ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට, ඒ ගැන සිතන මිනිසුන් සිටිය යුතුයි! – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට, ඒ ගැන සිතන මිනිසුන් සිටිය යුතුයි! - ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

අපි මේ ඡන්දයට පෙර දැක්කා ජනාධිපතිවරයා එක එක ජනාධිපති කාර්ය සාධක බලකායන් වගේ දේවල් පත් කරලා ඒවායේ තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත් කරනවා. ඊට අමතරව යම් යම් අමාත්‍යාංශ සඳහා හමුදා නිළධාරීන් පත් කළා. මෙවරත් අමාත්‍යාංශ රැසක ලේකම්වරුන් විදිහට විශ්‍රාමික හමුදා නිළධාරීන් පත් කරලා තිබෙනවා. ඡන්දයට පෙර තිබුණ මේ තත්ත්වය සහ මෙහි තාර්කික අවසානය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

මේක මම දකින විදිහට සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. හමුදාව ඉන්නේ රට පාලනය කරන්න නෙවෙයි, හමුදාවට අත්දැකීම් තියෙන්නේ ඒකට නෙවෙයි. ඒකට සිවිල් සේවකයෝ සිවිල් නිළධාරීන් ඉන්නකොට ඇයි මෙහෙම කරන්නේ, ඒක තමයි මෙතන තිබෙන ප්‍රශ්නය. කලින් වතාවේ මේක කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ, එතකොට මේක ප්‍රශ්න කරන්න බෑ. එතකොට තිබුන තත්ත්වය එක්ක, මේ ජනාධිපති කාර්ය සාධක බලකායන් වගේ දේවල් සමාන්ත්‍රර ආණ්ඩුවක් වගේ තමයි වැඩ කළේ. මේකෙන් පේන්නේ අපේ ජනාධිපතිතුමාට සිවිල් නිළධාරීන් එක්ක වැඩ කරන්න බැහැ කියන එකද? ඒක එහෙමනම් එතුමා වැරදි  රස්සාව තමයි තෝරගෙන තිබෙන්නේ. මේවායින් පේන්නේ අපි කෙළින්ම යන්නේ මිලිටරි ආණ්ඩුවකට කියන එකයි. ඔහු ඔහුගේ අයියා වගේ දේශපාලකයෙක් නෙවෙයි. දේශපාලකයෙක් තීන්දු තීරණ ගන්නේ සංවාදයෙන්, සාකච්ඡාවෙන්, එහෙත් මිලිටරි මොලයක් තියෙන මනුස්සයා කියන දේ කරන්න දන්නවා, හැබැයි සාකච්ඡා කරලා මොකවත් කරන්න දන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ගැටලුව. ඉතිං දැන්වත් මේක වෙනස් වෙන්න ඕනෑ.

ස්වාධීන කොමිෂන් සභා වගේ දේවල් අහෝසි කරනවා, අලුතින් ව්‍යවස්ථාවක් ගෙන එනවා වැනි කතා බොහොමයක් මේ වෙනකොට අපිට ඇසෙමින් තිබෙනවා. කොමිසන් සභා පත් කිරීම සඳහා විශාල කාර්‍යභාරයක් කරපු ඔබගේ අදහස මොකද්ද මේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට, ඒක  ආරක්ෂා කරගන්න නම් ඒ පිළිබඳව හිතන, ඒක ආරක්ෂා කරගන්න පෝෂණය කරගන්න වැඩකරන මිනිස්සු ඉන්න ඕනෑ. ඒ ගැන නිතර දෙවේලේ හිතන මිනිස්සු ඉන්න ඕනෑ. අපිට නීති පාස් කරන්න පුලුවන්.  හැබැයි ඒවා රට අස්සේ සාර්ථකව ක්‍රියාත්මක කරගන්න නම් ඊට හරියන මිනිසුන් සිටිය යුතුයි. සමහර රටවල හරි ෂෝක් ව්‍යවස්ථාවල් තියෙනවා, හැබැ‍යි ප්‍රධානියා ඒකාධිපතියෙක්, එතකොට වැඩක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය, කොමිසන් සභා මේවා ආරක්ෂා කරගන්න එක අපේ වඟකීම. එතකොට ඒ වඟකීම විශ්වාස කරන ජනතාවක් ඉන්න ඕනෑ ඒ සඳහා. අනික් පැත්තෙන් කොමිසන් සඳහා පත්වෙන පුද්ගලයිනුත් ප්‍රජාත්න්ත්‍රවාදය ගැන විශ්වාසයෙන් කටයුතු කළ යුතුයි. ඔවුන් ඒක ආරක්ෂා වෙන විදිහට තමයි තීන්දු තීරණ ගන්න ඕනෑ.  ලංකාවේ ඉතිහාසය දිහා බලන්න අපිට පේනවා ලේ වැක්කෙරෙනවා. අපි දන්නවා  හැම අවුරුදු 20 කට සැරයක්ම මේක චක්‍රයක් වගේ වෙනවා. අපි මේක නතර කරන්න ඕනෑ. අපි මේ තත්ත්වයන් නතර කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනෑ. අපි ඒකාධිපති තත්ත්වයකට ගියොත් මොකද වෙන්නේ? හැමදාම ලේ හැලෙයි. ඒ නිසා ජනතාවගේ අභිලාෂය වෙන්න ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම.

ජනාධිපතිවරයා පසුගිය දවසක ප්‍රකාශ කරලා තිබුණා, යම් ජාත්‍යාන්තර සංවිධානයක් අප රටට යම් බලපෑමක් කරනවනම්, ඒ සංවිධානයෙන් ඉවත් වෙන්න සූදානම් කියලා. රාජ්‍ය නායකයා මෙහෙම හිතන පසුබිමක, ජිනීවා මානව හිමිකම් කොමිසම වැනි අන්තර්ජාතික ආයතන සමග අපිට ඉදිරිකාලයේ වැඩකරන්න පුලුවන් වෙයිද?

සාජන් සුනිල් රත්නායක අවුරුදු 5 ක ළමයෙක්ගේ බෙල්ල කැපුවා, මේ හමුදා නිළධාරියාට සමාව දෙන්න එපා කියලා හැවෝම හඬ නැඟුවා, ඒත් ජනාධිපතිවරයා මොකද කළේ ඔහුට සමාව ලබාදුන්නා. ඔහු එහෙම කොහොමද සමාවක් දෙන්නේ, කොහොමද එහෙම කරන්නේ? හැම උසාවියක්ම කිව්වා රත්නායක ගිල්ටි කියලා. ඔහු වැරදිකරු කියලා තමයි උසාවිය කිව්වේ. එහෙම තත්ත්වයකදී ජනාධිපතිවරයා සමාවක් දෙනවා කියන එකෙන් ඔහු කියන්නේ අපේ උසාවිය දෙන තීන්දු වැරදියි කියලද? එහෙම වැරදියිනම් අපි අන්තර්ජාතික විනිසුරන් ගේමුකෝ. අපි දන්නවා පහුගිය රජය මංගල සමරවීර අමාත්‍යවරයා හරහා සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලියකට යනවා කියන එකඟතාවයකට ජිනීවා මානවහිමිකම් කොමිසම සමග ආවා. ඒ එකඟතාවයේත් මේ අන්තර්ජාතික විනිසුරන් පිළිබඳව කතාවක් තිබෙනවා. ඒක රට තුළත් විශාල ආන්දෝලනයක් ඇති කළා. ඉතිං මේ සමාව ලබාදීම් ප්‍රකාශ කරන්නේ අපි අන්තර්ජාතික විනිසුරන් ගෙන එන්න ඕනී කියන එක නෙවෙයිද?

අපිට අද ලෝකයේ තිබෙන තත්ත්වය එක්ක තනියෙන් මේ ගමන යන්න බැහැ. අපිට චීනය එක්ක විතරක් මේ ගමන යන්නත් බෑ. අපි ඒක තේරුම් ගන්න ඕනෑ. දැන් බලන්න මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එක අපිට නිකන් දෙන්න හදන ඩොලර් මිලියන 480 ක ආධාර මුදල, විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙන මේ වෙලාවේ අපි ඒක ගන්නෙත් නෑ. ප්‍රමාද කරනවා. එනිසා මේවගේ දේවල් දේශපාලනයට හරෝගෙන මිනිස්සු උසිගන්වමින් දේශපාලනය කරන්න හොඳ නැහැ. අපි මේවා ගැන මීටවඩා දියුනු විදිහට කල්පනා කරන්න ඕනෑ. මෙහෙම රටකට ඉස්සරහට යන්න හරි අමාරුයි. ජනාධිපතිවරයා මේ ප්‍රශ්න දෙස මීට වඩා ඉවසීමකින් සාවධානව බැලිය යුතුයි.

-කේ. සංජීව-

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment