කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! – මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)

කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! - මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)

පොදුවේ ගත්තොත් දේශපාලන භූමිකාවට  කාන්තාවන් එන්නේ නැත්තේ ඇයි? යන කාරණා කියන්නේ අඛන්ඩව අපේ සමාජයේ පැවති අසමතුලිතතා.  ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගභේදයෙන් අප වෙන් කර ගත් අයට අපි දෙන ප්‍රතිචාර, අගයන්, අවස්ථාවන්, වටිනාකම් වල ඇති කර ගත් අසමතුලිතතා වල එක ප්‍රතිඵලයක් විතරයි. අපි කාන්තාවන් දේශපාලනයට එන්නෙ නැහැ කියන එක හදිසියේ ඇතිවුණ කාරණයක් නොවෙයි.

අපේම ජීවිත වල ආපස්සට ගිහිල්ල බැලුවොත් පෙර පාසල් වල ඉන්න දරුවාගේ ඉදන් ඒ දරුවගේ පෞරුෂය හැඩ ගස්වන්න ඒ තුළ ලබා දෙන අධ්‍යාපනය , ගෙදර වටපිටාව, සමාජය, පාසල, රැකියා කරන ස්ථානය, ඊට පසුව දේශපාලනය ආදී වශයෙන් විෂම චක්‍රයක් තියෙන්නේ. මෙන්න මේ චක්‍රයේ දීර්ඝ කාලීනව ඇති වන අසමතුලිතතා නිසා තමයි කාන්තාවන් දේශපාලනයට එන්නේ නැත්තේ. ඒ සඳහා ඔවුන්ට පරිසරයක් හැදිලා නැත්තේ.

ලෙඩක් හැදුනොත් පළවෙනිම ලක්ෂණය තමයි පොඩි උණක් එනවා. අපි උණට බෙහෙත් පෙත්තක් ගැනීමෙන් කරන්නේ රෝග ලක්ෂණය තාවකාලිකව මගහරවා ගැනීම. නමුත් ඇත්තටම නිධන්ගත රෝගය හොයන්න නම් පරීක්ෂණයක් කරලා බලන්න ඕන. ඒ වගේ අපි නිරන්තරයෙන් කතා කරනවා 25% කෝටා ක්‍රමය හරහා කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමට යම් උදව්වක් වුණාද කියලා. නමුත් ඇත්තටම බලන කොට අපි කියන ව්‍යුහාත්මක අභියෝග තිබියදී අපි මේ මතුපිට තිබෙන ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් විදිහට තමයි මේක කරලා තිබෙන්නේ. ඒක ආරම්භයක් විදිහට සුභවාදී කටයුත්තක්. ඕනම කාරණයක් සර්ව සම්පූර්ණ විදිහට පටන් ගන්න බැහැ. හොඳම න්‍යායක් වුවත් ක්‍රියාත්මක කිරීමේදී තමයි අභියෝග වලට මුහුණ දෙන්න වෙන්නේ. අභියෝග දැන ගෙන ඉදිරියට යෑම තමයි සමාජයේ හැම කෙනාගෙම අභියෝගය වෙන්නේ. ඒක තමයි අපි කළ යුත්තේ.

2018 දී පළමු වතාවට මෙම 25% කෝටා ක්‍රමය පළාත් පාලන මැතිවරණයට අනුගත වෙනවා. එතනත් පොඩි ගණන් හදා ගැනීමක් තියෙනවා. ප්‍රමුඛ ලැයිස්තුවේ 10%ක් දෙවන ලැයිස්තුවේ 50% ක් විදිහට. අවසානයේදී 25% හදන්නේ ගණිත ගැටලුවක් විසඳලා. අනෙක් කාරණය තමයි ඔය කියන 10%  යි 50% යි එකතු කර ගන්න සමහර මහජන නියෝජිතයෝ කාන්තාවන්ගේ ගෙවල් වලට යන කොට ඔවුන් ළමයින්ගේ කිරි හදනවා, එවිට කියනවා ඔබතුමියට මෙයට අත්සන් දාල දෙන්න පූළුවන්ද කියලා. ඒ කාන්තාවට හිතන්නවත් වෙලාවක් නැහැ, ඇයි මම මේ සඳහා අත්සන් කරන්නේ කියලා. නමුත් ඇය ඒකට එකග වෙනවා. ඊට පස්සේ ඇය ඒ ප්‍රාදේශීය සභාවේ ගිහිල්ලා කටයුතු කරනවා. එතැන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇයට හරි පුහුණුවක් වගකීම පිළිබද දැනුමක් නැතිව තමයි ඇය එතනට යන්නේ. ඒකත් වෙනම කතා කරන්න ඕන කාරණයක්. කාන්තාවක් වීම හරහාම ඇයට සමහර කාරණා වලට පිවිසීමට නොහැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ගෙදර දොර වැඩ කටයුතු නිසාම ඇයට මේ දේවල් වලට සහභාගිවීමේ නොහැකියාවක් තියෙනවා. අනෙක් කාරණය වන්නේ ඇය කොතරම් කාලයක් මෙහි රැදේද යන කාරණය.  ඇය වටා හැදිච්ච පරිසරයට ඇයට සහයෝගය දෙන්න කොතරම් දුරට පුළුවන්ද කියන කාරණය.  ඇයට වැටහුණු විට මම මෙතන සිටීමෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ කියලා බොහොම ස්වාභාවික  විදිහට ඇය එතැනින් පලා යනවා.  මෙය දකින අනෙක් කාන්තාවන් ගොඩක් දුරට මේවට සහභාගි වෙනවා අඩුයි.  නමුත් අපි සුභවාදීව ගත්තොත් මේක පටන් ගැනීමක් විදිහට හොඳයි.

කාන්තා නායකත්වය කියන දේ තුළත් ගැටලු තිබෙනවා. දේශපාලන නායකත්වය කියන දේට අපි ලස්සන නිර්නායක දෙනවා. ඒ වගේම අපි දේශපාලන නායකයෙකුට පෞරුෂයක් හදනවා. නායකයෝ කිව්වම අපිට ඔලුවට එන්නේ පුරුෂ පක්ෂයනේ. ඔහුගේ තේජස, ගමන් විලාශය, හිනාව, අඳින විදිහ, ආදිය අපි විශේෂ කොට සලකනවා නායකත්වයට. කාන්තාවක් නායකත්වයට එද්දීත් බලන්නේ කොතරම් දුරට ඇය පිරිමියෙක් වගේ ඉන්න පුළුවන්ද කියන කාරණය. එතනදිම අපි ඇයගේ භුමිකාව හදනවා ඇයට ස්ත්‍රිත්වය තියාගෙන නායකත්වය ගැනීමේ නොහැකියාව පිළිබඳව. නායකත්වය කියන එක දිහා අපි පුළුල්ව බැලුවොත් නායකයෙක්ට තිබිය යුත්තේ ලිංග භේදයකින් තොරව තිබිය යුතු ගුණාංගයි. තීරණ ගැනීමේ හැකියාව, සමූහයක් එක්ක එකතු වෙලා වැඩ කිරීමේ හැකියාව, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කර හැමගේ අදහස් එකතු කර ගැනීම, විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම, වගවීම මෙහිදී ප්‍රධානයි. ඒ වගේම සිල්ලර කාරණා කියන ඒවත් තියෙනවා. සංවේදීතාවය, සානුකම්පිත බව, සහකම්පනය ආදී වශයෙන්. ඒවා  අපිට පෝස්ටරයකින් වුවත් ගේන්න පුළුවන්. කැම්පේන් එකකින් ගේන්න පුළුවන්.

නමුත් කාන්තාවක් මේ ප්‍රවාහයට එකතු වෙන කොට අපි උත්සාහ කරනවා ඇයට මේ ප්‍රධාන ගුණාංග ටික නැහැ. ඇයට ඒ සඳහා අත්දැකීම් ලබන්න අවස්ථාවක් දීලා නැහැ. ඇයට වැඩිපුරම තියෙන්නේ අධි සංවේදී බව, සානුකම්පිත බව. මේවා නිසා අපි හැමතිස්සෙම අවතක්සේරු කරනවා, ඇය හොදයි, ඇය ඉතා කාරුණිකයි, නමුත් ඇය නායකත්වයට සුදුසු නැහැ කියලා. ඇයගෙන් සමාජයට සේවයක්, යම් කාර්යයක් වෙනවා කියන අදහස මතයි කාන්තාව දේශපාලනයට ගෙන ආ යුත්තේ. එසේ නැත්නම් කාන්තාවක් වීම නිසාම නෙවෙයි. සමාජයෙන් අපි කාලයක් තිස්සේ හදා ගත්ත මතිමතාන්තර තියෙනවා. ඒ තුළින් අපි නිවැරදි චිත්‍රය දකින්නේ නැතිව 25% ඕන නිසා එකතු කරලා දෙනවා නම් අපි හදා ගත යුතුයි ඔවුන් කොහොමද මේ දේශපාලන ප්‍රවාහයේ රඳවා ගන්නේ කියන ප්‍රශ්නයට උත්තරයක්. ඒ තුළ පමණයි අපිට කාන්තාවක් දේශපාලනය කිරීම හෝ යම් සමාජ ප්‍රජාවකට නායකත්වය සැපයීම කියන කාරණාවලදී අපි කාලයක් තිස්සේ හිරවෙලා ඉන්න තැනින් ගොඩට එන්න පුලුවන්.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment