයි මේ බුද්ධිමය දේපල නීතිය. එතකොට අපි කල්පනා කරන්න ඕනෑ අපි මේක මේ බිමේ පැල කරගන්නේ කොහොමද කියලා. ඒක ලේසි නැහැ. ඒකට අපේ නිර්මානකරුවන් දැනුවත් වෙන්න ඕනෑ. නමුත් අපේ නිර්මාණ කරුවන් ළඟ ඒ දැනුම නැහැ. ඒ නිසාම අපේ නිර්මානකරුවන්ගේ නිර්මාණ, ඒ නිර්මාණ කරුවන්ට නිකං ෆන් එකක් විතරක් දෙන වැඩක් වෙලා. වෙනත් පාර්ශවයන් තමයි ඒ නිර්මාණවලින් හම්බකරන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ කියලා හිතුවා.

ලෝකයට සාපේක්ෂව ගත්තහම බුද්ධිමය හිම්කම් කළමනාකරණය, ප්‍රකාශන හිමිකම් කළමනාකරණය කියලා කියන්නේ සංස්කෘතියක්.  මම දකින්නේ මේ සංස්කෘතිය නිවැරදිව පැල කරගන්න නම් Intellectual Property Tools අඳුරගන්න ඕනෑ. අද ලංකාවට එළියේ ලෝකය, මේක ප්‍රායෝගිකව භාවිතා කරමින් අභ්‍යාස කරමින් ඉන්නවා. අපි ලෝකයත් එක්ක මුහුවෙලා එකට යන්න ඕනෑ. ඒකට අපිට හැකියාවක් තියෙනවද? ඒක තමයි වැදගත්. මේවා ඕනී නෑ අපිට, මේවා සුද්දෝ හදපු මඟුල් කියලා ගෝත්‍රිකව කල්පනා කරලා අතෑරලා දානවනම්, ඒ අයට බුද්ධිමය දේපල බොහෝම ඈතයි කියලා කියන්න ඕනෑ.

කාලයක් තිස්සේ අපි මානව අයිතීන් ගැන කතා කරනවා, මේ වනවිට තොරතුරු දැනගැනීම මූලික අයිතියක් විදිහට අපි පිළිගෙන තිබෙනවා. අපි මානව අයිතීන් දිනාගන්න විශාල අරගලයක හිටිය ජාතියක් උනාට, අපිට පේන්නේ නෑ අපි බුද්ධිමය දේපල අයිතිය වෙනුවෙන් අරගල කළා කියලා. හැමතැනම තිබුණේ බුද්ධිමය දේපල කොල්ලකන තත්ත්වයක්. ඕනෑම චිත්‍රපටයක් කැසට්පටයක් නිකුත්වූ සැනින් කොළඹ කොටුවෙන් ඒවා කුණුකොල්ලයට ගන්න පුලුවන් තත්ත්වයක් තිබුණේ. කලාකාරයෝ, සාහිත්‍යවේදීන් විතරක් නෙවෙයි රසික පාර්ශවය හෝ මේ පිළිබඳව කතා කළේ නෑ. හඬ නැඟුවේ නෑ. අපි ජාතියක් විදිහටම බුද්ධිමය දේපල කියන දේ දැක්කේ තවත් කෙනෙක්ට පහසුවෙන් කොල්ලකන්න තිබෙන දෙයක් විදිහට. 

ඔව් ඒක ඇත්ත. ඕකට මූලිකම හේතුව තමයි අපි දන්නේ නෑ අපිට එහෙම අයිතියක් තියෙනවද කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලිව්වට, ඒක තේරුන් අරන් ඉන්නේ කීයෙන් කීදෙනාද? ඉතිං ඒ වගේ බුද්ධිමය දේපල කියලා කියෝගන්න පුලුවන් උනාට, අපිට ඒක තේරුන් ගන්න පුලුවන් සාක්ෂරතාවය නැහැ. ඒකට යම් හැදෑරීමක් අවශ්‍යයි. ඒ නිසා තමයි කුටුම්බ ඇතුලේ අතිශ්‍යයින් පුද්ගලික සීමාවන් තුළ හුදකලාව, මේ අරගලයන් සිද්ධ වුණේ. අපි මුලින්ම තේරුන් ගන්න ඕනෑ සාමුහික කළමනාකරණය කියන එක. මෙතනදී කාටවත් තනි තනියෙන් ෆයිට් කරන්න බැහැ. සාමූහිකත්වය ඇතුලේ තමයි අපිට මේ සටන කරගෙන යන්න වෙන්නේ. Collective Movement කියන එක අපිට තේරෙන්නේම නෑ. ඒක අපිට හරි අමුතුයි. ඒක අපේ සංස්කෘතියේම ප්‍රශ්නයක් මට හිතෙන්නේ. අපිට ප්‍රශ්නයක් තියෙනකොට අපි හිතන්න ඕනෑ, මේ ප්‍රශ්නේ අපිට විතරක් නෙවෙයි තියෙන්නේ කියලා. එතකොට අපිට පුලුවන් සාමුහිකව මේ ගැන හිතන්න. ඒ නිසා තමයි හුදකලා සටන් පේන්නේ. අපේ සංගමය වුණත් මේ සම්බන්ධයෙන් කරන සටන් වලදි අපිට තේරෙන්නේ අපි හුදකලා සටනක් කරනවා වගේ තමයි. අනියම් විදිහට ප්‍රතිලාභ ලබන කණ්ඩායම් එක්ක මේ ගනුදෙනුව කරන්න අමාරුයි. මේ සාකච්ඡාව කරන්නත් අමාරුයි. ඔවුන් තමයි ඇත්තටම මේ සාමූහික සටනට එකතුවෙන්නේ නැති පිරිස. ඔවුන්ට අනියම් විදිහට ප්‍රතිලාභ ලැබෙන නිසා ඔවුන්ට ඕනෑ නෑ, අනික් පිරිසට මේක අරං දෙන්න.

දැන් බලන්න සංගීතය ගත්තොත් ඒක සාමුහික කලාවක්. මම සංගීතඥයෙක් සහා ගායකයෙක් එතකොට මට හිමිකම් දෙකක් තිබෙනවා. මාව දෙකට බෙදන්නේ නැතුව මේ හිමිකම් දෙක දෙකට බෙදලා සාමුහිකව කළමනාකරණය කරන්න තමයි ලෝකය උගන්වන්නේ. මේකනේ අපි මුලින්ම අඳුරගන්න ඕනෑ. දැන් අපි පුද්ගලයෝ වශයෙන් බෙදිලා ඉන්නවා. අරයා අර සංවිධානයේ මෙයා මේ සංවිධානයේ කියලා.  මෙන්න මේ විදිහට මේ සටන පුද්ගලික මතවද අස්සේ හිරවුණාම දියාරු වෙනවා.

නිර්මාණ මංකොල්ලය කියන දේ හර්ෂට තාත්තා නිසා බොහොම සමීපව දැනෙන්න ඇති..

1987 ඉදලා තමයි මමත් සංගීත නිර්මාන කරන්නේ. හැබැයි මම නිර්මාණ කරුවෙක් විදිහට මිනිස්සු අඳුරගන්නේ 1996 විතර. ඒ “මගේ මලයි” කියන සින්දුව එක්ක. ඒ නිර්මාණ කරන අවධිය ගත්තත් මම බුද්ධිමය දේපල සම්බන්ධයෙන් කිසිදෙයක් දන්නේ නැහැ. මගේ තාත්තා වුණත් ඒ කාලේ මේක ගැන මොකවත් දන්නේ නැහැ. ඒ ගැන පළල් සංවාදයක් තිබුණෙත් නැහැ. අපි එක්ක ක්ෂේත්‍රයේ එකට වැඩ කරපු පිරිස් පවා මේ ගැන කතා කළේ නැහැ. ඇත්තටම මේ තත්ත්වය වෙනස් වෙන්නේ 2005 වර්ෂයේ වගේ කාලෙක. 2004 දී මට අවස්තාවක් ලැබෙනවා Audio Engineering ගැන වැඩිදුර ඉගන ගන්න කැනඩාවට යන්න. මගේ අතේ මුදල් වියදම් කරලා, තාත්තා අම්මා ළඟ තිබුණ සල්ලි වියදම් කරලා තමයි ඒ ගමන ගියේ.  අවුරුද්දක් පුරා දිවෙන ඒ පාඨමාලාවේ විෂයක් තිබුණා එම් අයි ඕ කියලා. M I O කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි ඕවර්වීව් කියන එක. මේ සබ්ජෙක්ට් එක අස්සේ රේඩියෝ රොටේෂන් කියලා එකක් තියෙනවා. මේකෙන් කතා කරන්නේ කොහොමද රේඩියෝ චැනල්ස්, ටීවී චැනල්ස්, ඒ රටේ ගීත පාවිච්චි කරන්නේ කියන දේ. මේ සබ්ජෙක්ට් එක කරනකොට තමයි මම බුද්ධිමය දේපලක් තියෙනවා කියන දේ ඉගනගත්තේ. ඒ හරහා තමයි මම ඉගනගත්තේ  Collective Management කියන කාරණාව. ඊට පස්සේ Audio Engineering වලට වඩා මට මේ සබ්ජෙක්ට් එක ඉගනගැනීමේ ආසාව ආවා. ඒ ඔස්සේ තමයි මම මගේ මේ ගමන පටන් ගන්නේ.

ඒ වෙනකොට අපේ තාත්තගේ නිර්මාණ වගේම මේ රටේ නිර්මාණ කරුවන් බොහෝ දෙනෙක්ගේ නිර්මාණ අවභාවිතා වෙමින් තමයි තිබුණේ. ඒ නිර්මානකරුවන්ගේ නිර්මාන අවුරුදු 20 කට 30 කට වඩා අපයෝජනය වෙලා තිබුණා. මම කැමති නැහැ තාත්තා විතරක් මෙතන තියාගෙන කතා කරන්න. නිර්මාණකරුවන් හැවෝටම වගේ එක හා සමානව මේ අසාධාරණය සිද්ධවුණා. මමයි තාත්තයි එක ළඟ ජීවත් වෙන්නේ. එතකොට මේ චරිතය ජීවත්වෙන්නේ කොහොමද කියන එක මම දිනපතා දකිනවා. ඔහු සෑහෙන්න ගීත ලියලා තියෙනවා. නූතන ගීතයේ රූප රචකයා, ඔය වගේ වචනයෙන් දෙන්න පුලුවන් උපරිම ක්‍රෙඩිට් එක දීලා තියෙනවා. නමුත් ඒ නිර්මාණ වලින් සත පහක්වත් නොලබා ඔහු අසීරුවෙන් කොහොමද ජීවත් වෙන්නේ කියලා මම දැක්කා. කොච්චර නිර්මාණ ඔහුගේ නමින් තිබුණත්, ඔහු ජීවත් වුණේ ටෙලි නාට්‍යයකින් වගේ දේකින් හම්බ කළ සොච්චම් මුදලෙන්. ඔහුගේ සින්දු කොච්චර රේඩියෝ ස්ටේෂන්, ටෙලිවිෂන් පාවිච්චිකරනවද? ඇත්තටම මේ අත්දැකීම නිසා තමයි මම මේක ඉගනගන්නවා කියලා හිතුවේ. මේකෙදී මට උදව් කරපු පළවෙනි කෙනා තමයි අසෝක සේරසිංහ මහත්තයා. එක්තරා මොහොතකදී අපි හමුවුණාට පස්සේ ඔහු තේරුම් ගත්තා මේ පිළිබඳව මා සතුව යම් දැනුමක් තිබෙනවා කියලා. ඒ වෙනකොට ඔහු CVPS කියලා කලෙක්ටිව් සොසයිටි එකක් හදලා තිබුණා. ඒකත් එක්ක කටයුතු කරන්න අරගෙන තමයි මම මේ ගමන ආරම්භ කළේ. අවසානයේ නෛතික තත්ත්වයන් මත රටේ නිර්මානය කරලා තිබුණ සියලුම කලෙක්ටිව් සොසයිටීන් මේ වැඩේට ගැළපෙන්නේ නෑ කියලා වයිපෝ එක නැත්තං වර්ල්ඩ් ඉන්ටර් ලෙක්චුවල් ප්‍රොපටි ඕගනයිශේෂන් එක රිපෝට් එකක් දුන්නා 2004 සහ 2009 අවුරුදු වල. ඊට පස්සේ තමයි අපි අසෝක සේරසිංහ මහත්තයා එහෙම එකතුවෙලා වයිෆෝ එක දුන්න රෙකමෙන්ඩේෂන්ස් යටතේ අලුත් ඕගනයිශේෂන් එකක් හැදුවේ. ඒ විදිහට තමයි අපි මේ ඇක්ෆෝ කියන සංවිධානය හදන්නේ. මේ සංවිධානය හදලත් දැන් අවුරුදු හතරක් වගේ තමයි වෙන්නේ.

තාත්තගේ නිර්මාණ බොහෝ වෙලාවට යන්නේ ගුවන් විදුලි කාලයට. සරළ ගී වැඩසටහන් වලට ලියපු සින්දු තමයි ගොඩක් තිබෙන්නේ. CD වලට, කැසට් වලට, චිත්‍රපටවලට කරපු ගීත තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ සින්දු ගොඩක් ගුවන් විදුලියෙත් ඇස්දෙක වහලා මංකොල්ල කෑවා. ඒක කළේ කවුද? ඒක කළේ ඒ සින්දු ගායනය කළ ගායක ගායිකාවන්. ඔවුන් CD ප්‍රොඩියුෂස්ලා අල්ලගෙන මේ වැඩේ කළා. ඒ මිනිස්සු කිසිම නෛතික පසුබිමක් නැතුව එම අපයෝජනය දිගින් දිගටම කළා. මේක හදාරනකොට අපිට මේ ඉතිහාසික වැරැද්ද පේනවා.

අපි බුද්ධිමය දේපල අයිතිය සුරැකීම ගැන දියුණු රටවල තිබෙන යාන්ත්‍රනය ගැන සහ හර්ෂලා දැන් කරමින් ඉන්න වැඩේ ගැන අපි ටිකක් කතාකරමු.

බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම ලෝකයේ පටන් ගන්නේ 1777 වගේ බොහොම ඈත කාලෙක. මේ අවුරුද්දේ තමයි ප්‍රථම සාමුහික කළමනාකරණ සංවිධානය බිහිවෙන්නේ ප්‍රංශයේ. ඒක බිහිවෙන්නේ නාට්‍ය සහ සංගීතය වෙනුවෙන්. ඊට පස්සේ 1845 තමයි අපිට ලිඛිතව හමුවෙන්නේ කලෙක්ටිව් මැනේජ්මන්ට් ඕගනයිෂේසන් එකක්. ඒක ප්‍රංශයේ තවමත් තිබෙනවා. 1948 බර්න් කන්වෙන්ෂන් එක අපි සයින් කරනවා. බර්න් කන්වෙන්ෂන් එක ඇතුලේ එනවා මේ ප්‍රොටෙක්ෂන් එක. ඇත්තටම මේ බර්න් කන්වෙන්ෂන් එකේ තියෙන ආටිකල්ස් තමයි අපේ බුද්ධිමය දේපල පනතේ වැඩි හරියක් තියෙන්නේ. 1979 ලලිත් ඇතුලත්මුදලි මහත්තයා තමයි මුලින්ම බුද්ධිමය දේපල පිළිබඳ පනතක් ගේන්නේ. මේ පනත හඳුන්වා දුන්නට පස්සේ තමයි ලංකාවේ පළවෙනි සාමුහික කළමනාකරණ සංවිධානය බිහිවෙන්නේ. ඒ සංවිධානය තමයි SLPRS කියලා කියන්නේ. ඊට පස්සේ 1981 ඉදලා 2002 වෙනකම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. අවුරුදු 21 කිසිම දෙයක් වෙන්නේ නෑ. ඉන්දියාව අපිට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. අපිට අවශ්‍ය නම් ඉන්දියාව එක්ක එකතුවෙලා මේක දියුණු කරන්න තිබුනා. නමුත් ඒ කිසිදෙයක් උනේ නෑ. එහෙම ඇවිල්ලා ඇවිල්ලා 2002 සුබසාධන සංගමයක් තමයි හදන්නේ. ජාතික බුද්ධිමය දේපල ඔෆිස් එකේ රෙජිස්ටර් කරනවා ඒක. ඒකෙන් තිබුණ ප්‍රශ්නය තවත් ව්‍යාකූල වෙනවා.  ඊට පස්සේ 2003 ආයිත් බුද්ධිමය දේපල පනතක් ගේනවා. මේ පනත ඇවිත් අවුරුද්දක් යනකොට වයිෆෝ එක ලංකාවට එනවා, ඔවුන් ඇවිත් සමීක්ෂණයක් කරනවා ලංකාවේ. ඒ සමීක්ෂණයෙන් පස්සේ කියනවා ඔස්කා සංවිධානය ඇතුලු මේ සංවිධාන දෙකම මේ වැඩේට ගැළපෙන්නේ නැහැ කියලා. 2009 දිත් ආයෙමත් සමීක්ෂණයක් කරන වයිෆෝ සංවිධානය කියනවා ඒ වෙනකොට තිබෙන සාමුහික කළමනාකරණ සංවිධාන එකක්වත් මේ වැඩේට ගැළපෙන්නේ නැහැ කියලා. ඒ තත්ත්වය එක්ක තමයි 2013 ඇක්පෝ සංවිධානය බිහිවෙන්නේ. ලෝක බුද්ධිමය දේපල සංවිධානය, ප්‍රංශයේ සීසැක් කියන සංවිධානය අපිව පිළිගෙන තිබෙනවා. YouTube කියන්නේ අද හැමෝම පාවිච්චිකරන ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකක්, ඔවුනුත් අපි එක්ක එකතුවෙලා වැඩකරන්න කැමතියි. ඔවුන් අපේ සංවිධානය පිළිගන්නවා. අපි අවුරුදු දෙකක වගේ කාලයක් ඇතුලේ විශාල ගමනක් ගිහිං තිබෙනවා. ගීත රචකයින්, ගායකයින්, සංගීතඥයින් කියන ත්‍රිත්වය ඇක්ෆෝ එකත් එක්ක එකතුවීම තමයි අපේ මේ ක්‍රියාදාමයේ ජයග්‍රහණය. ඔවුන්ට තමන්ගේ මේ බුද්ධිමය දේපල අයිතිය ලබාගන්නනම් අපි සමග එකතු වෙන්න ඕනෑ.

අපි මේ සාමුහික කළමනාකරණය කියන කාරණය ටිකක් පැහැදිලි කරගමු

බුද්ධිමය දේපල එකතු කිරීමේදී සාමුහික කලමනාකරණය නැත්තන් කලෙක්ටිව් මැනේජ්මන්ට් කියන එක තමයි ලෝකයේම පිලිගත්ත ක්‍රමය. එතකොට අපිට කරන්න තියෙන්නේ ලෝකයම අද භාවිතා කරන මේ ක්‍රමයට අනුගතව වැඩ කිරීම. සාමුහික කළමනාකරණය සඳහා අවශ්‍ය නීති ඒ නිර්ණායකයන්, රූල්ස් ඒවා හදලා තියෙන්නේ ප්‍රංශයේ සීසැක් කියන ආයතනය. අපි ඒවට අනුගත වෙන්න ඕනෑ. ඇයි සාමුහික කළමනාකරණ ආයතනයක් නිර්මාණ කරුවෙකුට අවශ්‍ය? මෙහෙම හිතමු, මම ගීතයක් නිර්මාණය කරනවා, එතකොට මට පුලුවන්ද මේ ගීතයට අදාළ කොපි රයිට්ස් එකතුකරගන්න දවස තිස්සේ මේ නාලිකා සියල්ල අහන්න බැහැ, එතකොට මම වෙනුවෙන් ඒ වැඩේ කරන්නේ මේ සාමුහික කළමනාකරණය පිළිබඳ ආයතනය. එතකොට නිර්මාණකරුවාට පුලුවන් ගෙදර ඉදලා නිර්මාණ කරන එක. එයාට ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ඔහු ඇක්ෆෝ ආයතනය එක්ක සම්බන්ධ නම් අපි ලෝකෙටම අපේ ඇහැ දාගෙන ඉදලා ඒ නිර්මාණකරුවාගේ නිර්මාණ අයිතිය එකතුකරලා දෙනවා. අපි දන්නවා ද බැංකුවල, ෂොපින් මෝල්ස්වල, මේ හැම්තැනකම ගීත විකාශය වෙනවා, එතකොට මේ හැමතැනක්ම අපි නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ඒ අදාළ කොපි රයිට්ස් එකතු කරනවා. පිටරට ප්‍රසංගයක අපේ සිංදුවක් ගියත්, අපිට ඒ රටවල් වල තිබෙන මේ සාමුහික කළමනාකරණ ආයතන සමග එකතුවෙලා කොපි රයිට්ස් හුවමාරු කරගන්න පුලුවන්. ඒ රටේ ගීතයක් මෙහේ විකාශය වෙනකොට ඒක අපිට එකතුකරලා ඔවුන්ට දෙන්න පුලුවන්. අපේ ගීතයක් ඔවුන්ගේ රටේ යනවනම් ඒක ඔවුන් අපිට එකතුකරලා දෙන්න පුලුවන්. සරළව ගත්තොත් මේ සාමුහික කළමනාකරණය පිළිබඳ ආයතනය වැඩකරන්නේ එහෙමයි. මේක අපිට ලංකාවේ නිවැරදිව හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන් උනොත් අපේ නිර්මානකරුවන්ගේ ඒ නිර්මාන අයිතිය සුරැකෙයි. ඔවුන්ට තමන්ගේ නිර්මානය කොහේ විකාශය වුණත් ඒකට මුදලක් ලැබෙයි. ඒ නිසා තමයි අපි නිර්මානකරුවන්ට කියන්නේ, අපි එක්ක එකතුවෙන්න කියලා.

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! - හර්ෂ බුලත්සිංහල

-කේ. සංජීව-

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment