බ්‍රැන්ඩික්ස් ගැන ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!

දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය.

ඇයට කොරෝනා වැලඳුන ආකාරය පිලිබඳ අදටත් හෙළි නොවුනද ඇය කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මේ වන විට ඇය සේවයක කළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කෙරුණු අසාධාරණකම් නම් බොහෝමයක් හෙළිදරව් වෙමින් ඇත්තේය.

අසනීප තත්ත්වයේ පසු වු ප්‍රදීපිකා තමන්ට මෙන්ම තමන්ගේ සහෝදර සේවක සේවිකාවන්ට සිදුවන අසාධාරණකම් පහුගිය සතිඅන්ත පුවත්පත් කිහිපයක් වෙතම හෙළිකර තිබුණේය.

ඇය කියන ආකාරයට කොරෝනා වෛරසය ගැන පහුගිය කාලයේ සැමෝටම අමතක වෙමින් තිබු සමයකි. ඒ් නිසාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේද පැමිණෙන අයගේ ශරිර උෂ්ණත්වය බලා නැත. විෂබීජහරණයක් යොදා දෑත් සේදීමට තිබී නැත. මුඛ ආවරණ පැළඳ නැත. ඒමෙන්ම දුරස්ථභාවයක්ද නැත.

මෙවන් පසුබිමක ඔවුන්ට මේ මස 14 වෙනිදාට පෙර ලබා දිය යුතු ඇනවුමක් ඉන්දියාවෙන් ලැබී තිබුණි. මේ සඳහා අවැසි රෙදි හා අමුද්‍රව්‍යද ඉන්දියාවෙන් ඒවා ඇත. ඒ් නිසා ඔවුන් උදේ සිට රෑ වෙනතුරු ටාගට් ඒක සම්පුර්ණ කිරිමට වෙහෙසී ඇත.

මේ අතර පහුගිය සැප්තැම්බර් 19-20 දිනවල සිට ආයතනයේ සේවක සේවිකාවන්ට උණ, සෙම්ප්‍රතිස්සාව සෑදී ඇති නමුත් කිසිදු සේවක සේවිකාවකට අසනීප නිවාඩු ලබා නොදිමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. අවස්ථානුකූලව ඔවුන්ට ආයතනයේ වෛද්‍යවරයා විසින් බෙහෙත් ලබා දී තිබේ.

ප්‍රදීපිකාද අසනීප වන්නේ මේ අතරය. ඒ් පහුගිය 27 දාය. ඒහිදි ඇයට ලැබෙන්නේද පැනඩෝල් 02 කි. සැප්තැම්බර් 30 නැවත ඇය අසනීප වන්නේ හුස්ම ගැනීමේ අපහසුවත් සමගිනි. ඒහිදිද ඇයට ආයතනයේ වෛද්‍යවරයා ලබා දී ඇත්තේ උදරයේ ආම්ලිකතාවයට ලබා දෙන බෙහෙතකි. නමුත් ඒහිදි ප්‍රදීපිකාගේ දැඩි බල කීරිම මත ඇයව ගම්පහ රෝහල වෙත ගෙනියන්න සිදුව ඇත.

රෝහල් ගත වීමෙන් අනතුරුව කොරෝනා ආසාදිත බව අනාවරණය වීමත් සමඟ ඇය පිලිබඳ බ්‍රැන්ඩික්ස් ආයතනය සොයා බලා නැත. ඒ් වෙනුවට ඒහි පාලනාධිකාරිය කර ඇත්තේ ඇයට දුරකථනයෙන් අමතා බැන වැදීමය. ඇය කියනා ආකාරයට ඉතා පහත් විදිහට ඇයට බැන වැදී විමසා ඇත්තේ ඔයා ඉන්දියාවෙන් ආපු අය සමඟ සිටියාද යන්නය.

මීට පෙර ලිපියකදීද අප සඳහන් කළ අකාරයට රජය විසින් කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වන බව පැවසීමත් සමඟ බ්‍රැන්ඩික්ස් ආයතනය කලබලයෙන්ම නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ් තම ආයතනය සේවකයින් ගැන සිතන බවත් සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන බවත් පවසමිනි.

නමුත් ප්‍රදීපිකාගේ කථාවත් සමඟ ඒ් සියල්ල බොරුවක් බව පෙනී යයි. මෙහි සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. අද වන විට මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නොසැලකිල්ල නිසා රට පුරා කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇත්තේය. නිරෝධායන නීති කඩකරන්නන්ට මාස 06 ක සිර දඬුවම් රැගෙන ඒන ගැසට් පත්‍ර නිකුත් කරයි. නිරෝධායන නීති උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගනිති. ඒහෙත් රටක් කොරෝනා ව්‍යාප්තියට මුල් වු ආයතනය ගැන මෙතෙක් තවම කිසිදු පියවරක් ගෙන නොමැති වීම කම්කරුවන් සියලු දෙනාගේම දැඩි අප්‍රසාදයට පත්ව ඇත.

පසුගියදා අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රදිපිකා සුදර්ශණී සමග ‘අරුණ‘ පුවත්පත සිදු කල කතාබහ අප මෙසේ පළකරමු.

ප්‍රශ්නය : කොහොමද දැන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය?

කාන්තාව : මට දැන් සුවයක් තියනවා. කොරෝනා හැදුණු කාලයේ නම් මට අධික පපුවේ අමාරුවක් තිබ්බා. හුස්ම ගන්නත් බැරුව තමා හිටියේ. එත් දැන් යම්කිසි සුවයක් තියෙනවා. ඒ වගේම දැන් හොඳට හුස්ම ගන්නත් පුළුවන්.

ප්‍රශ්නය : පසුගිය දවස්වල ඔබ ගැන නිතරම සමාජ මාධ්‍යවල මුළු රටේම කතාබහට ලක් වුණා නේද විශේෂයෙන්ම?

කාන්තාව: ඔව්, මගේ ගැන ගොඩක් දෙනෙක් කතා වුණා නෙවෙයි ගොඩක් අය මං ගැන කතා හැඳුවා. ඔවුන් පුළුවන් තරම් මට මඩගැහුවා. මගේ චරිතේ හොඳ නෑ, මට වෙන වෙන සම්බන්ධතා තියෙනවා කිව්වා. මට අන්න ඒ නිසයි කොරෝනා හැදුනේ කියලත් කිවුවා. ඒ විතරක් නෙවෙයි මම සත්‍ය වසංකරනවා කියලත් කියලා තිබුණා. මේ වගේ නොයෙක් ජාතියේ කතා හදලා මාවයි මගේ පවුලේ අයවයි අපහසුතාවට පත්කරලයි තිබුණේ.

ප්‍රශ්නය: ඔබ සත්‍ය වසං කළේම නැද්ද?

කාන්තාව: නැහැ, මම දන්න හැම දෙයක්ම පොලිසියටයි, පී.එච්.අයි. මහත්වරුන්ටයි, ගම්පහ ඉස්පිරිතාලේ දොස්තර මහත්වරුන්ටයි කිව්වා. මම කිසිම දෙයක් කිසිම කෙනෙක්ට හැංගුවේ නැහැ.

ප්‍රශ්නය: එහෙනම්, ඇත්තටම එදා මොකද වුණේ?

කාන්තාව: මම වෙනදා වගේම සැප්තැම්බර් විසි අටවැනිදත් සුපුරුපු විදිහටම වැඩට ගියා. එත්, පොඩ්ඩක් ඔළුවේ වේදනාවකුයි, උණ ගතියකුයි තිබුණා. මම මගේ මහත්තයාට කිවුවා අද නම් ටිකක් අමාරුයි වගේ ඒ නිසා ටිකක් වේලපහ ගෙදර එන්නම් කියලා.

එත් ෆැක්ටරියේ අපේ අංශය භාරව හිටපු මහත්තයගෙන් මම ඇහුවා ‘මට ටිකක් අසනීපයි වගේ ඒ නිසා ටිකක් වේලපහ ගෙදර යන්නද?’ කියලා. එයා කිව්වා, ‘ඔක්තෝම්බර් දාහතර වැනිදා වෙනකොට ඇණවුමක් බාරදෙන්න තියනවා’ ඒ නිසා වේදනා නාශකයක් බීලා වැඩ කරන්න කියලා. මම කොච්චර කිව්වත් එයාලා මට නිවාඩු දුන්නේ නැහැ.

පහුවෙනිදත් මගේ සියලුම අමාරුකම් තියාගෙන මම වැඩට ගියා. අන්තිමට පපුවේ අමාරුවක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ක්ලාන්තේ දාලා වැටුණා.

” මම කොච්චර කිව්වත් එයාලා මට නිවාඩු දුන්නේ නැහැ.පහුවෙනිදත් මගේ සියලුම අමාරුකම් තියාගෙන මම වැඩට ගියා. අන්තිමට පපුවේ අමාරුවක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ක්ලාන්තේ දාලා වැටුණා.”

ප්‍රශ්නය: ඊට පස්සේ?

කාන්තාව: පස්සේ මගේ සහෝදර සේවකයන් ඇවිල්ලා මාව ෆැක්ටරියේ හිටිය හෙද නිලධාරියන් ළඟට එක්ක ගෙන ගියා. එයාලා මගේ උණ බැලුවා. එකේ මගේ උණ සටහන් වෙලා තිබුණේ එකසිය එක කියලා. ඒ නිසා අයෙත් පාරක් මගේ උණ චෙක්කරා. එතකොට තිබුණේ අනුනමයයි. ඒ නිසා එයාලා කිවුවා මට වයිරස් උණක් තියෙන්නේ එච්චර බයවෙන්න ඕනේ නැහැ ඔයාට වැඩ කරන්න පුළුවන් කියලා…එත් මම කිවුවා මගේ පපුව රිදෙනවා කියලා.

එතකොට හෙද නිලධාරිනියක් ඇවිල්ලා මට බඩේ දැවිල්ලට බොන පෙති දෙකක් දුන්නා. ඒක දීලා කිව්වා ඔයාට තියෙන්නේ ගැස්ට්‍රික් ඒ නිසා මේක බොන්න කියලා.

එත්, මට තිබුණේ බඩේ දැවිල්ලක් නෙවෙයි, පපුවේ අමාරුවක්. ඒ නිසා මම එයාලගෙන් ඉල්ලුවා පුළුවන් නම් මාව දිවුලපිටිය ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න කියලා. නැත්තන් මගේ මහත්තයාට එන්න කියන්න මම එයත් එක්ක ඉස්පිරිතාලේ යන්නම් කියලා.

ඒත්, මාව ඉස්පිරිතාලෙට එක්ක ගෙන යන්න එයාලට වුවමනාවක් තිබ්බේ නැහැ. පස්සේ මම බලෙන්ම වගේ කිව්වා මට ඉස්පිරිතාලෙට යන්න ඕනේ කියලා. ඒ නිසා එයාලා මාව ගම්පහ ඉස්පිරිතාලෙට අරගෙන ගියා.

ප්‍රශ්නය: ඒ මොහොතේදී ගම්පහ රෝහලෙන් ඔබට මොනවගේ ප්‍රතිකාරයක්ද ලැබුණේ?

කාන්තාව: මාව මුලින්ම බාහිර රෝගී අංශයට එක්ක ගෙන ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. පස්සේ දොස්තර මහත්තයා කිව්වා ඔයාට උණ වැඩි වෙලා නිව්මෝනියා තත්ත්වයට ඇවිල්ලා කියලා. ඒ නිසා කලින් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කරලා තිබුණු වාට්ටුවකට මාව එක්කගෙන ගියා.

එකේ තමයි මම පී.සී.ආර්. පරීක්ෂණ කරලා ගෙදර යනකල්ම හිටියේ. ගම්පහ රෝහලේ දොස්තර මහත්වරුයි, හෙදියෝයි තමයි මැරෙන්න ගිය මාව බේරාගත්තේ.

ප්‍රශ්නය: ඒ කියන්නේ ඔබට රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් කළාද?

කාන්තාව: ඔව්, මට පී.සී.ආර්. පරීක්ෂණයක් කළා.

ප්‍රශ්නය: ඒ වාර්තාවේ මොකක්ද තිබුණේ?

කාන්තාව: මගේ පී.සී.ආර්. පරීක්ෂණය කළේ ඔක්තෝබර් පළමු වැනිදා. ඊට පස්සේ ඔක්තෝබර් දෙවැනිදා ලොකු දොස්තර මහත්තයා කිව්වා ඔයාට දැන් හොඳයි ගෙදර යන්න පුළුවන් කියලා. මගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ගැන ඇහුවම දොස්තර මහත්තයා කිව්වා එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා මමයි මහත්තයයි සිකුරාදා හවසම ගෙදර ආවා.

ප්‍රශ්නය: කෙළින්ම ගෙදර ද ආවේ?

කාන්තාව: ඔව්, කිසිම තැනක අපි නැවතුනේ නැහැ. මහත්තයාගේ ත්‍රීවීල් එකෙන් තමයි මම ගෙදර ආවේ. ඒ ඇවිල්ලත් ඇඟට ටිකක් හොඳ නැති නිසා ගෙදරටම වෙලා තමයි හිටියේ. අඩුම ගානේ අල්ලපු ගෙදරටවත් ගියේ නැහැ.

ප්‍රශ්නය: කොහොමද ඔබට ‘කොවිඩ් 19‘ ආසාදනය වෙලා කියලා දැනගත්තේ?

කාන්තාව: මහත්තයාට සිකුරාදා හවස ගම්පහ රෝහලෙන් දුරකථන ඇමතුමක් ආවා. මාව බලපු ලොකු දොස්තර මහත්තයා මගේ මහත්තයට කිව්වා මට ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වෙලා තියෙන්නේ කියලා. ඒක පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙනුත් සනාථ වුණා කිව්වා. ඒ නිසා ඉක්මනට රෝහල් ගතවෙන්න ලෑස්ති වෙන්න කියලා මට කිව්වා.

ප්‍රශ්නය: ඔබ ආසාදිතයෙක් කියලා රෝහලෙන් කියන විට ඔබට මොකද හිතුණේ?

කාන්තාව: ඇත්තටම මට හිතා ගන්න බැරිවුණා. මට මොකක්ද මේ වුණේ කියලා. මගේ මහත්තයා දොස්තර මහත්තයාට කිව්වා මොකක් හරි වැරදීමක් වෙන්න ඇති කියලා. මගේ දුවත් බයවෙලා. එයත් හොඳටම ඇඬුවා. මම හිතුවෙම මම මැරෙයි කියලා.

ප්‍රශ්නය: දිවුලපිටිය ප්‍රදේශයෙන් ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වූ අයෙක් හඳුනා ගත්තා කිව්වම මුළු රටම කලබල වුණා. ඔබ සේවය කරපු ආයතනයත් එසේ කලබල වෙන්න ඇති. ඔවුන් ඔබට කතා කළාද? සුවදුක් විමසුවද?

කාන්තාව: ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එත්, ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වුණා කියපු ගමන්ම මට කෝල් කරලා මම ආශ්‍රය කළේ කවුද? කොහොමද ඔයාට කොරෝනා හැදුණේ කියලා ප්‍රශ්න කළා.

”ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එයාලට ඕනේ වුණේ මගේ පිටින් කොරෝනාව දාලා බේරෙන්න. එයාලා මට එදා කෝල් කරලා මගෙන් ඇහුවා ‘ඔයා ඉන්දියාවෙන් ආව අයත් එක්ක හිටියා නේද? එයාලත් එක්ක ඔයාට සම්බන්ධයක් තිබුණා නේද? කියලා. ”

ප්‍රශ්නය: එහෙම ප්‍රශ්න කරන්න ඇත්තේ ආයතනයේ සේවය කරන අනෙක් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් වෙන්න ඇති නේද?

කාන්තාව: නැහැ, එයාලට ඕනේ වුණේ මගේ පිටින් කොරෝනාව දාලා බේරෙන්න. එයාලා මට එදා කෝල් කරලා මගෙන් ඇහුවා ‘ඔයා ඉන්දියාවෙන් ආව අයත් එක්ක හිටියා නේද? එයාලත් එක්ක ඔයාට සම්බන්ධයක් තිබුණා නේද? කියලා.

ආයතනයේ කළමනාකාරිත්වය ඉතාමත් කැත විදිහට තමයි මගෙන් එක එක ප්‍රශ්න ඇහුවේ. එයාලට ඕනේ වුණේ මාව එකට පටලවලා එයාලා එකෙන් බේරෙන්න.

ප්‍රශ්නය : මොකක්ද ඔවුන්ට එසේ කරන්න තිබුණු අවශ්‍යතාව?

කාන්තාව : දැන් මාසයක ඉඳලා ලංකාවේ කාටවත් කොරෝනා ගැන මතකයක් තිබුණේ නැහැ. හැමෝටම කොරෝනා කියන වයිරසය අමතක වුණා. ඒ නිසා අපේ ආයතනයේත් උෂ්ණත්වය බලන එක, විෂබීජහරණය කරන එක වගේම අත් සෝදන එක පවා නවත්තලයි තිබුණේ. හැමෝම වගේ මුඛ ආවරණ දැම්මෙත් නැහැ.

මහන ළමයි නම් මුඛ ආවරණ දැම්මේ නැත්තේ ගොඩක් වෙලාවක් ඒක දාගෙන මහන වැඩ කරන්න අමාරු නිසයි. ඒ විතරක් නෙවෙයි තවත් ගැටලු විශාල ප්‍රමාණයක් ආයතනය ඇතුළේ තිබුණා.

ප්‍රශ්නය : ඒ මොනවද?

කාන්තාව : හරියටම සැප්තැම්බර් විසි වැනිදා ඉඳලා අපේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩක් දෙනෙක්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ තිබුණා. දවසකට වැඩ කරන ළමයි තිහ හතළිහ උණ වැඩිවෙලා කලන්තේ දාලත් වැටෙනවා.

එත් එයාලට වේදනා නාශක දීලා කියනවා ඕක පොඩි වයිරස් උණක් කියලා. එත් එයාලට නිවාඩුවක්වත් ගන්න කළමනාකාරිත්වය ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් හරිම අපහසුවෙන් හිටියේ. එයාලට බෙහෙත් කියලා ලැබුණේ පැරසිටමෝල් විතරයි.

ප්‍රශ්නය : මේ ගැන ඔබලා කළමනාකාරිත්වය දැනුවත් කළේ නැද්ද?

කාන්තාව : අපි කොච්චර නම් කිවුවද? එත් එයාලා කිවුවේ මේ මාසේ දාහතර වෙනිදා ඉන්දියාවට ලොකු ඇණවුමක් දෙන්න තියනවා ඒ නිසා නිවාඩු දෙන්න බැහැ කියලා.

ප්‍රශ්නය : ඒත් වයිරසය ව්‍යාප්ත කළේ ඔබ කියලා තමයි ගොඩක් දෙනෙක් චෝදනා කළේ?

කාන්තාව : ඇත්තටම ඒක බොරුවක් කියලා පසුගිය දවසක ඔප්පු වුණා. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා කිව්වා මම නෙවෙයි ආයතනයේ මුලින්ම කොරෝනා හැදුනු රෝගියා කියලා. ඒ වගේම මමත් කියනවා මට උණ හැදෙන්න කලින් තවත් බොහෝ පිරිසකට උණ රෝගී ලක්ෂණ තිබුණා කියලා.

ප්‍රශ්නය : එතකොට ඉන්දියාවේ පිරිසක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට ආවා කියන කතාව ඇත්තක්ද?

කාන්තාව : ඒක නම් බොරුවක්. කිසිම ඉන්දියානු ජාතිකයෙක්වත් ඉන්දියාවේ ඉඳලා ආපු කෙනෙක්වත් අපේ ආයතනයට ආවේ නැහැ. ඒක සියයට සීයක්ම අපිට විශ්වාසයි.

ප්‍රශ්නය : ඔබේ ආයතනයට ඉන්දියාවෙන් ඇණවුමක් ආවේම නැද්ද?

කාන්තාව : අපේ ආයතනයට ඉන්දියාවෙන් තමයි මේ අලුත් ඇණවුම ආවේ. ඒ නිසා තමයි අපි උදේ හය හමාරත් රෑ අටත් අතර කාලයක් වැඩ කළේ. එහෙම ඇණවුමක් ආවේ නැත්තන් ඇයි අපි ලෙඩකට දුකකටවත් බෙහෙත් හේත් ගන්නේ නැතුව වැඩ කරන්නේ.

අනික මීට සති දෙක තුනකට කලින් තමයි ඉන්දියාවෙන් අපිට රෙදි වගයක් එව්වේ. ඒ රෙදිත් එක්ක එයාලගේ ඇණවුම හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍යත් එවලා තිබුණා. ඒ සියල්ලම අපිට ආවේ ඉන්දියාවේන්.

අනික මේ පාර ඉන්දියාවෙන් එවපු රෙදි හරිම ගඳයි. ඒ රෙදිවලින් ආවේ බල්ලෝ මුත්‍රා කෙරුවට පස්සේ එන ගඳකට සමාන ගඳක්. ඒ නිසා අපි ගොඩක් අපහසුතාවෙන් තමයි වැඩ කළේ.

ප්‍රශ්නය : ඔබ මිනුවන්ගොඩ බ්‍රෑන්ඩික්ස් ආයතනයෙන් සංවිධානය කරපු උත්සවයට ගියාද?

කාන්තාව : නැහැ, මම සහභාගී වුණේ නැහැ. ඒ කාලය මම යෙදෙවුවේ මගේ පවුලේ අයත් එක්ක ගෙදරට වෙලා ඉන්න. ඒත් ආයතනයේ බොහෝ පිරිසක් සහභාගි වුණා. ඒ වගේම තවත් සමහරු ඊට සහභාගි වෙන්නේ නැතුව ආයතනය ඇතුළේම ඉඳලා වැඩ කළා.

ප්‍රශ්නය : ඔබ බ්‍රැන්ඩික්ස් ආයතනයට බැඳිලා කොච්චර කල්ද?

කාන්තාව : මම මේ ආයතනයේ සේවයට බැඳිලා අවුරුදු නමයක් වෙනවා. ඒ වගේම අධීක්ෂණ නිලධාරිනියක් විදිහට පත්වීම් අරගෙන තාම මාස නමයක් වෙන්නේ. ඒ කාලය ඇතුළත මම මේ ආයතනයට සේවය කළේ මගේ ගෙදරට සේවය කරනවා වගේ.

ඇත්තටම බ්‍රැන්ඩික්ස් ආයතනය කියන්නේ අපේ පවුල. ඒත් අලුතින් ආපු කළමනාකාරීත්වය තමයි අපිව මේ තත්ත්වයට පත්කළේ. ඔවුන් තමයි කට කතා හදලා පතුරුවලා මට චෝදනා එල්ල කළේ. එත් අපි තවමත් ආදරෙයි අපේ ආයතනයට.

ප්‍රශ්නය : මේ විදිහට ඔබට එල්ලවූ චෝදනා ගැන පවුලේ අය මොකද කියන්නේ?

කාන්තාව : මගේ මහත්තයා කරන්නේ වළං වෙළෙදාම. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ වගේම මමයි මහත්තයයි බැඳලා අවුරුදු විසි එකක් වෙනවා. එදා ඉඳලා අද වෙනකල්ම අපි ඉතාමත් හොඳින් සතුටින් පවුල් ජීවිතය ගෙවනවා.

මම උදේ හය හමාරට ගෙදරින් ගියහම අයෙත් එන්නේ රෑ අටහමාර වෙලා. එහෙම පිට සබඳතා තියාගන්න තියා ගෙදර වේලපහ එන්න වෙලාවක්වත් අපිට නැහැ. මගේ මහත්තයා මං ගැන හොඳට දන්න නිසා වගේම විශ්වාස කරන නිසයි අදටත් මට හයියක් වෙලා ඉන්නේ.

නැත්තන් ලෝකයා මේ කියන බොරු චෝදනාවලට හරිනම් එයත් මාව දාලා ගිහිල්ලා. ඒත්, දුව තාම අඬනවා ‘අම්මා ගැන මට වඩා දන්න තවත් අය ඉන්නවද’ කියලා.

ප්‍රශ්නය : අවසානයට ඔබ දියණියක්, මවක්, බිරිඳක් සහ රටට විදෙස් විනිමය ගෙනෙන සන්නාලියක් විදිහට ඔබට එල්ලවූ මේ චෝදනා ගැන ඔබට මොකද හිතෙන්නේ?

කාන්තාව : ඇත්තටම, මම මේ චෝදනා දිහා බලන්නේ ඉතාමත් කනගාටුවෙන්. ඒත් එදා බුදුන්ටත් චින්චිමානවිකාව වගේ අය ඇවිත් උන්වහන්සේගේ චරිතය ගැන චෝදනා කළානම් අපි වගේ ගිහියන්ට මොනවගේ චෝදනා නොකරයිද කියලා හිතලා තමයි මම, මගේ හිත හදා ගත්තේ.

(හර්ෂණි දිසානායක – අරුණ සති අග පුවත්පතින්)

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment