ආර්ථික ප්‍රතිඵලය – හර්ෂ ගුණසේන

ආර්ථික ප්‍රතිඵලය – හර්ෂ ගුණසේන

මෙම ලිපිය පළවන විට මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී තිබෙනු ඇත. කුමන පක්ෂයක් ජය ගත්තද ඔවුන්ට රටේ ආර්ථිකය සම්බන්ධ බරපතල ගැටලු‍වකට මුහුණ දීමට සිදුවෙයි. අප මුහුණදෙන ආර්ථික ගැටලු‍වට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියලු‍ම දේශපාලන පක්ෂද පාර්ලිමේන්තුවේ සිටි විරුද්ධ පක්ෂද මෙරට ජීවත්වූ මැතිවරණ වලදී ඡන්ද බලය පාවිච්චි කළ සියලු‍ ජනතාවද වග කිව යුතු වෙයි. විමානය සෑදෙන්නේ පෙරේතයාගේ හැටියට යයි කියමනක් තිබේ. එබැවින් ජනතාවට මේ වගකීමෙන් මිදිය නොහැක. වර්ෂ 1977 සිට ඡන්දය පාවිච්චි කළ පුරවැසියෙක් වශයෙන් එම වගකීමට මමද බැඳී සිටිමි. මේ ලිපිය ලියැවෙන්නේ එම දෘෂ්ටි කෝණයෙනි.

කොවිඩ් 19 හේතුවෙන් බරපතල තත්ත්වයකට පැමිණ ඇති ආර්ථිකය ඊට පෙරද පැවතියේ අනතුරුදායක තත්ත්වයකය.

නිදහසෙන් පසුව වර්ෂ දෙකක හැර මෙරට රාජ්‍ය අයවැයේ හිඟයක් තිබුණි. එනම් රාජ්‍යයේ වියදම් ලැබෙන ආදායමට වඩා වැඩි වීමයි. මෙම හිඟය පියවා ගන්නේ දේශීය සහ විදේශීය ණය වලිනි. එම වැඩිපුර කරන වියදම් ප්‍රාග්ධන වියදම් වන්නේ නම් සහ එම ආයෝජනයන් ගෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබී ආර්ථිකය ප්‍රසාරණය වන්නේ නම් එය ලාභදායි කටයුත්තකි. මක්නිසාද යත් ණය ගෙවන විට එහි බරක් නොදැනෙන බැවිනි. එසේ නොමැතිව වැඩිපුර කරන වියදම් පුනරාවර්තන හෙවත් පරිභෝජනය සඳහා කරන වියදම් වන්නේ නම් හෝ ප්‍රාග්ධන ආයෝජනයන් ගෙන් බලාපොරොත්තු ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් හෝ ඒ සඳහා ගන්නා ණය ගෙවීම අසීරු කාර්යයක් වනු ඇත. ශ්‍රී ලංකාව අද මුහුණ දී ඇත්තේ මෙම තත්ත්වයටයි.

මෙරට මැතිවරණ වර්ෂ වලදී අයවැය හිඟය වැඩිවේ. සැම රජයකම මෙම තත්ත්වයේ වෙනස් නොවේ. 2015 වර්ෂයේදීද එය දැකගත හැකි විය. විවිධ තර්ක ඉදිරිපත් කළත් එයට ප්‍රධාන හේතුව වන්නේ මැතිවරණ ජයග්‍රහණය සඳහා ජනතාවට නිත්‍යානුකුල අල්ලස් දීමයි. ජනතාවද මේ සඳහා කැමැත්තක් දක්වති. මැතිවරණ වලදී හදෙන් හෝ හාල් ගෙනත් දීම වැනි පොරොන්දු එන්නේ ද ඒ අනුවයි. එවැනි පොරොන්දු මේ මැතිවරණයේදීද දක්නට ලැබුණි.

අයවැය හිඟයට හේතුවන තවත් ප්‍රධාන කරුණක් වන්නේ අඩුවන රාජ්‍ය ආදායමයි. රාජ්‍ය ආදායමේ ප්‍රධාන සංඝටකයක් වන්නේ බදු ආදායමයි. වර්ෂ 2014 දක්වා පැවති ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ආදායම දළ දේශීය අදායමට සාපේක්ෂව පහත වැටුණි. එකල ව්‍යාපාරිකයන්ට බොහෝ බදු සහන විය. පසුගිය ආණ්ඩුව මගින් යම් බදු සහන අහෝසි කර බදු වැඩි කරන ලදී. මේ මගින් රාජ්‍ය ආදායම වැඩිවී රාජ්‍ය ගිණුම් වල තත්ත්වය යහපත් වීම ආරම්භ වූ නමුත් ව්‍යාපාර වලට අපහසුතා ඇතිවිය. වත්මන් රජය නැවත බොහෝ බදු අහෝසි කිරීම නිසා රාජ්‍ය ආදායම පහත වැටුණි.

රාජ්‍ය බදු වලින් 80% ක් පමණ ලැබෙන්නේ වක්‍ර බදු මගිනි. ඍජු බදු මගින් ලැබෙන ප්‍රමාණය 20% ක් පමණය. වක්‍ර බදු එනම් පරිභෝජනය මත පනවන බදු, හිඟන්නා ද ධනපතියාද එකසේ ගෙවනු ලැබේ. ඍජු බදු ගෙවන්නේ ගෙවීමට හැකියාව ඇති අය පමණි. සිංගප්පුරුවේ ද ඉන්දියාවේ ද රාජ්‍ය බදු ආදායමෙන් 50%ක් පමණ ලැබෙන්නේ ඍජු බදු වලිනි. ඍජු බදු අඩු කිරීමෙන් රජයක් බලාපොරොත්තු වන්නේ බදු ගෙවන්නන් විසින් කරනු ලබන ආයෝජන දිරි ගැන්වීමයි. මෙම බලාපොරොත්තුව ඉටුවී ඇද්දැයි විමසා බැලිය යුතුය.

රටක ආදායම් බෙදී යාමේ විෂමතාව ගිනි දර්ශකය මගින් පෙන්වනු ලැබේ. ගිනි දර්ශකය වැඩිවීම මගින් රටේ ආදායම අසමාන ලෙස බෙදී යාමේ වර්ධනයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ මෙය 2016 දී 39.8 ක් වූ අතර 1988 දී එය 32 ක් විය. ස්කැන්ඩිනේවියානු රටවල් හැර ලෝකයේ බොහෝ රටවල් වල ගිනි දර්ශකය වැඩි අගයක් ගනී. අපට වඩාත් උචිත වන්නේ පසුගිය රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් එනමුත් ක්‍රියාත්මක නොකළ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකි. ඒ මගින් සමාජයේ අවවරප්‍රසාදිත විශේෂයෙන් රැකියා විරහිත සහ වියපත් සමාජ කොටස් වලට සහන සැලසේ. ජනාධිපතිවරයා පදවිප්‍රාප්ත වීමට පෙර කලකට ඉහතදී අනුගමනය කරන බව කී සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය අදාළ වන්නේ චීනය වැනි රටවලටයි, අපට නොවේ.

එමෙන්ම මෙරට වෙළෙඳ ගිණුම දිගින් දිගටම අවාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම් රටේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිය. මෙම හිඟය ප්‍රතිපූරණය කරන්නේ රටේ ඇති විදේශ සංචිත මගිනි. මෙම විදේශ සංචිත බොහෝවිට සමන්විත වන්නේ විදේශ වලින් ණයට ගන්නා මුදල් වලිනි. අපනයන ආදායමද 2014 දක්වා පැවති රජය කාලයේ අවවර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය රජයද එය පෙර පැවති තත්ත්වයට වර්ධනය කිරීමට අසමත් විය.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ණය වැඩිම රට ජපානයයි. එය 237% කී. ජපානයේ අයවැය හිඟයක් ද ඇත. එය වර්ෂ 2018 දී 3.7% කි. ජපානය රාජ්‍ය අයවැයෙන් සමාජ ආරක්ෂණයටද අධ්‍යාපනයටද වෙනත් පොදු වැඩවලටද වියදම් කරමින් ව්‍යාපාර සඳහා මෘදු සහ දෘඪ යටිතල පහසුකම් සලසා දෙයි. එරට රාජ්‍ය ණයෙන් විශාල ප්‍රමාණයක් දේශීය ණය වේ. ජපානයේ වෙළෙඳ ශේෂයද ඇතුළත් වන ජංගම ගිණුමේ ශේෂයේ විශාල අතිරික්තයක් පෙන්වන රටකි. 2017 දී එය දෙවැනි වූයේ ජර්මනියට පමණි. මෙයට හේතු වන්නේ දියුණු ව්‍යාපාර වලින් ලැබෙන අපනයන ආදායම සහ විදේශීය ප්‍රේෂණයි. එබැවින් ප්‍රශ්ණය ඇති වන්නේ වෙළෙඳ ශේෂයද අයවැය හිඟයද රාජ්‍ය ණයද අවාසි සහගත වන විටය. ශ්‍රී ලංකාව එවැනි රටකි.

මෙරට රාජ්‍ය අංශය අසාමාන්‍ය ලෙස විශාලය. අකාර්යක්ෂම කලමනාකරණය සහ අනවශ්‍ය දේශපාලන මැදහත්වීම් නිසා රාජ්‍ය අංශයේ ව්‍යාපාර පාඩු ලබයි. දේශපාලනඥයන් මේ ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ තම හිතවතුන්ට රැකියා දීම සඳහා සහ තමන්ගේ බලය ඒ මගින් පවත්වා ගෙන යාම සඳහාය. ජනතාව මේ ව්‍යාපාර විකිණීමට විරුද්ධ වන්නේ තමන්ට ඒවායේ රැකියා ලබා ගැනීමට ඇති අවශ්‍යතාව සහ ඊනියා දේශප්‍රේමය නිසාය. රජය විසින් මේවා ටෙන්ඩර් කැඳවා විකුණා දැමීම මගින් හෝ සිංගප්පුරුවේ මෙන් සම්පූර්ණ ස්වාධීන ආයතනයක් මගින් පාලනය කිරීමෙන් හෝ මෙම තත්ත්වය සමනය කර ගත හැක. එමගින් රාජ්‍ය අයවැයට සිදුවන බලපෑම අවම කර ගත හැක.

රාජ්‍ය දෙපාර්තමේන්තුවල ද අනවශ්‍ය ලෙස සේවක පත්වීම් දක්නට ලැබේ. පාලකයෝ ද පාලිතයෝ ද මේ තත්ත්වයට කැමැත්තක් දක්වති. පාලකයන් මැතිවරණ බලාපොරොත්තුවෙන් පත්වීම් දෙන අතර පාලිතයන් එනම් ජනතාව රාජ්‍ය සේවයේ තිබෙන විශ්‍රාම වැටුපත් එම සේවයට ඇතුළත් වීම තුළ පුද්ගලික අංශයට සාපේක්ෂව නිකරුනේ කාලය ගත කිරීමට ඇති හැකියාව නිසාත් රාජ්‍ය සේවයේ රැකියාවකට කැමතිවෙති. සමහරු වැඩි වැටුප් ලබන පුද්ගලික අංශයේ රැකියා අතහැර රාජ්‍ය අංශයට එකතු වෙති. මෙම තත්ත්වය ජාතික ආර්ථිකයට බරකි.

රටේ ආර්ථිකය දුවවන ගාමක බලය රටේ ඇති බැංකු වලින් සපයනු ලැබේ. මෙරට ඇති විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව රාජ්‍ය ආයතන වේ. ඒවායේ කටයුතු කෙරෙන්නේ සාපේක්ෂ වශයෙන් අකාර්යක්ෂම ලෙසය. මේ අකාර්යක්ෂමතාවට ගෙවනු ලබන්නේ රටේ ජනතාවයි. එමෙන්ම එයට මුවා වී අවශේෂ බැංකු විසින්ද ලාභ ලබනු ලැබේ. ලංකා බැංකුව සහ මහජන බැංකුව කාර්යක්ෂම ලෙස පවත්වා ගනු ලැබුවහොත් හෝ පුද්ගලීකරණය කළහොත් හෝ මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ඇති අසාමාන්‍ය ලාභ අඩුවී ව්‍යාපාර වලට සහ ජනතාවට සෙත සැලසෙනු ඇත. මේ රටේ පළමු කොම්පැනි 10 තුළ බැංකු 4 ක් ඇති අතර පළමු කොම්පැනි 20 තුළ බැංකු 7 ක් තිබේ. ඉන්දියාවේ පළමු කොම්පැනි 10 තුළ ඇත්තේ එක බැංකුවකි, පළමු කොම්පැනි 20 තුළ බැංකු 3 ක් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු කොම්පැනි 10 තුළ එක බැංකුවක් ඇති අතර පළමු කොම්පැනි 20 තුළ ඇත්තේ බැංකු දෙකක් පමණි. ඉදිරිගාමී රටක පළමු කොම්පැනි 10 හෝ 20 හෝ තුළ වැඩි ප්‍රමාණයක් තිබිය යුත්තේ නිෂ්පාදන ආයතනයි. ඒවායිනුත් බහුතරය අපනයන ව්‍යාපාර විය යුතුය.

රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට නම් එරට ව්‍යාපාර කෙරෙහි ජනතා ගෞරවයක් සහ පිළිගැනීමක් තිබිය යුතුය. මෙරට ජනතාව සිතන්නේ ව්‍යාපාර කරනු ලබන්නේ වංචනිකයන් විසින් බවය. ඔවුන් ව්‍යාපාරිකයාට වඩා හමුදා නිලධාරියාට හෝ වෛද්‍යවරයාට හෝ ගරු කරති. රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමෙන් තොරව රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැක. වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් හෝ ගණකාධිකාරීන් හෝ ඇති කිරීමෙන් පමණක් ආර්ථිකය ඉදිරියට ගමන් නොකරයි. මක්නිසාද යත් ඔවුන් ආර්ථිකයේ ගාමක බලවේගය නොවන නිසාය. මේ සඳහා රජය සහ විවිධ ආයතන විසින් පහසුකම් සැලසිය යුතු අතර මෙම කුඩා ව්‍යාපාර වලට මනා පිළිගැනීමක් ජනතාව කෙරෙන් ලැබිය යුතුය. නිකරුනේ කාලය ගත කිරීමට කැමති පිරිසක ගෙන් මෙම පිළිගැනීම නොලැබේ.

මෙරට ඇති ආයතන පද්ධතිය සහ කොමිස් පද්ධතිය තුළ විදේශ ආයෝජන මෙරටට පැමිණීම සීමාවී ඇත. එමෙන්ම සාපේක්ෂව වැඩි වැටුප් ලබන වැඩ වැරීම සඳහා නීතිමය සහන සහිත ශ්‍රම බලකායක් සිටින රටක අඩු තාක්ෂණයක් සහිත ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම අවාසි සහගතය. තාක්ෂණ දැනුමෙන් නොපිරිපුන් ශ්‍රම බලකායක් සිටින රටක වැඩි තාක්ෂණයක් සහිත ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම අවාසි සහගතය. එබැවින් ආයෝජකයෝ මෙරටට නොපැමිණ බංග්ලාදේශයට හෝ වියටිනාමයට හෝ යති. කලකට පෙර ඒ දෙරටම සිටියේ අපට පසුපසිනි.

අපේ රටේ විශ්වවිද්‍යාල මගින් ශාස්ත්‍රඥයන් මෙන්ම වෙළෙඳපොළ සඳහා අවශ්‍ය ක්ෂේත්‍රවල වෘත්තියවේදින්ද බිහි කළ යුතුය. පසුගාමී දේශපාලන පක්ෂ සහ ශිෂ්‍ය ප්‍රජාව විසින් විශ්වවිද්‍යාල නවීකරණය කිරීමට එරෙහිව කටයුතු කරනු ලැබේ. සිසුන් අනුකාරක අහිනක් බවට පත්කරන නවක වධයටද ඔවුහු පක්ෂපාත වෙති. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උප කුලපති වැලිවිටියේ සෝරත හිමියෝ විශ්වවිද්‍යාල සිසුන් විප්ලවකාරී විය යුතු බව කිහ. ඒ මතවාදී වශයෙනි. ආර්ථික සංවර්ධනයේ පෙරමුණ ගත යුතු වන්නේ අධ්‍යාපනයයි.

ආර්ථික වර්ධනය ඉදිකිරීම් මගින් සහ සේවා මගින් ලබා ගැනීමට 2014 දක්වා පැවති රජය උත්සාහ කළ අතර පසුගිය රජය රාජ්‍ය අයවැය ස්ථාවර කිරීම සඳහා කටයුතු කළේය. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය ආනයන සීමා කර දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම බව පෙනෙන්නට තිබේ. අපට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය මූලික කරගත් ආර්ථික ක්‍රමයක් බවට විවාදයක් නැත. එහෙත් එයට ඊනියා දේශප්‍රේමය ගාවා ගත යුතු නැත. අපනයන සඳහා සහ මෙරට සාර්ථකව නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ සඳහා ආනයන ද අවශ්‍ය වේ. එමෙන්ම 1970 -1977 කාලයේ තිබුනා වැනි අකාර්යක්ෂම ව්‍යාපාර ආනයන සීමාව හරහා දිරි ගැන්වේ. මෙරට ව්‍යාපාර නිෂ්පාදනය කළ යුත්තේ මිලියන 20 ක් වන මෙරට වෙළෙඳපොළ සඳහා පමණක් නොවේ. අසීමිත වූ ලෝක වෙළෙඳපොළ සඳහාය. මෙරට වෙළෙඳපොළ සඳහා වන ආනයන ආදේශන ද වැදගත් නමුත් අපනයන වඩාත් වැදගත් වන්නේ එනිසාය.

මෙරට ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ වල ගුණාත්මකභාවය පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඔවුන්ගෙන් සමහරු කෙටි කාලීන ලාභ උදෙසා ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීම මගින් ව්‍යාපාරය තුළින් තමන්ට දීර්ඝ කාලීනව ලැබිය හැකි ලාභ අතහැර දමති. රටක් බිහිකළ යුත්තේ තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ වල ගුණාත්මකභාවය සුරකින ව්‍යාපාරිකයන්ය.

බොහෝ දෙනකු විසින් ශක්තිමත් නායකත්වයක් ඉල්ලා සිටිනු දක්නට ලැබේ. යුද්ධ කරන්නාක් මෙන් ව්‍යාපාරද ආර්ථිකයද ප්‍රවර්ධනය කළ නොහැක. ඒ සඳහා ජනතාවගේ ආකල්පවල වෙනසක්ද රජය මගින් සලසන පහසුකම්වල වෙනසක්ද අවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් අපේ රටේ තිබුණ ඊනියා ශක්තිමත් ආණ්ඩු කෙළවර වූයේ රටටද ජනතාවටද පාලකයන්ටද විනාශයන් අත් කර දෙමින් නිසාය.

මේ රටේ දේශපාලකයන් සහ රාජ්‍ය සේවකයන් තමන්ට ලැබෙන වරප්‍රසාද ගැනද ජනතාව තමන්ට ලැබෙන සහන ගැනද සැලකිලිමත් වෙති. මේ සියලු‍ම දෙනා ජිවත් වන්නේ අනාගත පරපුර උගසට තබා ය. ජීවත්වීම සඳහා වැඩ කිරීම නොව වැඩ කිරීම සඳහා ජිවත්විය යුතුය. වැඩකිරීම ජිවිතයේ ලලාසාව හෝ අභිප්‍රාය හෝ බවට පත්වූ විට වැඩ කිරීම සඳහා ජිවත්විය හැක. රටක ආර්ථිකයක් නැංවීම සඳහා මෙවැනි මිනිසුන් කොටසක් අවශ්‍ය වේ. නිකමුන් පිරිසක් සමඟ ආර්ථිකයක් නැංවිය නොහැක. බුදුන් වහන්සේ වැඩ කලේ ජීවත්වීම සඳහා නොවේ, ජීවත් වූයේ වැඩ කිරීම සඳහාය.

හර්ෂ ගුණසේන සමබිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපියකි

උපුටා ගත්තේ – samabima.com

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment