ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම

රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ – මහචාර්ය දීපිකා උඩගම

කොමිසමෙන් ඉවත්වීම

මගේ ඉවත්වීමට මූලික සහ එකම හේතුව වුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ මගේ යුතුකමයි. මම කොමිෂන් සභාවට පත්වෙනකොට ඒ දෙපාර්තමේන්තුව බොහෝ ලාබාල වියේ පසුවුන දෙපාර්තුමේන්තුවක්වයි තිබුනේ. ඒ වෙලාවේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු‍ පිරිසගේ කාරුණිකභාවය සහ පරාර්ථකාමීභාවය නිසා තමයි මට මානව හිමිකම් කොමිසමට එන්න ඉඩ ලැබෙන්නෙ.

මම ඉල්ලා අස්වුනේ ජුලි මාසයේ. ඉල්ලා අස්වන බව කොමිෂන් සභාව මගින්ම දැනුම් දෙන්න මම කල්පනා කලේ පසු කාලයකයි. මොකද මම කැමතිවුනේ නැහැ කොමිෂන් සභාවේ වැඩ අඩාල වෙනවා දකින්න. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවසාන රැස්වීම තිබුනේ අගෝස්තු 03 වැනිදා. ඒ කියන්නේ මහමැතිවරණයට දින දෙකකට කලින්. ඡන්දෙට දවස් දෙකක් තිබියදි මාධ්‍යයට මේ කාරණාව මුදා හැරුන නිසා එතන විශාල වික්ෂිප්ත බවක් සහ කුකුසක් ඇතිවුනා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙවැනි තනතුරු වලට මිනිස්සු පත් වෙනවා සහ ඉල්ලා අස්වීමේ අයිතියත් තියෙනවා. ඒ වන විට විශ්වවිද්‍යාලයේ පරිපාලනමය වශයෙන් දැඩි අවශ්‍යතාත් මතු වෙලා තිබුණා. ඉතින් මට යුතුකමක් තියෙනවා මගේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් තීරණයක් ගන්න.

කවුරුහරි කියනව නම් මම බලපෑමකට යටත් වුනාද කියලා මම ඒක භාර ගන්නේ මට කරන විශාල අපහාසයක් හැටියටයි. කොමිෂන් සභාවක තනතුරක් දරන අයෙක්ට එවැනි තර්ජනයක් හෝ බලපෑමක් තියෙනවා නම් ඒක රටේ ප්‍රශ්නයක්; ජනතාවගේ ප්‍රශ්නයක්. ඒහෙම දෙයක් වුනා නම් මම කොහොමවත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ. මොකද අපි 19 වන සංශෝධනය වෙනුවෙන් සටන් කළ, ඒ වෙනුවෙන් උර දීපු අය. ඉතින් මම කොහොමවත් ඒ වගේ පාවාදීමක් කරන්නේ නැහැ.

තරාතිරම බැලු‍වේ නැහැ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් හැටියට ඉතාම දක්ෂ කොමසාරිස්වරු කොමිසමට සම්බන්ධ වුනා. පසුගිය වසර පහ තුළ සිදුකළ කර්තව්‍යයන් මගේ තනි ප්‍රයත්නයක් නෙවෙයි. මගේ නායකත්වය යටතේ කොමසාරිස්වරු සහ කාර්ය මණ්ඩලය සමඟ සුවිශේෂි කාර්යභාරයන් රැසක් කරන්න අපට ඉඩකඩ ලැබුනා. කොමිෂන් සභාව භාර ගන්න විට මා ඇතුලු‍ කොමසාරිස්වරු හතර දෙනාට තිබුණු ප්‍රධානතම අභියෝගය වුනේ මානව හිමිකම් කොමිෂන් සභාව කෙරෙහි වන ජනතා විශ්වාසය ගොඩනැංවීම. ඒ වෙනකොට කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳව විශාල ප්‍රශ්න තිබුණා. ඒ නිසාම බොහෝ අය පැකිලු‍ණා දේශපාලනික වශයෙන් සංවේදී කාරණා කොමිෂන් සභාවට පැමිණිලි කරන්න. ඒ වාතාවරණය යටතේ කිසිම පක්ෂපාතීත්වයකින් තොරව දේශපාලන මැදිහත්වීමකට ඉඩ නොදී ස්වාධීනව කොමිෂන් සභාවේ වැඩකටයුතු කරගෙන යාමයි අපි සිදුකළේ. එක් අවස්ථාවක මහ ඇමති කෙනෙක්ට විරුද්ධව පෙත්සමක් ආවා විදුහල්පතිනියකගෙන්, ඒ වෙලාවේ මහඇමතිව වගඋත්තරකාරයෙක් කරන්න සිද්ධ වුනා. නමුත් කොමිසමේ අභ්‍යන්තරයේ ඉහළ නිලධාරීන්ගේ පවා අදහසක් තිබුනා VIP පුද්ගලයන්ව වගඋත්තරකාරයෙක් කරන්න එපා කියන එක. නමුත් මානව හිමිකම් ක්ෂේත්‍රයේ VIP ලා නැහැ. නීතියෙන් මුක්තියක් ලබා දී නැති ඕන අයෙක්ව වගඋත්තරකාරයෙක් කිරීමට හැකියාව තියෙනවා.

දේශපාලන වශයෙන් හෝ සමාජීය වශයෙන් එවැනි සුවිශේෂි පුද්ගලයන් කොමිසමට ආවත් අපි ඔවුන්ව හමු වුනේ නැහැ. ඔවුන්ට පැමිණිල්ලක් දාන්න ඕන කියලා දුරකථන ඇමතුමකින් කීවත් අපි කිව්වේ කරුණාකරලා සාමාන්‍ය විදියට ඇවිල්ලා පැමිණිල්ල දාන්න කියලා. මේ තත්ත්වය අපි කොමිසම තුළ ක්‍රමිකව පුහුණු කරගත්තා.

සිවිල් සමාජය සමඟ සබැඳියාව

මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල දහයක් තියෙනවා. මේ කාර්යාල දහය ඔස්සේ තමයි රටේ අතිශය බහුතර පිරිසක් මානව හිමිකම් කොමිසමත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද කොළඹ ප්‍රධාන කාර්යාලයට ඒමේ හැකියාව තියෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි. ඒ නිසා කොමසාරිස්වරුන්ගේ අධීක්ෂණය යටතට ඒ ප්‍රාදේශීය කාර්යාල අරගෙන ඒවා ශක්තිමත් කරන්න අපි කටයුතු කළා. ඒ වගේම අපි ප්‍රාදේශීය කාර්යාල දැනුවත් කළා සිවිල් සමාජ සංවිධාන සමඟ බොහෝම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන්න සහ සිවිල් සමාජ කමිටු පිහිටුවන්න කියල. අපි විධානය කරපු දෙයක් තමයි ඒ ඒ පළාත්වල ඉතාම වැදගත් රජයේ ආයතනවල නියෝජිතයින් ඇතුළත්ව සම්බන්ධීකරණ කමිටුවක් පත් කරන්න කියලා. මොකද අපි හිතුවා සිවිල් සමාජ සංවිධාන වලින් මානව හිමිකම් ප්‍රශ්න ඉදිරිපත් කරනකොට පරීක්ෂණ වලට යාමේ අවශ්‍යතාවයක් නැතුව රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා එතනින් ඒ ප්‍රශ්න විසඳීමට හැකියාවක් ලැබෙනවා කියලා.

සමාජ, ආර්ථීක අයිතීන්

අපි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට පමණක් සීමා වුණේ නැහැ. ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ගැනත් විශාල අවධානයක් යොමු කළා. අත්අඩංගුවට ගැනීම්, වධහිංසාව ගැන වගේම මිනිස්සුන්ගේ ඉඩම් අයිතිය, කෘෂිකාර්මික ප්‍රශ්න, වතුර හෝ පොහොර බෙදීම වගේ ප්‍රශ්න ඇතුළත්ව ඉතාම පුළුල් පරාසයක අපි වැඩ කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාරිසරික අයිතිවාසිකම් ගැන ලිඛිතව දක්වා නැති වුනත් ශේෂ්ඨාධිකරණය නඩු තීන්දු හරහා පාරිසරික අයිතිවාසිකම් යම් විදියකට පිළිඅරන් තියෙනවා. ඒ නිසාම උදාහරණයක් විදියට ගල්කිස්සෙ වෙරළේ වැලි ගොඩ දැමීම සම්බන්ධ ප්‍රශ්නයට අපි මැදිහත් වුනා. දැනුත් සිංහරාජෙ එළිකිරීම සම්බන්ධ ප්‍රශ්නය ගැන කොමිසම කටයුතු කරමින් ඉන්නවා.

ඒ වගේම සමාජයේ ආන්තීකරණයට ලක්වුන ජනකොටස් ගත්තොත් වතුකරයේ ජනතාව, සංක්‍රමණික ජනතාව, ඇගලු‍ම් ක්ෂේත්‍රයේ පිරිස්වල ප්‍රශ්න, ආබාධ සහිත ප්‍රජාව මානූෂීය වශයෙන් පිළිගන්න එක ඉතාමත් වැදගත් කියන එකයි අපේ මතය වුණේ. මේ අයගේ මානව හිමිකම් උල්ලංඝනයන් වෙනුවෙන් පෙනී සිටින්න පැමිණිලි එනකම් අපි හිටියේ නැහැ. උදාහරණයකට, වතුකරයේ ජනතාව සමග ජංගම සායන පවත්වලා ඒවායෙදි ඒ ජනතාව ඒකරාශි කරලා ඒ ප්‍රජා සංවිධාන සමඟ අදාළ නිලධාරීන් කැඳවලා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න වුන උප්පැන්න සහතික ලබා ගැනීම, දරුවන්ව පාසල්වලට ඇතුළත් කර ගැනීම, තමන්ගේ ජීවිකාව ගැන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඉඩ දුන්නා.

ඊළඟ පරපුර

අපිට ලැබිලා තිබෙන බලතල යටතේ මානව හිමිකම් පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීම, පිරිස් බලයේ මඳකම නිසා ගැටලු‍කාරී වුනා. නමුත් අපි විශාල ප්‍රයත්නයක් දැරුවා තරුණ ප්‍රජාව සමඟ කටයුතු කරන්න. මානව හිමිකම් කොමිසමට දීර්ඝ කාලයක් පුරා තරුණ කොටස් සමඟ කිසිදු ගනුදෙනුවක් නොතිබුන තරම්. නමුත් අපි 2018 වසරේ ඉඳලා වාර්ෂිකව දිස්ත්‍රික්ක 25 තරුණ තරුණියන් ඒකරාශී කරගෙන ප්‍රජාතන්ත්‍රියකරණය, සමාජයේ විවිධත්වය, වෛරී කථනය, මානව හිමිකම් පිළිබඳ සංවේදීතාවය ගොඩනැගීම වෙනුවෙන් මානව හිමිකම් කඳවුරක් කළා. තරුණ තරුණින්ගේ අදහස් උදහස් ලබා ගෙන, ඔවුන් කේන්ද්‍රීය කරගෙන ආයතන කටයුතු කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමට අපිට මේ ඔස්සේ අවස්ථාව ලැබුණා.

රැඳවියන්ගේ අයිතිවාසිකම්

රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු‍ කෙරෙහිත් අපේ මූලික අවධානයක් යොමු වුනා. මුල් කාලයේ රැඳවියන් සම්බන්ධ පැමිණිලි 9000 – 10000 ක් වගේ ප්‍රමාණයක් ආවා. නමුත් පසුගිය කාලයේ පැමිණිලි 7000ක් වගේ ප්‍රමාණයක් තමයි ලැබුණේ. මේ පැමිණිලි අතර ප්‍රධාන වශයෙන් රැඳවියන්ගේ අයිතිවාසිකම්. අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම, වධහිංසාව, අවමන් සහගත ලෙස සැලකීම වගේ කාරණා අඩංගු වුනා. රැඳවියන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න පොලිසිය සමඟත් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. නමුත් පොලිසියේ උපසංස්කෘතිය වෙනස් කිරීම කියන එක විශාල අභියෝගයක්. කොමිසමේ සභාපතිනිය විදියට මගේ අවසාන නිල කාර්යය වුනේ අපේ මූලිකත්වය මත පොලිස් කොමිසම සමඟ සාකච්ඡා කිරීම. පොලිස් කොමිසමේ වැඩ බලන පොලිස්පතිත්, සියලු‍ සාමාජිකයනුත් එයට සහභාගි වුනා. එතනදි මේ වසර පහ තුළ අවස්ථා ගණනාවක් මෙවැනි සිදුවීම් සම්බන්ධව නිරීක්ෂණය කරලා නිර්දේශ ඉදිරිපත් කරලා තිබුනත් මේ ප්‍රශ්න අවසන් වෙලා නැති බවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී වධහිංසා පැමිණවීම, නීතියේ ආධිපත්‍යය ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීම වගේ ගැටලු‍ තවමත් සිදුවෙමින් තිබෙන බව ප්‍රකාශ කළා. මේ තත්ත්වයේ සැබෑ වෙනසක් ඇති වෙන්න නම් පොලිසියේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇතිවිය යුතු බව අපි පෙන්වා දුන්නා.

A ශ්‍රේණියට

මගේ පළමු ධුර කාලය තුළම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම A ශ්‍රේණියට  කොමිසමක් හැටියට ජාතික මානව හිමිකම් ආයතනයන් පිළිබඳ විශ්ව සන්ධානය (GANHRI) විසින් නම් කරනවා. පැරිස් මුලධර්ම යටතේ දේශීය මානව හිමිකම් ආයතනවල ශක්තිමත් බව කාර්යක්ෂම බව සහතික කෙරෙනවා වගේම එහි මූලිකම මූලධර්මයක් ස්වාධීනත්වය. කොමිසමේ පත් කිරීම්, පක්ෂග්‍රාහීව කටයුතු කරනවද, දේශපාලනික වශයෙන් සංවේදී පැමිණිලි බාර ගන්නවද, රාජ්‍ය තන්ත්‍රය කොමිසමේ කටයුතුවලට මුල්‍යමය වශයෙන් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීම හරහා සහය වෙනවද, ජනතාවට කොමිසමට ප්‍රවේශ වීමට තිබෙන ඉඩකඩ, කොමිෂන් සභාවේ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිය ආදි නොයෙකුත් සාධක ඔවුන් මෙතනදි සලකා බලනවා. ඒ නිසා මේ ජයග්‍රහණය ලබා ගැනීම කියන්නේ සරල කාරණයක් නෙවෙයි.

පරීක්ෂණ ප්‍රමාදයි

අපේ කොමිෂන් සභාවට තිබුන ලොකුම ගැටලු‍ව තමයි ප්‍රමාද වීම සහ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමට තිබුන අපහසුතාව.

මානව හිමිකම් කොමිසම සම්බන්ධව අපිට ආපු චෝදනාවක් තමයි පරීක්ෂණ කටයුතු කරගෙන යන්නට විශාල කාලයක් ගතවෙනවා කියන එක. ඒක මම පිළිගන්නවා නමුත් අපිට ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තරව විශාල ප්‍රශ්න තිබුණා. විශේෂයෙන් පිරිස් බලය අඩුයි, ඒ වගේම පැරණි ක්‍රම වලට තමයි කොමිසමේ පරීක්ෂණ කටයුතු මුල් කාලේ සිදුවුනේ. ඒ දේවල් වෙනස් කරලා, පුහුණුවීම් සිදු කරලා, අලු‍ත් ආකාරයට අනවශ්‍ය කාලයක් ගත නොකර ඒ දේවල් විසඳගන්න අපි ප්‍රයත්න දැරුවා. නමුත් යල් පැනගිය පරිපාලන රීති සහ මූල්‍ය රීති සමඟ බඳවා ගැනීම් වැනි දේ සිදු කරන්න අපිට වසර ගණනාවක් ගියා. අපි එනකොට කොමිසමට බඳවාගැනීමේ පටිපාටියක් තිබුනේ නැහැ. වසර දෙක හමාරක් තුළ අනුමැතිය ගත්තත් ඒවා ක්‍රියාත්මක කරන්න සෑහෙන කාලයක් ගතවුනා. පිරිස් බලය මදිකම නිසා පැමිණිලි හැකි ඉක්මනින් ආමන්ත්‍රණය කරන්න අපිට අපහසු වුනා.

දහනවයේ බලපෑම

මානව හිමිකම් කොමිසමේ සියලු‍ ක්‍රියාකාරීත්වයන් සඳහා අපිට ශක්තියක් වුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා මානව හිමිකම් ගැන සංවේදීත්වයක් තිබෙන හෝ ඒ ගැන ඉතාම ගැඹුරු අවබෝධයක් තිබෙන අය තමයි අපිට තෝරල එව්වේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නෙ පක්ෂ, විපක්ෂ, සිවිල් සමාජ නියෝජිතයන් සියලු‍ දෙනාගේ නියෝජනයක්. නමුත් කිසිම අවස්ථාවක අපට කිසිදු බලපෑමක් කරල නැහැ.

19 වන ව්‍යවස්ථාවෙත් දුර්වලතා තිබෙනවා. මූලික වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරයක් ඉන්නේ දේශපාලන නියෝජිතයන්. නමුත් අපි ඉල්ලා සිටියා එහි ගරු කටයුතු පුරවැසියන්ගේ නියෝජනය බහුතරයක් විය යුතුයි කියල. මෙවැනි දුර්වලතා තිබුනත් සාධනීය ලක්ෂණ ගණනාවක් එහි ඇතුළත් වුනා. මැතිවරණ කොමිෂන් සභාවත් ඇතුළත්ව අනෙකුත් සියලු‍ම කොමිෂන් සභාවන්වල බලතල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබුනා. මේක ඉතාම වැදගත් දෙයක්. ඕනෑම ආයතනයක ස්වාධීනත්වය පවත්වාගෙන යාමට පත් කිරීමේ ක්‍රමවේදය, ඉවත් කිරීමේ ක්‍රමවේදය, ධුර කාලය තුළදී ලැබෙන ආරක්ෂාව කියන සියල්ලම බලපානවා. කවුරු හරි කියනවා නම් මේ පත් කිරීමේ ක්‍රියාවලිය හරි සරලයි කියල ඇත්තටම ඒක සරල නැහැ. පත්කිරීම්වලින් තමයි හැමදේම තීරණය වෙන්නේ. නිසි පුද්ගලයා නිසි තැනට පත් කිරීම අතිශයින්ම වැදගත්. රටේ ජනතාවට බලපාන වැදගත් තනතුරු සඳහා එක පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත පුද්ගලයන් තෝරා පත් කර ගැනීමට වැඩිය සාකච්ඡා මාර්ගයෙන් යම් කිසි සම්මුතියකට එළැඹිලා පුද්ගලයන් පත් කර ගැනීම කියන්නේ ඉතා වැදගත් දෙයක්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉහළ අධිකරණයේ සියලු‍ම විනිශ්චයකාරවරුන්, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා ඇතුලු‍ව රටේ ජනතාවට සුවිශේෂි වන තනතුරු ගණනාවකට තනි කැමැත්තෙන් පුද්ගලයන් පත් කර ගැනීමේ ඉඩක් තිබුණේ නැහැ.

රාජ්‍යයේ ශක්තිය

යම් කෙනෙක් කියනවා නම් 19 නිසා තමයි ඒ රජය දුර්වල වුණේ කියල ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. 19 තමයි රාජ්‍යයට තිබුණ ශක්තිය. නමුත් රජය දුර්වල වුණේ ඒ අයගේම තිබුන දේශපාලන බේදීම සහ කුළල් කා ගැනීම නිසා. රාජ්‍ය තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදී නම් මූලික ලක්ෂණ දෙකක් පිළිගන්න ඕන. පළමුවැන්න, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් කියන්නේ අසීමිත බලතල එක ආයතනයකට ගොනුකර නොගැනීම. රාජ්‍ය බලය සීමාවන්ට යටත් විය යුතු පාලන ක්‍රමයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. දෙවැන්න, ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයක අතිශයන්ම වැදගත් මූලධර්මයක් සංවරණ හා තුලන ක්‍රමය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ප්‍රධාන ආයතන තුන වන විධායක, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර පැහැදිලි බල විභේදනයක් තිබිය යුතුයි. ඒ වගේම එක් ආයතනයකින් අනෙක් ආයතනයේ කටයුතු අධීක්ෂණයට ලක් කළ යුතුයි. එමඟින් තමයි අපි අර කියන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී තුලනය එන්නේ. යම් කෙනෙක් කියනව නම් අපිට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුලු‍වන් නමුත් බලය ඒකරාශී කරනවා කියල ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්ද කියන ප්‍රශ්නය පැන නගිනවා.

මැතිවරණ පැවැත්වීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක එක් ලක්ෂණයක් පමණයි. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම අතිශයින්ම වැදගත් වුනත් මුළු ප්‍රජාතන්ත්‍රවාදයම ඡන්දයකට ලඝු කරන්න බැහැ. මොකද ඡන්දයකින් පස්සේ රට පාලනය කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ අර කලින් සඳහන් කළ මූලධර්ම මත. මේ මුලධර්ම ක්‍රමයෙන් දුර්වල වෙනවා කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයත් හීන වෙනවා. ඒ කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම්වලට නිදහසට පහර වැදෙනවා කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ඉලක්කය වෙන්නේ ජනතා යහපත කියන එක. ඒ නිසා මැතිවරණයකදි ජනතාව යම් පාර්ශ්වයකට බලය පවරන්නේ කොන්දේසි විරහිතව නෙවෙයි. කොන්දේසි සහිතව. අපි ජනතාවගෙන් ඇහුවොත් රැකියා ඕනද? හොඳ පාසල් ඕනද? මහා මාර්ග ජල විදුලිය ඕනද? බඩු මිල පහත දාන්න ඕනද කියල ඒ ඔක්කෝටම ඔව් කියාවි. නමුත් මේ ජනතාවගෙන්ම ඇහුවොත් මේ ඔක්කෝටම ඔව් කියල මේ තරම් බලයක් දුන්නේ තමන්ගේ අයිතිවාසිකම් පාවා දෙමින්ද කියල කිසිම කෙනෙක් ඒකට ඔව් කියාවි කියල මම හිතන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාවට මේ හැමදේම අවශ්‍යයි. ආර්ථීක සංවර්ධනයක්, සමාජීය සංවර්ධනයක්, හොඳ ජීවන තත්ත්වයක් වගේම තමන්ගේ නිදහසත් අවශ්‍යයි.

ඍජු තීරණ ගන්න පාලකයෙක් අවශ්‍යයි කියන එක ජනතාවගේ පැත්තෙන් එන සාධාරණ ඉල්ලීමක්. නමුත් අපි අමතක කරන දෙයක්, ඉතාම සාධනීය ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රම තුළ ඍජු තීරණ ගන්න පුලු‍වන් බව. ඒක ඒ නායකත්වයේ ගුණාංගයක්. අද වන කොට ලෝකය පුරා දේශපාලන විචාරකයෝ මවිතය පළ කරන ඔවුන්ගේ අවධානය දිනාගත්ත කාරණයක් තමයි රටවල් කිහිපයක පත් වෙලා ඉන්න තරුණ කාන්තා අගමැතිවරියන් සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය පාලන රටාව. ඒ නිසා අපිට වැරදි අවබෝධයක් තිබෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දුර්වල රාජ්‍ය ක්‍රමයක් එකෙන් ඍජු තීරණ ගන්න බැහැ එයින් සංවර්ධනයක් ඇති කර ගන්න බැහැ කියල ඒක වැරදි මතයක්.

බලය ලැබුනේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්

මේ රජයට විශාල ජන වරමක් ලැබිලා තියෙනවා. ජනාධිපතිවරණයේදිත් මහ මැතිවරණයේදිත් ඒක පැහැදිලිවම පෙනුනා. ඒක කාටවත් ප්‍රශ්න කරන්න බැහැ. නමුත් රජය බලය කේන්ද්‍ර කරගන්න උත්සාහ කරනවා කියන්නේ අනාරක්ෂි බවක් තියෙනවා කියන එකයි. නමුත් එහෙම අවශ්‍යතාවක් නැහැ. ඒ බලය මේ රජයට තිබෙනවා.

ඒ ලැබුන දේශපාලන බලය තමයි ශක්තිය කරගන්න ඕන. ඒ ශක්තිය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක කරල සංවර්ධන කටයුතුත් කරල ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න සැලස්විය යුතුයි.

විස්ස පිළිබඳ සංවාදය

20 සංශෝධනය එක්ක එකඟ වෙන්න අපහසුයි. එහි සාධනීය කාරණා හැටියට මම දකින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරියට ගෙන ආවා, ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තුවේ වාර ගණන, ජනාධිපතිගේ ධුර සීමාව, තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ක්‍රියාත්මක වීම පමණයි. නමුත් ඒ කෙටුම්පතේ තිබෙන අනෙකුත් ප්‍රතිපාදන ගැන මට තිබෙන්නෙ දැඩි කනස්සල්ලක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරද්දි සංශෝධනය කරද්දි, ඒක එක් පුද්ගලයෙකුට හෝ රජයකට සීමා කරන්න බැහැ. එය රටේ අනාගතය; රටේ මූලික නීතිය. අද මේ ඉන්න ජනාධිපතිවරයා මේ බලතල අත්තනෝමතිකව පාවිච්චි නොකරයි කියල යම් කෙනෙක් කිව්වත් අනාගතයේ එසේ නෙවෙයි කියල සහතිකයක් තිබෙනවද?

ඒ නිසා ජනතාවට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම මේ රටේ උගත් යැයි සම්මත මධ්‍යම පාන්තික ජනතාව අතර පවා මේ පිළිබඳ වැඩි අවබෝධයක් නැහැ. නව රජය මේ ජනවරම ලබා ගත්තේ 19 වන සංශෝධනය අහෝසි කරනවා කියල. නමුත් දැන් මේ ඉදිරිපත් කරල තිබෙන 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඒ ජනවරම ඉල්ලන මෙහොතේ ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. එතකොට ජනතාවට අදහසක් නැහැ මේ සංශෝධන කොහොමද වෙන්නේ කියල. ඒ නිසා 20 තිබෙන ඇත්ත ගැටලු‍ ගැන, ඔවුන්ට මේ ඔස්සේ මුහුණ පාන්න සිද්ධ වෙන තත්ත්වයන් ගැන ජනතාවට සැබෑ අවබෝධයක් තිබුනා කියල හිතන්න බැහැ. ඒ නිසා මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති විය යුතුයි කියල මම දැඩිව විශ්වාස කරනවා.

කොමිසමේ අනාගතය

දැනට මානව හිමිකම් කොමිෂන් සභාවේ මගෙත් තවත් කොමසාරිස්වරියකගෙත් තනතුරු සඳහා පුරප්පාඩු දෙකක් තිබෙනවා. මාධ්‍ය වාර්තා ඔස්සේ අපිට දැනගන්න ලැබෙනවා මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ජනාධිපතිවරයාගේ නියෝජිතයා පත් කළ බව. මානව හිමිකම් කොමිසමේ පුරප්පාඩු පුරවයි කියන අපේක්ෂාව අපට තිබුනත් තවමත් එය සිදුවෙලා නැහැ. දැනට මතයක් තිබෙනවා 20 සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම මත මේ තනතුරු සඳහා පත් කිරීම් සිදුවෙයි කියල. නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව ගත්තොත් මේ වන විට කොමිසමේ ඉන්න කොමසාරිස්වරු තුන්දෙනාට පුලු‍වන් කොමිසමේ කටයුතු ගැටලු‍වකින් තොරව ඉදිරියට අරගෙන යන්න. ඔවුන් මානව හිමිකම් ලැදි, ඒ ගැන සංවේදී, දැනුවත් සහ ශක්තිමත් කොමසාරිවරු. මෙතෙක් කල් අපි වැඩ කරපු දැක්ම යටතේ ඔවුන් ඉදිරියටත් වැඩ කරගෙන යනවා. මොකද ඒ කොමසාරිස්වරු සියලු‍ දෙනාමත් ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම කෙරෙහි විශාල කැපවීමක් තිබෙනවා.

නමුත් 20 වැනි සංශෝධනය සම්මත වුනාට පසුව වෙන්නෙ මොකක්ද කියන එක ගැන නිශ්චිතව අදහසක් කියන්න බැහැ. මොකද ජනාධිපතිවරයාගේ ඍජු පත් කිරීම් හරහා පත් වෙන කොමසාරිස්වරු තමයි ඊට පස්සේ කොමිසමට එන්නේ. එතැනදි මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය කොතෙක් දුරට අපේක්ෂා කළ හැකිද යන ප්‍රශ්නය මතු වෙනවා. කොමිසමකට මේ ස්වාධීනතාවය කියන එක අතිශය වැදගත්. උදාහරණයක් කිව්වොත්, වධහිංසාව පිළිබඳ පැමිණිලි බොහෝදුරට එන්නේ මානව හිමිකම් කොමිසමට. අපි ඇහුවම ඇයි මේවා පොලිස් කොමිසමට ගෙනියන්නේ නැත්තේ කියල පැමිණිලිකරුවන් කියන්නේ ඉහළ නිලයන් දැරූ පොලිස් නිලධාරීන් පොලිස් කොමිසමේ ඉන්න නිසා සාධාරණ පරීක්ෂණයක් වෙයිද කියන සැකය තියෙනවා කියල. මේක තමයි ජනතාවට දැනෙන හැඟෙන දේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ  මහචාර්ය දීපිකා උඩගම සමඟින් සාකච්ඡා කර සකස් කළේ, ජයනි අබේසේකර, උපුටා ගැනීම – සමබිම

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment