ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු

ආර්ථික වෘද්ධිය

අද පවතින ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා විග්‍රහයක් කරනවා නම් අපිට පළමු කොට බලන්න පුළුවන් දේ තමයි ආර්ථිකය කොච්චර වේගයකින් වර්ධනය වෙනවාද කියන එක. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා නම් ඒ ආර්ථිකය අත්පත් කර ගන්න දළ දේශීය නිෂ්පාදන දර්ශකය (GDP) වැදගත් වෙනවා. ලංකාවේ කොරෝනා වසංගතය එන්න කලින් 2019 වසරේදි GDP වර්ධන අනුපාතය 2.3 යි. ඒ විතරක් නොවේ 2018 න් පස්සේ අඛණ්ඩව බලාගෙන ඒමේදි සාමාන්‍යයෙන් 4-5% වර්ධන අනුපාතයක් ඇති කරගත්තද අපිට පෙන්නුම් කරමින් තියෙන්නේ එන්න එන්න ආර්ථිකය ප්‍රසාරණය වීම අඩු මට්ටමක්, හැකිලීමක්. එහි ප්‍රතිලාභ දෙතුන් දෙනකු අතර පැවතීමක් තමයි පෙන්නුම් කරමින් තිබන්නෙ. එවිට කොවිඞ් වසංගතය නිසා අනිවාර්යෙන්ම අපි කාටත් පිළිගන්න සිද්ධවෙනවා 2019 අත්පත් කරගත් වෘද්ධිය අත්පත් කරගන්න බැහැ කියන එක. මොකද මාස තුන හතරකට කිසිදු කටයුත්තක් සිදු නොවුනාම ඒ තත්ත්වය යට යනවා. අනෙක් කරුණ වන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදියට පළමුවන කාර්තුවේදිම කොවිඞ් වසංගතයේ බලපෑමක් එන්නේ නැහැ. 2020 ට පළමුවෙනි කාර්තුවට. පළමුවෙනි කාර්තුවේදි ඍණ අගයක් පැමිණෙනවා. එවිට කිසියම් විජ්ජාවක් නොකළහොත් දෙවන සහ තුන්වන කාර්තුවේදිත් එවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකියි.

2020 දි වෘද්ධියක් එනවා. ඒත් ප්‍රශ්නයත් එනවා. සැලසුම් සහිතව ගොඩ යෑම ගැන කතා කරනවා නම්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තියන තත්ත්වය තුළ එවැනි වටපිටාවක් පෙන්නුම් කරන්නේ නැහැ. තව තවත් අර්බුදකාරි තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. අඩු වෘද්ධිය තත්ත්වය ලබාගන්න බලපාන ලද ප්‍රධාන කාරණාව තමයි අපි අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති. ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය යටතේ සමස්ත ජනතාව ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියකට කැඳවන්නේ නැහැ. අවස්ථාවාදී කිහිප දෙනෙක් මේ නිෂ්පාදනයෙන් එකතු වන ධනයෙන් විශාල කොටසක් අත්පත් කරගන්නවා. අනික් අයට සුළු ප්‍රමාණයක්. එහි ප්‍රතිඵලය තමයි අඩු ඵලදායිතාවයක් ඇති වීම. පසුගිය අවුරුදු 10 හෝ 15 විශ්ලේෂණය කර බැලුවිට ප්‍රධාන බෝග වන තේ, පොල්, රබර්, වී කියන ඒවායෙහි සමස්තයක් වශයෙන් ගත්විට කිසිම ඵලදායි වර්ධනයක් නැහැ. මිල ගණන් වැඩි නිසා වී වලින් දළ දේශීය නිෂ්පාදිතයට එන භාගය වැඩිවී තිබෙනවා. තේ, පොල්, රබර් වලින්ද එහෙමයි. හැබැයි නිෂ්පාදන ඵලදාව ගත් විට, නෙළා ගන්නා ලද මෙට්ට්‍රික් ටොන් ප්‍රමාණය ගත්විට වර්ධනය විමත් අවුරුදු දහය පුරාම දැකිය නොහැකියි. ඒ අනුව දකින්න පුළුවන් එහිදී මොන වගේ අර්බුදයකද සිටින්නේ කියලා.

ඒ වගේම ඒ අඩු මට්ටමින් තිබෙන නිෂ්පාදනය රට ඇතුළෙත් අපට දායක වෙන්නෙ ඉතාම විෂමකාරි ලෙසයි. බස්නාහිර පළාතෙන් 40-45% ක් දෙන විට ලංකාවේ අනික් හැම පළාතෙන්ම එකතු වී තිබෙන්නේ 50-55% වගේ ප්‍රමාණයක්. එහි බැරෑරුම් තත්ත්වය විග්‍රහ කිරීමේදි උතුරු නැගෙනහිර පළාත් ගැන සැලකිමේදි ලංකාවේ භූමියෙන් 30% ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි දළ දේශීය නිෂ්පාදිතයට මේ පළාත් දෙකෙන් එකතු කරන්නේ 9% ක්. එතැනදි පෙන්නම් කරනවා ආදායම බෙදි යාමේ විෂමතාවය. මොණරාගල, බදුල්ල දිස්ත්‍රික්ක ගත් විට ඒවායින් දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන්නේ 6% ක් හෝ 7% වගේ ප්‍රමාණයක්. ඒ නිසා අඩු වෘද්ධියක් ඇතුළු දැඩි ආදායම් විෂමතාවයක් ලංකාවෙන් පෙන්නුම් කරන ආර්ථිකයක් තිබෙන්නේ.

ණය

ඊළඟ කාරණය වන්නේ මෙම අඩු වෘද්ධිය ලබාගෙන තිබෙන්නේ ඉතාම සීග්‍රයෙන් දැඩිව පොම්ප කරන ලද ණය නිසා. ණය ගන්නේ නැතිවු විට ඒ වෘද්ධිය අත්පත් කරගන්නේ නැහැ.

1990 සිට මේ දක්වා ණය ප්‍රමාණය 4000% ක් බවට පත්ව තිබෙනවා 2010 සාපේක්ෂව ගැනීමේදි මේ වන විට ගන්නා ලද ණය ප්‍රමාණය 200% කින් වැඩිවී තිබෙනවා. මෙච්චර ණය පොම්ප කළ විට ආර්ථිකයේ වෘද්ධිය නැගීමක් නැහැ. එහි තේරුම තමයි එක්කෝ ණය අවභාවිතා කර තිබෙනවා නැතිනම් අත්‍යවශ්‍ය ව්‍යාපෘතිවල යොදා නැහැ. එසේත් නොමැති නම් කිසිම පල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කාරණාවට යොදවලා තිබෙනවා. ඒක ඉතාම ගැටුම්කාරි තත්ත්වයක් ලෙස සැලකිය හැකියි.

අප මුහුණ දෙන ණය අර්බුදය විසඳාගන්න බැරි වුවහොත් තවත් ගැටලුවක් දැනටමත් තිබෙනවා. ඒ තමයි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට අපගේ මුළු ණය ප්‍රමාණය 86% ක් වෙනවා. ඒ ණය වීම ගැටලුවක් වන්නේ ඒ ණය වලින් පෙරළා ප්‍රතිලාභ වලින් ණය ආපසු ගෙවා ගන්න බැහැ. ගෙවා ගැනීමට පුළුවන් වන්නේ ඒ ණය ව්‍යාපෘතිවල යොදවලා තිබුණා නම් එහි ඵලදාව ආවා නම් 100% ක් හෝ 200% වැනි ආකාරයකින් නම් ප්‍රශ්නයක් නැහැ. එවිට ණය ගෙවන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජපානය ගත්විට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් ඒ අයගේ ණය ප්‍රමාණය 250% ක් වෙනවා. හැබැයි ඒ ණය යොදවලා තිබෙන්නේ ව්‍යාපෘතිවලට. ඒවායින් පෙරළා එනවා ආදායම. ඒ ආදායම ඒ රටවල් පාවිච්චි කරනවා. ණය ගෙවන්න. එවිට ඔවුන් ණය අර්බුදයකට යන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ආදායමත් නැහැ, ගත්ත ණයත් නැහැ, ණය දෙන්න විදියකුත් නැහැ, හැබැයි ණය ආපසු ගෙවන්න ඕනෑ. ඒ අනුව ණය කියන ක්‍රියාවලියේදි විෂම චක්‍රයකට අප හසුවී තිබෙනවා. ඒ අනුව ණය වලින් ගොඩ යන එක ලෙහෙසි නැහැ.

මෙම ගැටලුවෙන් ගොඩ ඒමට නම් ඉතාමත් සැලසුම් සහගතව සමාජය ගැන හිතන, ලොකු කැපකිරීම් සහිත දේශපාලන සහ ආර්ථික සැලැස්මක් අත්‍යවශ්‍යයි. එසේ නැතුව පැලැස්තර යෙදවීමෙන් මේ වැඩය කරන්න බැහැ. අපිට පෙනෙන දේ තමයි මේ අර්බුදවලින් ගොඩයන්න යම් යම් පැලැස්තර යොදවන තත්ත්වයක් පේනවා. එළැඹෙන ඔක්තෝබර් මාසයේ අපි නිකුත් කරනවා ජාත්‍යන්තර බැඳුම්කරයක්. එවැනි බැඳුම්කර ගොඩාක් දැනට නිකුත් කර තිබෙනවා. ඒ නිකුත් කළ ඒවා ඔක්තෝබර් මාසයේදි කල් ඉකුත් වෙනවා. රුපියල් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න සිදු වෙනවා. ඒක ගෙවාගන්න බැරි වෙලා, ගෙවන්න ගත්විට විදේශ සංචිත ප්‍රමාණය අඩු වන නිසා තමයි ඔය එකපාරමට ආනයන අපනයන බද්ද අඩුකළේ. ඒක දුරදිග බලලා නෙවෙයි කළේ ඒ ආනයන පාලනයෙන් පුංචි දෙයක් ඉතුරු කරගන්න පුළුවන් බව පිළිගන්න වෙනවා. අනවශ්‍ය භාණ්ඩ ආනයනය වැළැක්වීමට ගැටලුවක් නොවේ. ඒක සුළු ප්‍රමාණයක්. බහුතරය තිබෙන්නේ ඉන්ධන සහ වෙනත් අපනයන නිෂ්පාදන සඳහා යොදාගන්න තිබෙන භාණ්ඩ. ඒ නිසා සැලසුම් සහගතව ආනයන නැවැත්වීම කල්පනාකාරීව කළ යුතුයි. එසේ නොවුනහොත් සුළු කර්මාන්තවලටත් එය බලපාන්න පුළුවන්. එය ඉතාමත්ම ගැටලුවක් විය හැකියි.

විදෙස් වෙළෙදාම

ප්‍රධාන කාරණය වන අපේ විදේශීය වෙළදාමට අවධානය යොමු කළ විට අපේ විදේශීය වෙළඳාම 2019 වන විට ලෝකයත් එක්ක සංසන්දනය කිරීමේදි ඉතාම නොසැලකිලි මට්ටමක තිබෙන්නේ. නමුත් අප කවුරුත් කියන ගෝලීය ආර්ථිකය ඇතුළේ රටක් දියුණු වෙන්න නම් අපි නිෂ්පාදනය කරන්නේ මේවා වලින් අපනයන විවිධාංගිකරණයක් යටතේ ලෝකයට මුදා හැරිය හැකි භාණ්ඩයි. එසේ නැති වුවහොත් අපිට හැමදාම සම්ප්‍රදායික අපනයන තමයි කරන්න වෙන්නේ. උදාහරණයක් ලෙස 1994 දි අපි අපනයනය කරන ලද සංයුතිය ගත් විට ඒ සංයුතියට අඩුවැඩි වශයෙන් තමයි තවම තිබෙන්නේ. ඒ අනුව විවිධාංගිකරණයක් නැහැ. විවිධාංගිකරණයක් නොමැති තැන අපනයනවලින් ලොකු පිම්මක් පනින්න අපිට බැහැ.

අනිත් කාරණය වන්නේ අපේ අපනයන මෙන් දෙගුණයක් ආනයනය කරමින් තිබෙනවා. ඒ අර්බුදය හමුවේ දැන් අපි කඩඉමකට ඇවිත් තිබෙනවා. විදේශ විනිමය අනුපාතය පාලනය කර ගැනීමේ මට්ටමකට අපි පැමිණ තිබෙනවා. අද ඩොලර් එකක් රු. 185 ක් වන විට ඉදිරියේදි රුපියල් 200 පනින එක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒක වළක්වා ගැනීම ලෙහෙසි වන්නේ නැහැ. ඒකට එක ඉඟියක් පෙන්වන්න කැමතියි. අලුත් ආණ්ඩුව පත්වුණාම ඇත්ත කතාව කෙසේ වෙතත් මතුපිටින් බලා මේ අය රට කරයි කියන කතාව ගත්විට කොටස් වෙළඳපලේ මිල ඉහළ යන්න පටන් ගත්තා. අඛණ්ඩව පසුගිය මාසය පුරා කොටස් වෙළඳපල ඉහළ යනවා. එසේනම් විදේශිය ආයෝජකයෝ එන්න ඕනේ. එහෙත් ඔවුන් එන්නේ නැහැ. ආණ්ඩුව වෙනස් වූ දින පටන් විදේශික ආයෝජකයෝ කොටස් එළියට ඇදීම වැඩියි. ඇතුළට එනවා නම් තමයි හොඳ. කොටස් මිල ඉහළ නගින තත්ත්වයකදි විදේශික ආයෝජකයෝ අත තිබෙන කොටස් ටික විකුණලා එළියට යනවා. ඒක උභතෝකෝටික ප්‍රශ්නයක්. ඒක තේරුම් ගන්න ඕනේ. විදේශික ආයෝජකයෝ අපේ විනිමය අනුපාත අවප්‍රමාණය වනු දකිනවා. ඒ නිසා තමයි ඒ අය දැන් වෙළඳපලෙන් අයින් වෙලා ඉන්නේ පසුකාලීනව ස්ථාවරයකට ආවට පස්සේ ඒ අය සමහරවිට ඒවි.

විදේශීය ආයෝජකයන්ට පවා තොරතුරු ලැබෙනවා රටක ණය ගැනීම් සම්බන්ධයෙන්. රටකට ණය ගැනීම් කිරීමට සිදුවෙනවා. ණය ගැනීමේදි අපිට හැකියාව තිබිය යුතුයි අඩු පොලියකට ණය ගැනීමට. ඒ හැකියාව බිඳ වැටුණහොත් ගැටලුවක් වෙනවා. ඒ ඒ රාජ්‍යවල ණය ගැනීමේ හැකියාව සඳහා ජාත්‍යන්තර වේදිකාවක් තිබෙනවා. ඒ ආකාරයේ ආයතන ගණනාවක් තිබෙන අතර ඉන් ප්‍රධාන තුනක් වන්නේ Moodys Rating, Fitch Rating සහ S & P Rating ඒ තුනෙන්ම 2019 වන විට මුල් කාර්තුව වන විට ශ්‍රී ලංකාවට දී තිබුණේ B+ කියන වර්ගීකරණයයි. හැබැයි දැනට සතියකට දෙකකට පමණ උඩදි අපට දි තිබෙන්නේ B- කියන වර්ගීකරණයයි. B- කියන තත්ත්වය ඇත්තටම මේ අය වර්කගීකරණය කරගෙන එද්දි AAA කියන තත්ත්වයේ සිට පහළට වර්ගීකරණය කරගෙන ඒමේදි B- කාණ්ඩය කියන්නේ කාණ්ඩ හයකට යටින් තිබෙන එකක් වන අතර එහි තේරුම වන්නේ Highly Secretive. ඒ කියන්නෙ මොකක්ද වෙන්න යන්නේ කියලා කියන්න බැරි තත්ත්වයක්. ඊළඟට තිබෙන්නේ CCC කියන වර්ගීකරණය. එය ඉතාම අවදානම් කියන වර්ගීකරණයයි. ඒ අනුව B- එකකදි අයෝජකයෝ එන්නේ නැහැ. එළියට වෙලා බලා ඉන්නවා මොකද වෙන්නෙ කියලා. ඒක බරපතල ගැටලුවක්. ඒ ගැටලුව ආයෝජකයන්ට පමණක් නොවේ එවැනි තත්ත්වයක් රටකට දුන්නාම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ණය ගැනීමට යාමේදි අපිට සිද්ධ වෙනවා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න. කොවිඞ් වසංගත තත්ත්වයෙන් පසුව යුරෝපය, ජපානය ඇමරිකාව යනාදි හැම රටකටම වගේ ඒ ගොල්ලන්ගේ පොලී අනුපාතය ස්ථාවර තැනක ඉන්න පුළුවන්කමත් ලැබිලා තිබෙනවා. ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන ශක්තිය ඉදිරියේ සම්පත් භාවිත කරලා. නමුත් අපිට හැකියාව තිබෙන්න ඕනේ අඩු අඩු පොලියට එවැනි රටවලින් ණය ගන්න.

ඉහත කියන ලද දර්ශකයේ අගය පහළට ආපු නිසා අපට ණය ගැනීමට බැරි වෙනවා. ඒ ගොල්ලො පොලිය වැඩි කරනවා. කලින් මා කියන ලද ජාතන්තර බැඳුම්කරයේ පොලි අනුපාතය 7-8% ක් තිබුණාට පොලි ඵලදා අනුපාතය 40% ක මට්ටමක තිබෙන්නේ. අපට ණය ගන්නවා නම් ගන්න වෙන්නේ ඉතාම වැඩි පොලියකට. ඒක ඉතාමත් අහිතකර මට්ටමක්. ආණ්ඩුවට අහිතකර මට්ටමක් තිබෙන්නේ.

පැලැස්තර විසඳුම්

ඊළඟ කාරණය නම් සමස්ත සැලසුමකට වඩා පැලැස්තර විසඳුම් දමමින් මුල්‍ය වෙළඳපල ටිකක් පාලනය කරමින් අඩු පොළියට මුදල් මුදා හැරලා ව්‍යාපාර කරන්න හැරලා ඒ තුළින් ආර්ථිකය දියුණු කරමු කියන තර්කනයත් තිබෙනවා. හැබැයි ඒක මේ තිබෙන කතිකාව ඇතුළේ යථාර්ථයක් බවට පත්වෙන්නේ නැහැ. මොකද පොලී අනුපාතය ගොඩක් දුරට බලහත්කාරයෙන් ඉතා පහළ මට්ටමකට තියාගෙන ඉන්න බැහැ. මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුව 3% හෝ 4% මට්ටමක තමයි තිබෙන්නේ. එවැනි මට්ටමක් පවත්නා ගෙන යන්න පුළුවන් වෙන්නේ අපේ නිෂ්පාදනය වර්ධනය කිරීමක් හෝ අපනයන ආදායම වර්ධනය කිරීමක් හෝ විදේශීය විනිමය ගලා ඒමක් සිදුවෙනවා නම් පමණයි. පොලි අනුපාතය අඩු මට්ටමකින් පවත්වා ගැනීමට හැකිවෙන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ පොලි අනුපාතය පහළට ආ විට මේක කැරකිලා පොලි අනුපාතය උඩට යන තත්ත්වයක් එනවා. ඒ පොලි අනුපාතය යටතේ උද්ධමනකාරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඒකට කොයි විදියකට මුහුණ දෙයිද කියා කිව නොහැකියි. විශේෂයෙන් මුහුණ දෙන විට රටේ අති බහුතර ය ඒ කියන්නේ ආදායම් විෂමතාවයෙන් පහළ සිටින ස්ථරය වන එදිනෙදා කුලි වැඩ කරන අයගේ වැටුපේ ක්‍රය ශක්තිය හීනවෙලා යනවා. එවිට අර්බුදයකට යනවා.

පශ්චාත් කොවිඞ් තත්ත්වය

කොවිඞ් පසු තත්ත්වය තුළ රැකි රක්ෂා අහිමිවීම, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, සීමාසහිත අපනයනවලට බලපෑම් එල්ල වෙනවා. නමුත් ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවෙනවා. එසේ මුහුණ දෙන විට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. හැබැයි ඕනෑම අභියෝගයකට රටක් මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි යථාර්ථය. අභියෝගය ගැටලුවක් ලෙස නොසැලකිය යුතුයි. හැබැයි අපි තේරුම් ගත යුතු කාරණය වන්නේ අපේ රට කුඩා අභියෝගවලටවත් මුහුණ දෙන්න බැරි රටක් බවය. මෙම වසරේ පළමු කාර්තුවේදි GDP ඍන බවට පත්වීම කළත් එය ඔප්පු වුණා. ඒ තත්ත්වය නිසයි අපට තිබෙන්නේ ඔරොත්තු දීමේ හැකියාව නැති ආර්ථිකයක්.

එහෙම රටක් කොහොමද ගොඩ යන්නේ ?. මෙම කාරණයේදි ඉතාම සැලසුම් සහගත දිගුකාලීන සැලසුම් යටතේ වැඩ කළ යුතුයි. ඒ අර්බුදයෙන් ගොඩ යන්න කෙටිකාලීන මුල්‍ය වෙළඳපලේ පොලි අනුපාතය ආනයන පාලනය කිරීම යනාදිය කෙටිකාලීන ප්‍රාථමික උපක්‍රම පමණයි. දිගුකාලින උපක්‍රමය තමයි අනිවාර්යෙන්ම නිෂ්පාදනය වැඩි කළ යුතුයි. භාන්ඩ හා සේවා නිෂ්පාදනය රට ඇතුළේ වැඩි කළ යුතුයි. ඒවා සාම්ප්‍රදායික කර්මාන්තද ?. නව කර්මාන්තද? ලෝකයට අවශ්‍ය කරන භාණ්ඩද ? තාක්ෂණයද ? යනාදිය දෙස බලා අවුරුදු දෙක තුන සහ දහය වශයෙන් සැලසුම් හදලා පොදුවේ සමස්ත සමාජය ගැන හිතලා වැඩ කළහොත් 2021 පස්සේ අපිට ඉදිරියට එන්න පුළුවන් වේවි. විශේෂයෙන් ධනය ඒකරාශි කරගෙන තිබෙන මහා පරිමාන සමාගම් තනි ව්‍යාපාරිකයන්ට සිද්ධවෙනවා කැපකිරීම් කරන්න. නමුත් හැමවිටම කැපකිරීම් කරන්නේ පීඩිත පන්තියේ මිනිසුන්. පෙර කියන ලද සුළු පිරිසට මේ මොහොතේදි සමාජීය වගකීමක් තිබෙනවා කැපකිරීම් කිරීමට. නමුත් ඒ ගැන සැලැස්මක් අපට පෙනෙන්නේ නැහැ. අපිට තැනින් නැත පෙනෙන ඉඟි තමයි මේ තියෙන තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන දෙතුන් දෙනා ව්‍යාපාරවල නියැලෙමින් අවස්ථාවට අනුව ලාභ ලැබීමේ ක්‍රියාවලියක් තමයි දකින්නට තිබෙන්නේ.

සමහර ව්‍යාපාරිකයෝ මහා පරිමානයෙන් පරිසරය පවා විනාශ කරමින් එක එක ව්‍යාපාර කරනවා. දැන් තිබෙන ප්‍රවනතාවයකට අනුව ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්නේ හුදෙක් පදිංචිවීමකට නොව විවිධ ව්‍යාපෘති සඳහායි. එය හෝටල් හෝ කර්මාන්ත විය හැකියි. නිෂ්පාදනය වැඩි කරන එක හොඳ වුවද, අපිට අයිතියක් නැහැ මතු පරම්පරාවකට අයිති වන්නට තිබෙන පරිසරය විනාශ කරමින් මේ වැඩය කරන්න.

මීට අමතරව MCC ගිවිසුම ගැනද සැකයක් මතුවෙනවා. ඇමරිකාව එය හදන්නේ ඇමරිකාවේ ආර්ථිකයේ උපායමාර්ගයක් වශයෙන්. එහි එක් තැනක ලියා තිබෙනවා ඇමරිකාව ලබා දෙන ආධාර යටතේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අමතරව ජනතාවට එය පෙරළා ආයෝජනයක් කියලා. මතුපිටින් පරිත්‍යාගයක් වශයෙන් තිබුණාය ඇමරිකාවේ උපක්‍රමශීලි ආයෝජනයක් තමයි එන්නේ. ඒ ආයෝජනයෙ ප්‍රධානම ඉලක්කය බවට පත්වන්නේ ලංකවේ විසිරිලා තිබෙන, කැඩිලා තිබෙන අයිතියක් නැති ඉඩම් ඒකරාශි කර ගැනිමක්. රජයට විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. ඒවා නීති මඟින් හිර කරගෙන තියෙනවා. ඒවාට ඔප්පු ගැටලු තිබෙනවා. ඒවා නිරවුල් කරමින් ඉදිරියේදි ඇමරිකාවට අවශ්‍ය ව්‍යාපෘති කිරිමේ පසුබිම සකස් කරගන්න කියලා සැකයක් මට ඇති වෙනවා. MCC හරහා මේ රටේ සාරය උරා ගැනීමේ අර්ථක්‍රමයට තල්ලුවෙන ඉඩකඩ වැඩියි. හැබැයි ජනතාව එකතු වී කලින් කියු පරිදි සැලසුම් සහගත ආර්ථිකයකට ගියහොත් ලංකාව බේරාගත හැකියි.

සාකච්ඡාවක් ඇසුරිණි සකස් කලේ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

උපුටා ගැනීම – රාවය

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment