ණය උගුල ගැස්සෙයි, වෙන්දේසිය ඇරඹෙයි!

ණය උගුල ගැස්සෙයි, වෙන්දේසිය ඇරඹෙයි!

වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව (2015-19) රටේ ආර්ථිකය එකතැන පල්වෙන තැනට පත්කළ බවට චෝදනා නගමිනි. ඒ අතරේ ජීවන වියදම පිළිබඳව ද බොහෝ වේදනාවන් ‘දැන් සැප ද” තේමාව යටතේ ගෙන එනු ලැබීය. මුඩුබිමක් වූ රට නැවත වැඩබිමක් කරනවා යන්නත්, ණය ප්‍රශ්නය ගැන ඇසූ විට සල්ලි හොයන හැටි අපි දන්නවා යැයි වාගාඩම්බර ප්‍රකාශ නිකුත් කිරීමත් සිදු විය. රටේ ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීයවේදීන් හා රාජ්‍ය නිලධාරීන් සාතිශය බහුතරයක් වත්මන් ආණ්ඩුවේ නායකයින්ගේ මේ ප්‍රකාශ විශ්වාස කළහ. කඩවත සිට කුරුණෑගලටත්, එතැනින් දඹුල්ලටත් වූ අධිවේගී මාර්ගය සම්පූර්ණ කිරීම, පොතුහැර – ගලගෙදර – මහනුවර අධිවේගී මාර්ගය සම්පූර්ණ කිරීම, කහතුඩුව – පැල්මඩුල්ල – රුවන්පුර අධිවේගී මාර්ගය නිම කිරීම ප්‍රධාන තේමාවක් විය. එයට අමතරව කෙරවලපිටිය LNG බලාගාරය (300MW), දුම්රිය මාර්ග කඩිනමින් සංවර්ධනය, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මහල් නිවාස 100 බැගින් (330×100=33,000) ඉදිකිරීම, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකර කාපට් කිරීම, දුප්පතුන්ට වහාම රැකියා 150,000 ක් ලබාදීම ආදිය නිතර ඇසුණු කතාය.

මේවා දැන් රටතුළ ගොඩනැගී ඇති වැඩබිමේ පසුගිය මාස 11 ක කාලය තුල සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දන්නවා ඇතැයි සිතමි. පසුගිය කැබිනට් මණ්ඩල තීරණ (ප්‍රසිද්ධ කරන ලද) සලකා බැලීමේ දී බොහෝ වැදගත් සංවර්ධන යෝජනා ක්‍රමයෙන් අවලංගු වෙමින් ඇති බව නම් ජනතාව නොදන්නවා ඇතැයි සිතමි.

2020.02.07 වැනි දින ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කෙරවලපිටියේ ඉදිකිරීමට ගිය ගෑස් බලාගාරය (300MW) 2020.09.07 අවලංගු කර එය රජයට අයත් නොවන පුද්ගලික බලාගාරයක් (IPP) ලෙස ගොඩනැගීමට යෝජනා කර ඇත. (ලංවිම බංකොලොත් වූයේ IPP බලාගාර නිසා බවට වූ චෝදනා මැද)

එමෙන්ම කොළඹ අගනගර භූගත විදුලිබල පද්ධති සැකසීමේ JICA ව්‍යාපෘතිය (ඩො.මි. 259) අවලංගු කර ඇත.

පිටකොටුව – කඩුවෙල සැහැල්ලු දුම්රිය පද්ධතිය තැනීමේ (2019-23) ව්‍යාපෘතියද අවලංගු කර ඇත. (ඩො.මි. 2200)

මරදාන – හෝමාගම ආසියානු සංවර්ධන බැංකුව යටතේ වූ සීග්‍රගාමී දුම්රිය ද්විත්ව මංතීරු යෝජනාව (ඩො.මි. 1100) අවලංගු කර ඇත.

එමෙන්ම මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම (ඩො.මි. 820) හා ගලගෙදර – දඩල්ල (3-4 කොටස) ඩො.මි. 922 ව්‍යාපෘතිය ද, රුවන්පුර අධිවේගී මාර්ගයේ (ඩො.මි. 1600) වැඩකටයුතු ද, LRT එපා කියා තැනීමට යන කැලණිය – අතුරුගිරිය (ඩො.මි. 478) අධිවේගී මාර්ගයේ කටයුතු ද (මුළු එකතුව ඩො.මි. 3800) රජයේ මුදල් වැය කිරීමේ හැකියාවක් නොමැති පසුබිමක, අරමුදල් සම්පාදනය සඳහා මුදල් ලේකම් තනි අයිතිය දරන සමාගමක් පිහිටුවීමට (2020.10.12) කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අනාගතයේදී කුරුණෑගල – දඹුල්ල මාර්ගය ඩො.මි. 869 (Roughron Znternational) හා වරාය නගරය කොල්ලුපිටිය බිම්ගත මාර්ගය ඩො.මි. 446 අයත්වන්නේද මෙකී ක්‍රමයට බව පැහැදිළිය.

භාණ්ඩාගාරයට ගත නොහැකි – නැති අරමුදලක් භාණ්ඩාගාරයේ ලේකම්ගේ භාරයේ වූ සමාගමකට ලැබෙන්නේ කෙසේද ? උත්තරය ඉතා පැහැදිළිය. එනම් පුද්ගලික – රාජ්‍ය – ඒකාබද්ධ (Public Private Partnership) ක්‍රියාවලියක් මගින් ඒවා පුද්ගලික අංශයට (විදේශීය) ලබාදීමය. එහිදී අනිවාර්යෙන් එකී මාර්ගවලින් අයකරගන්නා මුදල් වලින් මාර්ගවල වියදම් සම්පාදනය කරගත නොහැකි වුවහොත් එකී හිගය පියවීමට (Gap Rehanging) රජයට සිය දේපොළ බොහෝවිට ඉඩම් ලබාදීමට සිදුවනු ඇත.

අඩුවෙන්ම වියදම් වූ බව සැලකෙන දැනට තනා ඇති අධිවේගී මාර්ගය වන කොට්ටාව – ගාල්ල මාර්ගය නිසා ලැබෙන ආදායම එහි නිත්‍ය වියදමෙන් 1/6 ක් බව සිහිකිරීමෙන් හිගය පියවීමේ ක්‍රියාදාමය සඳහා වෙන්දේසි කළ යුතු දේපොළ ගැන සිතාගත හැක.

මෙයට පිළිතුරක් 2020.10.12 කැබිනට් මණ්ඩල තීරණ වලම ඇත. එනම් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වූ ඉඩම් රාජ්‍ය- පුද්ගලික – ඒකාබද්ධ (PPP) ක්‍රමවේදයට විකිණීමේ ක්‍රියාවලියකට අවසර දීමය.

2015-19 කාලයේ අපගේ සංවර්ධන ව්‍යාපෘති නිසා නව අගයක් ලබාගත් ඉඩම් විශාල ප්‍රමාණයක් බත්තරමුල්ල, බොරැල්ල, පිටකොටුව, බේරේවැව, පෑලියගොඩ, බ්ලූමැණ්ඩල් ප්‍රදේශවල ඇත. මේ ඉලක්කය එකී ඉඩම් වෙන්දේසිය ඇරඹීමය. ඒවා අයත් වන්නේ විදේශිකයන්ට බැව් පැහැදිළිය.

දේශමාමක සෞභාග්‍යයේ මඟ, පස් කපා, ගස් කපා නතර නෙවී ඉඩම් වෙන්දේසියද අරඹා ඇති බව පැහැදිළිය.

පාඨලී චම්පික රණවක මුහුණ පොත

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment