ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්දු

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් - කෞශල්‍යා ප්‍රනාන්දු

බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ.

මම කුඩා කාලයේ මා සමග ආච්චි සීයා නෑදෑයෝ හිටියා. බොහොම සාමාන්‍ය, නිදහස්, ඉවසීමෙන් යුතු පරිසරයක් තිබුනේ. අපිට කියලා පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඔය ප්‍රයිවසි කියන එක බටහිරෙන් ආපු එකක්. නමුත් දැන් අපි පෞද්ගලික වෙලා. අපි වෙන වෙනම න්‍යෂ්ටික පවුල් වලට කැඩිලා. පිට පළාත් වල ගොඩාක් රැකියා කරන අය කොළඹට ඇවිල්ලා ගෙවල් අරගෙන. දෙමව්පියෝ ගමේ එහෙමත් නැත්නම් වෙන තැනක. නෑදෑයෝ විසිරිලා වෙන රටවල් වල. අම්මයි තාත්තයි දෙන්නටම රැකියාවල් කරන්න සිද්ධ වෙච්ච තත්ත්වයක් අද තියෙන්නේ. දෙන්නගෙන් එක් කෙනෙකුට ගෙදර ඉන්න නම් ලොකු කැප කිරීමක් කරන්න සිද්ධ වෙනවා. මේ තතත්වයන් යටතේ සෑහෙන දුරට දරුවෝ තනි වෙලා තියෙනවා.  දරුවෝ පාසල් යනවා, ඊට පස්සේ උපකාරක පන්ති වලට යනවා, එහෙම නැත්නම් දරුවෝ තනියම ගෙදර. මෙවැනි තත්ත්වයන් යටතේ දරුවෝ අනාරක්ෂිත තත්ත්වයක ඉන්නේ. අපි සමාජීය වශයෙනුත් අපි සංකීර්ණ තත්ත්වයක ඉන්නේ. ඒක විස්තර කරන්න බැරි තරම්.

වර්තමානයේ තරුණ පිරිමි දරුවෝ සාමාන්‍ය පෙළ ලියපු ගමන් ත්‍රීවීලර් එකක් ගන්නවා. එතකොට අධ්‍යාපනය කියලත් අපි මොකක්ද දෙන්නේ. අධ්‍යාපනය තුළින්වත් අපේ බුද්ධිය උද්දීපනය කරන්නේ නැහැ. දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදරය සම්බන්ධයෙනුත් ප්‍රශ්න තියෙනවා. ආදරය ලබන්න වෙලාවක් තියෙනවද? දෙමාපියන්ට දරුවන්ට ආදරය කරන්න වෙලාව තියෙනවද? ඉස්සර පවුල් වල ආදරය කරනවා කියලා අතගගා ඉඹ ඉඹ හිටියේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ආදරය කිරීමේ ක්‍රම තිබුණා. එකට ළිඳට ගිහිල්ලා නානවා. අවුරුදු කාලෙට එකතු වෙනවා. අපිත් දැන් අවුරුදු කාලෙට එකට එකතු වෙනවා තමයි. නමුත් ඒක පොඩි සංදර්ශනයක් විතරයි. බෞද්ධගම තුළින් වත් ඒක හරියට ප්‍රායෝගිකව  සිද්ද වෙනවා කියලා මම හිතන්නේ නැහැ. බණ කියනවා වුණාට ඒක අපි හරියට තේරුම් අරගෙන තියෙනවාද? දැන් පන්සලට ගිහිල්ලා සිල් ගන්නෙත් සංදර්ශනයකට.  වැඩිහිටියෝ දැක්ක ගමන් වදිනවා වගේ එයාලට අපි වදින්නේ තමන්ගේ ඇතුළාන්තයෙන්ම ආ යුතු දෙයක් විදිහට. වැඩිහිටියෙක් වූ පමණින් අපි මැෂින් වගේ වදින එක වැරදියි. අන්න එවැනි තත්ත්වයක් තමයි ආගම සම්බන්ධයෙනුත් තියෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මිනිස්සු මානසිකවත් ගොඩක් පිරිහිලා ඉන්නේ. ආර්ථිකවත් ලොකු ප්‍රශ්න තියෙනවා. එතකොට ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන් මත්ද්‍රව්‍යයන්ට පෙළඹෙනවා. මත්ද්‍රව්‍ය නිසා ඔවුන්ට කල්පනාව නැහැ. මේ තමන්ගේ දරුවද වෙනත් කාගෙවත් දරුවෙක්ද එහෙම නැත්නම් දරුවෙක්ද ගැහැණියක්ද කියන දෙයවත් ඔවුන්ට මතක නැහැ. මේ හැමදේම ආර්ථික, සමාජීය, දේශපාලන, ආකල්පමය පිරිහීම කියලා මම හිතන්නේ.

අනෙක් පැත්තෙන් අපි කලාව රසවිදින්නවත් ඉගෙන ගෙන නැහැ. චිත්‍රපටයක් බලලා රස විඳිනවා මිසක් ඒක අනුකරණය කළ යුතු නැහැනේ. එවැනි දෙයක්වත් පාසලේදි උගන්වන්න වෙලා නැහැ. දරුවන්ට ඒකට වාඩි වෙලා විඳින්න වෙලාවකුත් නැහැ. ගුරුවරුන්ට ඒක සාවධානව පෙන්වන්න වෙලාවකුත් නැහැ. නැතිනම් අපිට මේ ඛේදවාචකයෙන් ගොඩ එන්න නිර්මාණ තුළින් විශාල වැඩක් ගන්න පුළුවන්. නමුත් ඒවා කරන්න, ඒවාට යොමු  කරන්න කාටවත් වෙලාව නැහැ. දරුවන්ට වැඩිහිටියන්ට මේ වෙනුවෙන් එක පැයක් යොදා ගන්න, දරුවන්ට දෙමාපියන්ට එකතු වෙලා මෙයට පිළියමක් සොයන්න වෙලාවක් වගේම වුවමනාවක් නැහැ. මොකද අපිට තියෙන ලොකුම වුවමනාව තමයි හම්බ කරලා තමන්ගේ පාරිභෝජන භාණ්ඩ ටික එකතු කරගෙන තමන්ගේ පවුල පමනක් රැකගෙන, තමන් ආරක්ෂා වෙලා ඉන්න එක. හැබැයි ඒ අස්සේ අපි විනාශයට යනවා අපේ දරුවන් විනාශයට යනවා කියලා කාටවත් පේනෙත් නැහැ.

අපේ අධ්‍යාපන ක්‍රමය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන්න ඕනෑ කියන එක නේද මේ කියන්නේ?

අනිවාර්යයෙන්ම, මනුෂ්‍යා හඳුනා ගන්න, මනුෂ්‍යාට ආදරය කරන්න, සලකන්න, ගෞරව කරන්න, අධ්‍යාපනය වැදගත්. නුවර පැත්තේ පොදු වැසිකිළි තියෙන ස්ථානයක අමතර පන්ති යන තරුණ පිරිමි ළමයින්ව සෑහෙන අපයෝජනයට ලක් වෙනවා. ඒ කණ්ඩායම පොලිසිය විසින් අල්ලා ගත්තම එතැන ගුරුවරයෙකුත් ඉන්නවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයෙත් එක්තරා පාසලක ගුරුවරයෙක් මෙහෙම අහුවෙනවා. මේක අඩු වැඩි වශයෙන් හැමතැනකම තියෙන දෙයක්. ඒ අය අරගෙන ගිහිල්ලා දඬුවම් කළ යුතුයි. ඒ වගේම ඔවුන්ව මානසික වශයෙන් යම් වර්ධනයකට ලක් කරන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයයි.

ඇයි ඒ තත්ත්වයට ඔවුන් පත් වෙන්නේ. ඔවුන් ලබන අධ්‍යාපනය තුළ තියෙන්නේ යම්කිසි රාමුවකට කොටු වූ ප්‍රශ්න සහ උත්තර පමනක් තියෙන අධ්‍යාපනයක්. විශ්ව විද්‍යාලයට යන ගොඩාක් ළමයි පොත් කියවන්නේ නැහැ. අද දේශනයට විශ්ව විද්‍යාලයේ මගේ පන්තියේ ළමයි දොලොස් දෙනෙක් හිටියා, මම ඇහුවා නවකතා කියවනවද කියලා. තුන් දෙනයි නවකතා කියවන්නේ. එතනිනුත් ඊයේ පෙරේදා නවකතාවක් කියවලා තියෙන්නේ එක්කෙනයි. අනෙක් අය කැමති නැහැලු. සමහර අයට වෙලාව නැහැලු. ජීවිතය පිළිබඳව තමයි අපි මේවා තුළින් ඉගෙන ගන්නේ. අපිට අත්දැකීම් නෑ. අපි ජීවිතය පිළිබඳව දන්නෙ නැහැ. අපි ඒවයින් ඉගෙන ගන්නේ නැහැ. රස වින්දනයට අපිව යොමු කරන්නේ නැහැ. සිලබස් එකට නාට්‍යයක් තිබූ පමණින් ඒ නාට්‍යය පාසලට ගෙනිහින් පෙන්වන කොට සිලබස් එකට නාට්‍යය තියෙන නිසාත් විභාගයට නාට්‍යය එන නිසාත් පාසලෙනුත් නාට්‍යය ගෙන්වලා පෙන්වනවා. දෙමව්පියනුත් පෙන්වන්න ලෑස්තියි. නැත්නම් දෙමව්පියෝ නාට්‍යය බලන්න එක්ක යන්නේ නැහැ. පාසලට ගේන, සිලබස් එකේ නාට්‍යය බලන්න හෝල් එක උතුරා පිරී යන්න දරුවෝ දානවා. ඒ ළමයින්ට ඉදගෙන තියා හිටගෙවත් නාට්‍යය බලන්න හුස්ම ගන්න ඉඩක් නැහැ. එහෙම හිටගෙන නාට්‍යයක් රස විඳින්න පුළුවන්ද? තේරුම් ගන්න පුළුවන්ද? වින්දනයයි වැදගත්. එතකොට බලන්නේ මේ නාට්‍යයේ එයා මේ වෙලාවට එනවා, අරයා මේ වෙලාවට එනවා, එයා මේ වචනේ කිව්වා, විභාගෙට මේ ප්‍රශ්නේ ආවා. ඒවා කටපාඩම් කර ගත්තා මිසක් අපි ඥාණනය වෙන්නේ නැහැ. ජීවිතය පිළිබද පරිඥාවක් ලබන්න අවශ්‍ය වටපිටාව මේ අධ්‍යාපන ක්‍රමයෙන් හැදෙන්නේ නැහැ.

ළමා දූෂණයන් වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ පවුල් ඇතුළතමයි. ඒවා එළියට එන්නෙත් නැහැ. එතකොට මේ අය ජීවිත කාලයම එය දරාගන්නේ විශාල මානසික වේදනාවක් සහ පීඩනයක් සිතේ දරාගෙන.

ළමයින්ගේ ආරක්ෂාවට පිහිට වූ ආයතන මීට වඩා ප්‍රායෝගිකව එළියට බැහැලා, මිනිස්සුන්ව දැනුවක් කරලා, ලොකු හඩක් නඟලා වැඩ කරන්න ඕනෑ.

මම දන්න පුද්ගලයෙක් කොළඹ පාසල් වලට ගිහිල්ලා ගුරුවරුන්ට දරුවන්ට කතා කරනවා මේ පිිළිබඳව. මෙන්න මේ මේ දෙවල් ඔබට සිද්ධ විය හැකියි. මෙවැනි දෙයක් යම්කිසි කෙනෙක් කළොත් මේ වගේ ප්‍රතිචාරයක් දක්වන්න. මෙවැනි කෙනෙක් මේ විදිහටයි හැසිරෙන්නේ කියලා ඔහු සෑහෙන්න විශාල සේවයක් කරනවා. නමුත් ඒක ඔහුට තනියම කරන්න බැහැ. මේ පිළිබද දැනුවත් කිරීමකින් හැම පාසලකටම අවශ්‍යයි. විශේෂයෙන් රූපවාහිනිය, පුවත්පත්, නාට්‍ය වැනි හැමදෙයකින්ම අවබෝධය ලබා දිය යුතුයි. මෙවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. මේකෙන් ආරක්ෂා වෙන්න කියලා. දෙමව්පියනුත් තමන්ගේ දරුවන්ව නිතර දැනුවත් කළ යුතු යි. දෙමව්පියන් ඒ ගැන සිතිය යුතුයි. මේ අපයෝජනය කියන එක මනුෂ්‍යාගෙන් මනුෂ්‍යාට විතරක් නෙවෙයි. සමාජ මාධ්‍යයෙනුත් අපයෝජනය වෙනවා. දෙමව්පියන්ට මෙය විශාල අභියෝගයක්. දෙමව්පියෝ තමයි පළමුවෙන්ම මෙයට මැදිහක් විය යුත්තේ. දෙවැනියට තමයි පාසල, පවුලේ අනෙක් අය, පන්සල පල්ලිය ඉන්නේ.

චිත්‍රපටයක් ආවා ස්පොට්ලයිට් කියලා. ඇමෙරිකාවේ යම් යම් පල්ලි වල පූජකවරුන්ගෙන් සිද්ධ වෙච්ච යම් යම් ක්‍රියාවන් සම්බන්ධව. එක්තරා පුවත්පතක් ඉතාම නිර්භීතව මේ ප්‍රශ්නය සොයා ගෙන ගිහිල්ලා ඔවුන්ව සමාජයට නිරාවරණය කළා. දැන් අපේ රටේ ඔවැනි චිත්‍රපටයක් කරන්න දෙයිද ? සමහරවිට අපි විශ්වාසම කරන තැනින් අපිට අවාසියක් සිද්ධ වෙනවා. නමුත් අපිට ඒ ගැන කතා කරන්නත් බැහැ. ඇතැම් වෙලාවට දෙමාපියන් විසින්ම දරුවන් යම් යම් තත්ත්වයන්ට පත් කරනවා. ඒගොල්ලන්ට වාසි ලබා ගැනීම සඳහා. අනෙක් පැත්තෙන් මෙහෙම හිංසාවට ලක්වුණ දරුවන් සමාජයට එනකොට විශාල වෛරී තත්ත්වයකින් තමයි පසුවෙන්නේ. ඊළඟ පරම්පරාවට ඔවුන් මේ දේ සිද්ධ කරන්නේ. අපි අනෙක් හැම ප්‍රශ්නයක් දෙසම බලනවා වගේ, මේ ගැන බැලුවෙ නැත්නම් විශාල අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් ඉදිරියේදී.

කේ සංජීව

 

Related posts

Leave a Comment